ජනාධිපතිවරණය: "දෙමළ ජනතාවගේ ප්‍රධාන ම අපේක්ෂාව මර බියෙන් තොරව ජීවත්වීම"

Image copyright Getty Images

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගතව ගිය දශක හතකට ආසන්න කාලය තුළ උතුරේත්, දකුණේත් පැවති සන්නද්ධ අරගල හේතුවෙන් මරණයට පත් අති බහුතරය තරුණයන්ය.

එදා ආයුධ අතැතිව සිටි බොහෝ තරුණයෝ අද ප්‍රධාන ධාරාවේ දේශපාලනයට අවතීර්ණව සිටිති. නොඑසේ නම් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට සහය දෙති.

දස දහස් සංඛ්‍යාත පිරිසකට මරු කැඳවමින් නිමා වූ උතුරේ සිවිල් යුද්ධයට පෙරාතුව සිය ඉල්ලීම් ලබා දෙන මෙන් උතුරේ තරුණයෝ සාමකාමී ලෙසින් සහ ප්‍රජාතන්ත්‍රවාදීව දකුණේ පාලකයන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් කළහ.

ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ කල තරුණ පිරිසක් ආයුධ අතට ගත් අතර එය නිමා වූයේ උතුරේත්, දකුණේත් ලක්ෂයකට අධික පිරිසකට මරු කැඳවමිනි, තවත් විශාල පිරිසක් අවතැන් කරමිනි, ආබාධිතයන් බවට පත්කරමිනි.

එකල උතුරේ ජනතාව දකුණ දෙස කෙතරම් වපර ඇසින් බැලුවේ ද යත් බොහෝ දේශපාලන නායකයන් සිය දුක්ගැනවිලි සහ ඉල්ලීම් ඉදිරිපත් කළේ දකුණේ දේශපාලන නායකයන් වෙත නොවේ; අසල්වැසි ඉන්දියාවේ සහ වෙනත් විදේශීය නායකයන් වෙතය.

ඒ විශ්වාසය බිඳ වැටීම කෙතරම් බරපතළ වූයේ ද යත්, දෙපාර්ශවය අතර සාම ක්‍රියාදාමයේ නිරීක්ෂකයන් වූයේ ද ස්කැන්ඩිනේවියානු රටවල වැසියන්ය.

එහෙත් කලකට පසුව, දශක ගණනාවකට පසුව, මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ තරුණයන් සහ දේශපාලන නායකයන් පිරිසක් එක්ව දකුණේ නායකයන් වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

කෙසේ වුවත් පහත සඳහන් එම ඉල්ලීම් 13ට දකුණේ ජනපතිවරණ අපේක්ෂකයන්ගෙන් බහුතරය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

Image copyright Getty Images
Image caption ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා යාපනයේ මැතිවරණ රැලියකට යමින් සිටි අවස්ථාවේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවක නිරතව සිටි අයුරු

ඉල්ලීම් සැකෙවින්:

යාපනය සරසවි ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන්, දෙමළ දේශපාලන පක්ෂ පහක් ඉදිරිපත් කළ ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලිය:

  1. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජාතිකත්වය හා ස්වෛරීභාවය පිළිගනිමින් සහ ජාත්‍යන්තර නීතිය යටතේ ඔවුන්ගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය පිළිගනිමින් ඒකීය පාලන ක්‍රමය වෙනුවට ෆෙඩරල් ක්‍රමය මත පදනම් වී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම.
  2. යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ/හෝ ජාත්‍යන්තර බේරුම් කිරීමේ විනිශ්චය සභාවේ (International Arbitration Tribunal) අධීක්ෂණය යටතේ පුළුල්, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම.
  3. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
  4. දෙමළ "දේශපාලන සිරකරුවන්" සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
  5. සුදුසු ජාත්‍යන්තර ක‍්‍රමවේදයක් යටතේ බලහත්කාර අතුරුදන් කිරීම් හේතුවෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු කිරීම.
  6. රජයේ හමුදා අත්පත් කරගෙන සිටින උතුරු - නැගෙනහිර ජනතාවට අයත් පෞද්ගලික හා රජයේ ඉඩම් සහ ගොඩනැගිලි සියල්ල නිදහස් කොට වහා ම යළි එහි පදිංචි කරන ක්‍රියාදාමයක් ආරම්භ කිරීම.
  7. රජයේ අනුග්‍රහය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුකරනු ලබන "සියලු සිංහලකරණ, බෞද්ධකරණ සහ සිංහල ජනාවාසකරණ වැඩසටහන්" වහා ම නවතා දැමීම.
  8. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සැලසුම් කර තිබෙන "සිංහල ජනපදකරණ ව්‍යාපෘති" සියල්ල වහා ම නවතා දැමීම.
  9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර තිබෙන වන්නි ප‍්‍රදේශයේ "සිංහල ජනාවාස" ඉදිකිරීමේ සැලසුම් නවතා දැමීම.
  10. පුරාවිද්‍යා, වනජීවි, වන සංරක්ෂණ සහ රජයේ දෙපාර්තමේන්තු මගින් ඉඩම් සහ ආගමික භූමි පවරා ගැනීම වහා ම නැවැත්වීම. එසේ දැනට පවරාගනු ලැබ ඇති ඉඩම් සහ ආගමික භූමි නිදහස් කිරීම.
  11. විදේශගතව වෙසෙන ලාංකිකයන් යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් සිදු කරන සෘජු ආයෝජන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධක ඉවත් කිරීම.
  12. උතුරු නැගෙනහිර රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා ලබා දීමේදී එම ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට මූලිකත්වය ලබා දීම.
  13. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත්කොට එම දෙපළාතේ සියලු මූල්‍ය සහ සංවර්ධන කටයුතු මෙහෙයවීම පිණිස අදාළ ප‍්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවීම.
Image copyright Getty Images

මෙවර ජනපතිවරණයේදී දෙමළ ජනතාවගේ අපේක්ෂා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා කියා සිටියේ, උතුරේ වෙසෙන දෙමළ කාන්තාවන්ගෙන් අතිබහුතරය යුද්ධයෙන් දරුණු ලෙසින් පීඩාවට පත්වූවන් බවය.

"මමත් එහෙම කෙනෙක්නෙ. ඉතින් ඒ අයගේ වේදනාව මම දන්නවා."

මන්ත්‍රීවරිය පවසන්නේ, යුද ගැටුම් සමයේ සිය ස්වාමි පුරුෂයාට, පුතුට, සමීප ඥාතියාට සිදුවූයේ කුමක් දැයි දැන ගැනීම ඒ බොහෝ කාන්තාවන්ගේ එක ම අපේක්ෂාව බවය.

මෙවර මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය පළ කරන අතර, ඊපීඩීපී සංවිධානය සහ දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එස් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරති.

උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති වර්ධරාජා පෙරුමාල්, නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ නැගෙනහිර පළාතේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගේ සහය හිමිවන්නේ ද ගෝඨාභය රාජපක්ෂටය.

"ජාතික ආරක්ෂාව කියන්නේ දෙමළාගෙන් ආරක්ෂා වීම ද?"

මේ අතර යාපන විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසන්නේ, මෙවර ජනපතිවරණයේදී උතුරේ ජනතාවගේ ප්‍රධාන ම අවධානය යොමු වී තිබෙන්නේ, මේ මොහොතේ විඳිමින් සිටින නිදහස අහිමි කර නොගැනීම කෙරෙහි බවය.

Image copyright Getty Images

"ඔවුන්ගේ ප්‍රධාන ම අපේක්ෂාව මර බියෙන් තොරව ජීවත්වීම, කොයි මොහොතක හෝ පැහැරගෙන ගිහිල්ල මරා දමාවි ද කියන බය නැතිව ජීවත්වෙන එක," යනුවෙන් කථිකාචාර්ය සාමිනාදන් විමල් සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

විශේෂයෙන් ම ප්‍රධාන අපේක්ෂකයින් අතරින් එක් කඳවුරක් "ඉතා ම දරුණු ලෙස ජාතිවාදය යොදා ගනිමින් සිටින" බව පවසන ඔහු, පලාලි ගුවන් තොටුපොළේ නාම පුවරුවේ මුලින් ම දෙමළ භාෂාවෙන් සටහන් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් මතු කළ විරෝධය උදාහරණයක් ලෙසින් පෙන්වා දුන්නේය.

"සමස්තයක් විදියට ඒ කඳවුර නිතර ම කතා කරන්නේ ජාතික ආරක්ෂාව ගැන. ඒ කියන්නේ දෙමළාගෙන් සිංහලයා ආරක්ෂා කර ගැනීම."

මේ වන විට දෙමළ තරුණ ජනතාව තුළ දෙමළ ජාතික සන්ධානය කෙරෙහි කිසියම් විරෝධයක් මතු වී තිබුණත්, ඔවුන් "සිංහල ජාතිවාදී කඳවුරට" සහය දෙන බවක් එමගින් ගම්‍ය නොවන බව කථිකාචාර්ය සාමිනාදන් විමල්ගේ අදහසය.

"කොහොමටවත් අවුරුදු පහකට කලින් තිබුණ තත්ත්වයට යන්න දෙමළ ජනතාව සූදානම් නැහැ."

ලන්ඩන් නුවර වාසය කරන දෙමළ ක්‍රියාධරයෙකු වන ජෝන් යෝක් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, කථිකාචාර්යවරයාගේ අදහස අනුමත කළේය.

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයා ද වන ජෝන් යෝක් පවසන්නේ, ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතරින් විශාල කොටසක් බියෙන් ජීවත්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ උප සභාපති සෑම් සම්බන්ධන් පවසන්නේ සිංහල බහුතර ජනතාව හා සමාන අවස්ථා තමන්ටත් ලැබිය යුතු යයි දෙමළ ජනතාව ඉල්ලා සිටින බවය.

"දෙමළ ජනතාව තවමත් ජීවත්වෙන්නේ බියෙන්. ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගන්න මේ ආණ්ඩුවත් සමත් වුණේ නෑ," ටෙලෝ සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපතිවරයා ද වන සෑම් සම්බන්ධන් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

"ඔවුන්ට අවශ්‍ය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, නිදහසේ ඔබ මොබ යාමේ අයිතිය. හමුදාවේ නීතිවලට යටත් වෙලා ජීවත් වෙන්න ඔවුන් සූදානම් නැහැ."

ඒ බිය දුරු කිරීම සහ ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සාධනීය ප්‍රවේශයක් අනුගමනය කරන අපේක්ෂකයාට නොවැම්බර් 16 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය හිමි වනු ඇති බව ඔවුන් සියලු දෙනාගේ මතය වී තිබේ.

තවදුරටත් කියවන්න: