ජනාධිපතිවරණය : "ගෝඨාභය රාජපක්ෂ මිලියන 1518, සජිත් ප්‍රේමදාස මිලියන 1422"

Image copyright SP/GR
Image caption ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස

මෙවර ජනාධිපතිවරණයේ ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා කාලය තුළ රූපවාහිනී, පුවත්පත් දැන්වීම් ඇතුළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 3,108ක මුදලක් ප්‍රධාන අපේක්ෂකයන් විසින් වියදම් කරනු ලැබ ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් නිරීක්ෂණ ආයතනයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියාමන ව්‍යාපෘතියක් ලෙස පළමු වරට මැතිවරණ ප්‍රචාරණ පිරිවැය නිරීක්ෂණ සිදුකරන අතර එහි අවසන් වාර්තාව බදාදා (13) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුණි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ පිරිවැය නියාමනය කිරීම උදෙසා නෛතික රාමුවක් හෝ නියාමන යාන්ත්‍රණයක් නොමැති අතර එහි අවශ්‍යතාව මතුකිරීම මෙලෙස ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් දරන වියදම් ගණනය කර සමාජගත කිරීමට හේතුවූ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා ප්‍රචාරණයට සහ රැස්වීම් සඳහා ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා දරා ඇති බවට නිරීක්ෂණය කර ඇති අවම ඇස්තමේන්තුගත කර ඇති වියදම පහත දැක්වේ.

පක්ෂය මුද්‍රිත මාධ්‍ය රුපවාහිනී රැස්වීම්/අනිකුත් ප්‍රචාරණ ඇස්තමේන්තුගත අවම වියදම
පොදුජන පෙරමුණ මිලියන 82 මිලියන 853 මිලියන 503 මිලියන 1518
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මිලියන 175 මිලියන 544 මිලියන 703 මිලියන 1,422
ජාතික ජන බලවේගය මිලියන 12 මිලියන 32 මිලියන 116 මිලයන 160

ඒ ඒ මාධ්‍ය ආයතන දැන්වීම් සඳහා අයකරන මිල ගණන් අනුව අදාළ අපේක්ෂකයන් පළකර ඇති දැන්වීම් ප්‍රමාණය අනුව මෙම මුදල ඇස්තමේන්තුගත කළ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම වියදම් සඳහා ගුවන්විදුලි දැන්වීම් සහ සමාජ මාධ්‍ය සඳහා වියදම් කර ඇති මුදල් ඇස්තමේන්තු ගත කර නොමැති අතර ඉදිරියේදී එම අංශ ද නිරීක්ෂණය කිරීමට මෙම නිරීක්ෂකයෝ බලාපොරොත්තු වෙති.

මෙම වියදම් සළකා බැලීමේදී මැතිවරණය සම බිමක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක සඳහන් කරයි.

"අසීමිත මුදල් භාවිතය තුළ යම් අකාරයකට අපේක්ෂකයන්ට හැකියාවක් ලැබිල තියෙනවා තමන්ගේ ජයග්‍රහණයක් සනාථ කරගන්නට. ශ්‍රී ලංකාවේ මැතිවරණයේ සමබිමක් නිර්මාණය නොවීම තුළ," ඔහු කියා සිටියේය.

"මේ ලැබෙන අරමුදල් කාගේද කියන එකයි ගැටළුව. මුදල් ලබාදෙන්නා නියෝජනය කරන කුලකය මත්ද්‍රව්‍යද පාතාලයද යන්න සදාකාලික අභිරහසක්. මේ තත්ත්වය වැළැක්වීමට මේ මුලාශ්‍ර සහ සමස්ත පිරිවැය අපි අනාවරණය කරගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති ගෙනෙනන්ට අවශ්‍යයි."

මැතිවරණ වියදම් පිළිබඳව නීති ඇතුළත් පනතක් සම්මත කිරීම සඳහා 2017 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත වූ අතර කෙසේ නමුත් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදුවුයේ නැහැ. මූල්‍ය පාලනයක් නොමැති වීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට දැඩි බාධාවක් වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබේ.

බීබීසී සිංහල සේවය සමග සාකච්චාවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ මැතිවරණ වියදම් සීමා කිරීමේ නීතිරීති ගෙන ඒමේ දැඩි අවශ්‍යතාවයක් ඇතිවී තිබෙන බවයි. ඉදිරියේ නීති සම්පාදකයන් මේ ගැන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියේය.

මේ අතර මැතිවරණ පැවැත්වීම සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදම ද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

  • 2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක්.
  • 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල් 132ක්.
  • 2015 ජනාධිපතිවරණය මිලියන 2705 එක් ඡන්දදායකයෙකුට රුපියල් 180ක්.
  • 2019 ජනාධිපතිවරණය මිලියන 7000 (ඇස්තමේන්තුව) එක් ඡන්දදායකයෙකුට රුපියල් 450ක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර