ජනාධිපතිවරණය : "GMOA එක වැරදියි" මැතිවරණ කොමිසම

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

ඡායාරූප මූලාශ්‍රය, GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීම වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව විනය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම්දීමක් මත ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භවී ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 31) එළිදැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයටද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහභාගි වී සිටි බව මාධ්‍යවේදියෙකු පෙන්වා දුන් විට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ "එක වරදක් වසා ගැනීමට තවත් වරදක්" කිරීම අනුමත කළ නොහැකි බවය.

"අද ගියත් ඒක වැරදියි. දේශපාලන රැස්වීම් වලට යන්න බැහැ. අද ගියේ එදා එක බේරගන්නනේ. දැන් වරද ඩබල් වෙනවා. මේ සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්හ කරලා තියෙන්නේ," මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

"පොලිසියට මේ ගැන ලැබුණු පැමිණිල්ලක් මත ඒගොල්ලොත් මේ ගැන පරීක්ෂණයක් කරනවා."

වීඩියෝ ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකා තැපැල් ඡන්දය ඇරඹෙයි.

දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙකු වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය 25 වැනි දින මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මේ හේතුවෙන් ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන මෙන් ද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

වෛද්‍ය සංගමයේ ප්‍රතිචාරය

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මැතිවරණ නීතිය වැරදි ලෙස හුවා දක්වමින් වෘත්තීය සමිති මර්ධනය කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ කරන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම ගැනද දැඩි ආන්දෝලනයක් ඇති විය.

සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුව ඒ ඒ අපේක්ෂකයන්ගේ ලැබෙන ආරාධනා අනුව ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ විවිධ අදියර සඳහා පක්ෂ භේදයකින් තොරව දායකත්වය ලබාදීමට අවසර ලබාදී තිබුණු බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයක සඳහන් විය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කිසිදු අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරමින් සෘජුව හෝ වක්‍රව ප්‍රකාශ නිකුත්කර නොමැති බවද එම සංගමය පවසයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේදී හමුදාවේ සහ පොලිසියේ නිල ඇඳුමින් සැරසී සිටින නිලධාරීන්ගේ ඡායාරූප මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම ගැන අවධානය යොමුවූ අතර මැතිවරණ කොමිසම පැවසුවේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන අපේක්ෂකයන් දෙදෙනා එලෙස ඡායාරූප යොදාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එය හැඳින්වූයේ එය මැතිවරණ ආචාර්ය ධර්ම කඩකිරීමක් ලෙසය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණයට යොදාගත් ඡායාරූපයක සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබුණි. යාපනයේ රැළියක ආරක්ෂාව භාරව කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඡායාරූප මෙලෙස ඔවුන්ගේ අනුදැනුමින් නොමැතිව පළකර ඇති බව පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා ආරම්භ වූ අතර තමන් භාවිත කළ ජන්ද පත්‍රිකාවේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළකිරීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි කිහිපයක් හැරුණු විට තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවුණු බව මැතිවරණ කොමිසම පවසයි.

එම ජායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන අය හඳුනාගැනීම මේවන විට සිදුවෙමින් පවතින බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ඒ වරද කළ පුද්ගලයන් වසර 3ක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි බව පෙන්වා දුන්නේය.