ජනාධිපතිවරණය: ඔබේ ඡන්දය ලියාපදිංචි වී තිබේද ? "නම් කපා හැර ඇති බවට චෝදනා"

ඡන්දහිමි නාමලේඛනවලින් ඇතැම් ඡන්දදායකයන්ගේ නම් කපා හැර ඇතැයි පැමිණිලි ඉදිරිපත්වෙමින් තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.

සංවිධානාත්මකව මෙලෙස ඡන්දහිමි නාමලේඛනවලින් නම් ඉවත්කර තිබේද යන්න පිළිබඳව සිය සංවිධානය මේ වන විට විමර්ශනයක් සිදුකරන බව එම සංවිධානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

"මේ සම්බන්ධයෙන් ලිපියක් අපි මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් යවා තිබෙනවා. මේක බරපතල ගැටළුවක්. 2018 මුල ඡන්දහිමි නාමලේඛන තිබුණු නම් මෙලෙස ඉවත්වෙලා තිබෙනවා," ඔහු සඳහන් කළේය.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සහ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය වාර්ෂිකව සිදු කෙරෙන අතර මෙවර ජනාධිපතිවරණය සඳහා යොදාගැනෙන්නේ 2018 වසරේ සඳහා වන ඡන්ද හිමි නාමලේඛනයයි.

එම ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ලබාදීම සඳහා ඡන්දදායකයන් 15,992,096 (එක් කෝටි පනස් නම ලක්ෂ අනූ දෙදාස් අනූ හයක්) සුදුසුකම් ලබා සිටිති. එම ලැයිස්තුවට ඇතුළත්වීමට සුදුසුකම් ඇති ඡන්දදායකයන් පිරිසකගේ නම් ඉවත්කිරීම සම්බන්ධයෙන් දැන් ඉහත කී ගැටළුව පැන නැගී තිබේ.

මේ වනවිට ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර තිබෙන අතර තමන්ට එම පත්‍රිකා නොලැබීම සම්බන්ධයෙන් සොයාබැලීමේදී තම නම් ඡන්ද ලැයිස්තුවෙන් ඉවත්කර ඇතැයි දැනගන්නට ලැබුන පුද්ගලයන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍යවල කරුණු පළකර තිබුණි.

Image copyright Getty Images

"වසර 30ක් එකම නිවසේ ජීවත්වෙලා හැමදාම ඡන්දය 6ක් තිබුණු අපිට අද හම්බවුනේ ඡන්ද කාඩ් 2යි. මට, මගේ සැමියාට සහ සැමියාගේ මවට ඡන්දය නැහැ. ග්‍රාමසේවක කියනවා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න කියලා." සාවිත්‍රි රොඩ්රිගෝ තම ෆේස්බුක් අඩවියේ සඳහන් කර සිටියාය.

දෙහිවල පදිංචි තම පවුලේ නම් 4ක් ඡන්දහිමි නාමලේඛනයෙන් ඉවත්කර තිබෙන බව රොඩ්රිගෝ පවුල චෝදනා කරන අතර සිය නම ඇතුළත් පෝරමය නිසිලෙස බාරදීමට තමන් කටයුතු කර තිබෙන බවද ඔවුහු පවසති.

දෙහිවල පදිංචි ක්‍රිස් වික්‍රමනායකද තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයෙන් ඉවත්කර තිබෙන බවට පවසමින් "බදු ගෙවන අපිට ඡන්දය නැත්තේ ඇයි අපි කළුද ?" යනුවෙන් ප්‍රශ්න කර තිබේ.

"මම විදේශගතවෙලා ඉන්නේ, මම ඡන්දේ දාන්න එන්න ටිකට් පවා දැම්ම. නමුත් මට දැන් ඡන්දේ නැහැලු, මගේ නම කලින් ලැයිස්තුවේ තිබ්බා," මනෝජ් පෙරේරා සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කරුණු විමසූ විට එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඡන්දහිමි නාමලේඛනවල නම් ප්‍රසිද්ධ කර ඒ පිළිබඳව පැමිණිලි ලබාදීමට අවශ්‍ය කාලයද ලබාදී මෙම ලැයිස්තු සකස්කර තිබෙන බවය.

තාවකාලික ඡන්දහිමි නාම ලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මෙන්ම අන්තර්ජාලයේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සම්පූර්ණ කර තිබෙන බව කොමිෂන් සභාව පවසයි.

ඡන්දහිමි නාමලේඛනයට නම් ඇතුළත් කිරීමට දැන් කිසිදු අවකාශයක් නොමැති බව කොමිෂන් සභාව පවසයි.

ඡන්දහිමි නාමලේඛනයේ ඔබේ නම සඳහන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ වෙබ් අඩවියට පිවිස දැන ගත හැකිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර