ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දන්න සහය දෙන දැදිගම තරුණයා

Nalaka Senadheera
Image caption නාලක ප්‍රසාද් සේනාධීර

"මනුස්සයෝ විදිහට අපි ජීවත් වෙන ඉතා කෙටි කාලය තුළ දී ශ්‍රී ලංකාවේ සෑම නිවසක ම අපේ රටේ නිෂ්පාදනය කළ බතක් ඉදෙන්න සැලැස්වීම තමයි මගේ අරමුණ."

දැඩි අධිෂ්ඨානයක් ගැබ් වී ඇති එම වදන් පෙළ පැවසූ ඔහු නාලක ප්‍රසාද් සේනාධීරය. දැදිගම ගම්මානයේ දිවි ගෙවන ඔහු 28 හැවිරිදිය.

ශ්‍රී ලංකාව පුරා ඇති පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති නාලක සමඟ මේ වන විට බොහෝ තරුණ තරුණියන් පිරිසක් ද එක් වී සිටිති.

මේ වන විට ඔහු සිය ගම්මානයේ තිබෙන අක්කර සියයක පමණ පුරන් කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටී. ඒ අතර, රත්නපුර මෙන්ම කොළඹ අවට ප්‍රදේශ කීපයක තරුණ තරුණියන් ද මෙම කාර්යය සඳහා උනන්දු කර ඔවුන්ට විවිධාකාරයෙන් උපකාර කිරීමට නාලක ක්‍රියා කරයි.

"දැදිගම මහ වෙල් යාය කන්න දෙකක් පුරන් වුණා. එකට ප්‍රධාන හේතුව තමයි දැදිගම කිලෝමීටර තුනක ඇළ මාර්ගය අක්‍රිය වීම. නමුත් මිනිස් පැය 365කින් ඒ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර වතුර එන මට්ටමට ගෙන ඒමට අපිට හැකි වුණා."

"ඊට පසු අපිට වැඩිහිටි ගොවියන්ගේ උපදෙස් ලැබුණා නැවත මේ කුඹුරු පුරන් නොවන විදිහට වැඩකටයුතු කරන්න. මේ ක්‍රියාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ඉන්න තරුණ තරුණියන් මෙයට සම්බන්ධ වෙන්න පටන් ගත්තා," පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ අදහස ඇති වූයේ කෙසේදැයි බීබීසී සිංහල සේවය කළ විමසුමක දී ඔහු එසේ පිළිතුරු දුන්නේය.

Image caption නාලක ඇතුළු තරුණ පිරිස පිළිසකර කළ ඇළ මාර්ගයක්.

කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තමන් 2008 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල නියෝජනය කළ ලාබාලතම පුද්ගලයා බව නාලක පැවසීය.

"2020 යල කන්නයේ දී අපි රටක් විදිහට එකතු වෙලා වැඩ කළොත් අපිට පුළුවන් වෙනවා අවුරුදු සියයකට පමණ ධාන්‍යය වර්ග අපේ රටේ ඉතිරි කරගන්න."

"එහෙම ඉතිරි කරගැනීමේ පළවෙනි අඩිය විදිහට ලබන අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා සිට දෙව්න්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සියලු පුරන් කුඹුරු පිරිසිදු කර, ප්‍රතිසංස්කරණය කර වැඩිහිටි ගොවියන්ට භාර දීම මගේ එක අරමුණක්," යැයි නාලක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

"මේ වෙනකොට, කෑගල්ල, දිවෙල ප්‍රදේශයේ තරුණයෙක් වන චමීර පුරන් කුඹුරු අක්කර 75ක වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මාලදෙනියේ සකුන්තලා නංගී අක්කර 2.5ක වැඩ කරගෙන යනවා. රත්නපුර, පන්නිපිටිය ප්‍රදේශවලත් මේ වගේම තරුණ කට්ටිය කුඹුරු අක්කර 500-1000ත් අතර ප්‍රමාණයක වැඩ කරගෙන යනවා," ඔහු තවදුරටත් පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

මුදල් ඉපයීමේ පරමාර්ථයක් නොමැති මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය ආධාර ලබාදීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ක්‍රියා කරන බව නාලක පැවසීය..

"අන්තර්ජාලය ඔස්සේ මේ ව්‍යාපෘතිය ලංකාව පුරා ප්‍රචාරය වීමත් සමඟ තරුණ ප්‍රජාව මෙයට යොමු වෙමින් සිටිනවා. ඒ වගේම ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් අපිට මුදල් මෙන්ම යන්ත්‍රසූත්‍රවලින් ද ආධාර ලබා දෙනවා."

"ඒ සියලු දේ මේ තරුණ තරුණියන් අතර අපි බෙදා හරිනවා," ඔහු පැවසීය.

Image caption කාන්තිලතා මාපා

දැදිගම ගම්මානයේ පළපුරුදු ගෙවිලියක වන කාන්තිලතා මාපා පැවසුවේ නාලක ඇතුළු තරුණ පිරිස ගම්මානයේ ඇළ මාර්ගය පිළිසකර කිරීමෙන් පසු තමන්ට නැවත කුඹුරු අස්වැද්දීමට හැකි වූ බවය.

"පහුගිය කාලයේ අපිට කුඹුරු හාන්න වතුර තිබුණේ නැහැ. හැබැයි නාලක පුතායි මේ පොඩි දරුවෝ ටික එකතු වෙලා දීපු සහයෝගය නිසා අපිට දැන් කරදරයක් නැතුව කුඹුරු වැඩ කරගෙන යන්න පුළුවන්," ඇය පැවසුවාය.

බොහෝ දෙනෙකු මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වන්නේ වයස අවුරුදු හතළිහ පසු වූ විට යැයි මෙම ව්‍යාපෘතියට සම්බන්ධ තවත් තරුණයෙකු වන චන්දිම යාමල් විජේබණ්ඩාර පැවසුවේය.

"අපි වගේ තවත් තරුණ තරුණියන් නාලක මල්ලි ඇතුළු අපි සමග සම්බන්ධ වෙනවා නම් ගොඩක් වටිනවා," ඔහු පැවසීය.

ව්‍යාපෘතිය හා සම්බන්ධ, අත්දැකීම් බහුල ගෙවිලියක වන එම්. ඊ. එම් සෝමාවතී බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ, පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ නාලක ඇතුළු තරුණ පිරිස මැදිහත් වී ලබා දෙන බවය.

"නාලක පුතා මේ පුරන් කුඹුරු අස්වද්දන්න අපිට සහය දෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. මම කිව්වා කුඹුරු සුද්ද කරළා දෙන්න කියලා ඉල්ලුවාම බැකෝ එකක් ගෙනත් මට ඒ දේ කර දුන්නා. මම හරි ආදරෙයි මේ පුතාලට," ඇය සතුටු කඳුළු වගුරවමින් පැවසුවාය.

Image caption "කෙතට වතුර ටිකක් ගන්න අපේ වැඩිහිටියන්ට උදව් කරන්න පුළුවන් එය අපේ රටේ සමස්ත එකමුතු බවේ සලකුණක් වෙයි යම් දිනක දී"

යම් පුද්ගලයෙකු දැඩි උනන්දුවකින් සමාජ සේවයේ නියැලෙන්නේ නම් ඔහු හෝ ඇයගේ යටි අරමුණ දේශපාලනයට පිවිසීම යැයි ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතයක් ඇත.

මේ ගැන නාලකගෙන් විමසීය.

"දේශපාලනය කියන්නේ අපි මේ දවස්වල කතා කළ යුතු දෙයක් නෙමෙයි. දේශය පාලනය ගැන නෙමෙයි, දේශය කළමනාකරණය ගැනයි අපි කතා කළ යුත්තේ. මම මේ සිදු කරන කිසි දෙයක් දේශපාලන අරමුණක් ඇතුව කරන දේවල් නෙමෙයි" යැයි ඔහු පිළිතුරු දුන්නේය.

පසුගිය වසරේ දී නාලක පේදුරුතුඩුවේ සිට දෙව්න්දරතුඩුව දක්වා පා පැදියකින් ගමන් කර කැළිකසල බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක නියැලිණි.

"ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ජවය යොදලා දවසට එක පැයක් හරි මේ කුඹුරු, ඇළ දොළ ගංගා වෙනුවෙන් වෙහෙසිලා, කෙතට වතුර ටිකක් ගන්න අපේ වැඩිහිටියන්ට උදව් කරන්න පුළුවන්. එය අපේ රටේ සමස්ත එකමුතු බවේ සලකුණක් වෙයි යම් දිනක දී," කතාබහ අවසානයේ නාලක පැවසුවේය.

2018 වර්ෂයේ හම්බන්තොට දී පැවති ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාවේ දී හෙළි කළ දත්ත අනුව, මේ වන විට දිවයින පුරා පුරන්ව ගිය කුඹුරු අක්කර 1,40,000ක් පමණ ප්‍රමාණයක් තිබේ.

එයින් කුඹුරු අක්කර 1,14,000ක් නැවත අස්වැද්දිය හැකි තත්ත්වයේ ඇති බව ගොවි සභාවේ දී ප්‍රකාශ කෙරිණි.

ශ්‍රම හිඟය හෝ වෙනත් කරුණු හේතුවෙන් මෙම කුඹුරු අයිතිකරුවන් විසින් වගා කරනු ලැබීම පැහැර හැර ඇත.

නමුත් පුරන් කුඹුරුවලින් අක්කර 26,000ක් නැවත අස්වැද්දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වීමෙන් හැකි වී තිබෙන බව එම අමාත්‍යාංශය එහිදී පැවසීය.

පුරන්ව ගිය කුඹුරු සියල්ල අස්වැද්දීම සඳහා එම කුඹුරු අයිතිකරුවන් පෙළඹවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි තීන්දුවක් ගෙන තිබෙන බව ද එහි දී ප්‍රකාශ විණි.

ඒ අනුව, එම කුඹුරු හිමියන් ඒවා අස්වැද්දීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ කුඹුරු අස්වැද්දීමට උනන්දුවක් දක්වන තරුණයින්හට ලබා දී ඒවා නැවත අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ද සඳහන් කෙරිණි.

තවත් තොරතුරු:

සබැඳි විෂයයන්