ජනාධිපතිවරණය සහ කාන්තාව: "පිට රටවල සතුන් ප්‍රවාහනයටත් ප්‍රමිතියක් තිබෙනවා"

Image caption "සහරාන්ගේ සිද්ධියයි ඒ සිද්ධියයි දෙකක්. ඒක, ත්‍රස්තවාදයක් නම්, අන්තවාදයක් නම් මැයි මාසයේ සිදු වුණේ දේශපාලන ත්‍රස්තවාදයක්. අද ඒක නැවතිලා තිබෙනවා"

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව තුළ යළි මුස්ලිම් විරෝධී රැල්ලක් ආරම්භ විය හැකි බවට ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති, ජනරාල් මහේෂ් සේනානායක අනතුරු අඟවයි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු අගෝස්තු මාසය දක්වාම සමාජ ජාල ඔස්සේ පැතිර ගිය මුස්ලිම් විරෝධී රැල්ල මේ වන විට නැවතී ඇතැයි පවසන හිටපු හමුදාපතිවරයා, රට තුළ සැබෑ වශයෙන්ම ආගම් භේදයක් පැවතියේ නම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ සැනින් එය අවසන් වූයේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

"මම මෙතැනදී කෙලින්ම කියනවා එහෙම කරන අය, කරපු අය මෙවර ඡන්දයට ඉදිරිපත් වෙනවා. ඒ නිසා තමයි මෙය නවතා තිබෙන්නේ. නොවැම්බර් 17 වෙනදාට පස්සේ නැවත වතාවක් එය සිදුවෙයි. මට එහෙම කියන්න වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

"සහරාන්ගේ සිද්ධියයි ඒ සිද්ධියයි දෙකක්. ඒක, ත්‍රස්තවාදයක් නම්, අන්තවාදයක් නම් මැයි මාසයේ සිදු වුණේ දේශපාලන ත්‍රස්තවාදයක්. අද ඒක නැවතිලා තිබෙනවා. ඒ ඔහු ඡන්දය ඉල්ලන නිසා" යනුවෙන් ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක වැඩිදුරටත් පැවසීය.

ජාතික ආරක්ෂාව

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාව

අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පාස්කු දින එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සහ ඉන් අනතුරුව රට පුරා විවිධ ස්ථානවලින් අවි ආයුධ හමුවීමත් සමග දේශපාලන වේදිකාව තුළ "ජාතික ආරක්ෂාවට" ප්‍රමුඛත්වයක් හිමි විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා වන සූදානම ප්‍රකාශ කරන්නේ ද එවැනි පසුබිමකදීය.

එම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාපති ධුරයේ කටයුතු කළ ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නේ "ජාතික ආරක්ෂාව" යන වචනය හුදු දේශපාලන වේදිකාවට පමණක් සීමා වී ඇති බවය.

"ඔවුන් කතා කරන්නේ භෞතික තත්ත්වය (Physical National Security). ඔවුන් කතා කරන්නේ සහරාන් නැවත එයිද? එල්ටීටීඊය වගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් නැවත ප්‍රහාර එල්ල කරයිද? වැනි කාරණා,"

ජාතික ආර්ථිකය, අධ්‍යාපනය, සංහිඳියාව, ජාතික සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතභාවය සහ පරිසරය යන සියලුම ක්ෂේත්‍ර ජාතික ආරක්ෂාවට ඇතුළත් විය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක පෙන්වා දෙයි.

"නමුත් ඔවුන් මේ සෙසු දේවල් ගැන කතා කරන්න දන්නෙත් නැහැ. මොකද ආරක්ෂාව කියන වචනය විකුණන්න පමණයි ඉන්නේ."

"නොපෙනෙන සතුරෙක්"

Relatives pay their respects in front of the graves of the victims of recent bomb blasts at St. Sebastian's Church in Negombo on April 28, 2019, a week after a series of bomb blast
Getty
මේ කාලේ කතාවෙන සතුරාට සටන් භූමියක් නැහැ. එහා පැත්තේ කාමරේ තමන්ගේ දරුවා කරන දේ දෙමව්පියන් දන්නේ නැහැ. එයට යුද හමුදාව ඉහළ දැමීම නෙමෙයි අවශ්‍ය වන්නේ,
හිටපු හමුදාපති මහේෂ් සේනානායක
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක

"මොවුන් මේ මාකට් කරන්නේ මේ භෞතික ප්‍රහාරයක් ගැන පමණයි. ඔවුන් මේ මොහොතේ දෙන්නේ උත්තරයක් නොවෙයි. ඇහුවොත් කියන්නේ මට විතරයි පුළුවන් කියලා. හමුදාව ලොකු කරනවා.. හමුදාව ලොකු කරනවා.. කියනවා ඒක නෙමෙයි උත්තරේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"මොකද ඉදිරි සතුරා, මේ කාලේ කතාවෙන සතුරාට සටන් භූමියක් නැහැ. ඔහු සමාජය තුළ ජීවත් වෙන්නේ. ඔහු නිවස තුළ ජීවත් වෙන්නේ. එහා පැත්තේ කාමරේ තමන්ගේ දරුවා කරන දේ දෙමව්පියන් දන්නේ නැහැ. එවැනි වාතාවරණයක් අද රටේ තිබෙන්නේ. එයට යුද හමුදාව බලාත්මක කිරීම, ඉහල දැමීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ."

"ප්‍රතිපත්තියක් වශයෙන් මේ රටේ ඒ සියලු දේ එක්රැස් කරපු තැනක තමයි ජාතික ආරක්ෂාව හැදෙන්නේ. පවුලෙන්, පාසලෙන් සංහිඳියාව ඇති කරන්න. පල්ලියෙන්, පන්සලෙන්, කෝවිලෙන්, දේවස්ථානයෙන් තමයි සංහිඳියාව ඇති කරන්නේ. ශ්‍රී ලාංකීය කියන මානවයා බිහි කළ යුත්තේ එතනින් මිස දේශපාලනයෙන් නොවෙයි. අද අපිව බිඳලා, බෙදලා තමයි දේශපාලනය කරන්නේ. එය තමයි ඔවුන්ගේ ජාතික ආරක්ෂාවයි අපේ ජාතික ආරක්ෂාවයි අතර තිබෙන විශාල වෙනස."

ඊට සමගාමීව නීතිය හා සාමය යටතේ පවතින ආයතන ශක්තිමත් කිරීම, අන්තවාදීන් ලෙස හැසිරවිය හැකි කණ්ඩායම්වලට මුදල් ගලා එන ක්‍රම අහුරා දැමීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද ක්‍රියාත්මක විය යුතු බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පවසයි.

යුද අපරාධ

Image copyright Getty Images
Image caption "අතීතයේ සිදු වූ දේට විසඳුම් නොදී ඉදිරියට යා හැකිද?"

ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර තිස් වසරක් පුරා පැවති යුද්ධය අවසන් වී දශකයකට අධික කාලයක් ගතව ඇතත් එහිදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් ස්වාධීන පරීක්ෂණයක් සිදු කර නොමැත.

විශේෂයෙන් යුද්ධයේ අවසන් අදියරයේදී සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, යටත් වූ එල්ටීටීඊ සාමාජිකයන් මරා දැමීම මෙන්ම ඇතැම් එල්ටීටීඊ සාමාජිකාවන් දුෂණය කර මරා දැමු බවටත් ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

එවක අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වී නොමැති බවට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ මැසිවිලි නගති.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ දක්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශකයක් සිදු කර නොමැත. දෙමළ ජාතික සන්ධානය ඔහුට සහාය දීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධය පළ කර තිබුණේ එවැනි පසුබිමකදීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවේදීන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ "ඔබ සෑම විටම අහන්නේ අතීතය ගැනයි. අනාගතය ගැන අහන්නේ නැත්තේ ඇයි? මම උත්සාහ කරන්නේ අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමටයි," යනුවෙනි.

"අතීතයේ සිදු වූ දේට විසඳුම් නොදී ඉදිරියට යා හැකිදැයි" එහිදී මාධ්‍යවේදියෙකු කළ විමසීමට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.

Sri Lankan soldiers patrol, late February 20, 2009 at Katunayake, near the international airport, at the crash-site of a rebel Tamil Tiger light aircraft which Sri Lanka's air forc
Getty
කිසිම අපේක්ෂකයෙකුට හෝ පුරවැසියෙකුට මේ ප්‍රශ්නයෙන් මිදෙන්න බැහැ. පැහැදිලිවම අතීතයේ යම් කිසි දෙයක් සිදු වී ඇතැයි සැකයක් තිබේ නම් ඒ සඳහා පරීක්ෂණ සිදු කළ යුතුයි.
හිටපු හමුදාපති මහේෂ් සේනානායක
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක

"අතීතයේ සිදු වූ දේට විසඳුම් නොදී ඉදිරියට යා හැකිදැයි" බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක කියා සිටියේ, "කිසිම අපේක්ෂකයෙකුට හෝ පුරවැසියෙකුට මේ ප්‍රශ්නයෙන් මිදෙන්න බැහැ. පැහැදිලිවම අතීතයේ යම් කිසි දෙයක් සිදු වී ඇතැයි සැකයක් තිබේ නම් ඒ සඳහා පරීක්ෂණ සිදු කළ යුතුයි. ඒ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් කාට හෝ දඬුවම් කළ යුතු නම් දඬුවම් දිය යුතුයි. නමුත් එවැනි පිළිතුරු ලබා දෙන්නේ ඔවුන්ට කුකුසක්, සැකයක් තිබෙන නිසා මිස මට නෙමෙයි ඒ ප්‍රශ්නය තිබෙන්නේ." යනුවෙනි.

"යුද්ධ කාල සීමාව තුලදී අතුරුදහන් වීම් සිදු වී තිබේ නම් ඒ සඳහා පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ පරීක්ෂණවල නිර්දේශ තිබෙනවා. ඇයි මේ ප්‍රශ්නය අද අපෙන් නැවත නැවත අහන්න වෙලා තිබෙන්නේ පසුගිය අවුරුදු නවය තුළ ඒ නිර්දේශවලට අනුව කටයුතු කළේ නැහැ. ඒ කොමිෂන්වල බලතල පාවිච්චි කළේ නැහැ. ඒක තමයි අපට ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න තිබෙන්නේ. ඒ වගේම සෙබළුන් තුන්දහස් හාරසීය ගානක් අතුරුදහන් වී තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ යුතුයි. ඔවුන් ගැනත් වගවිය යුතුයි."

"කොහොම නමුත් හමුදාපති හැටියට ඉන්න කාලෙත් මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා රණවිරුවෙක් කියන්නේ මිනීමරුවෙක් නොවෙයි. යම් කිසි කෙනෙක් යුද්ධය අතරතුර හෝ ඉන් පස්සේ හමුදා නිල ඇඳුමට ආවරණය වී එකිනෙකාගේ අවශ්‍යතාව අනුව කාවහරි අතුරුදහන් කර තිබේ නම්, පහර දී තිබේ නම් මිය යාමට ලක් කර තිබේ නම් ඔහු රණවිරුවෙක් නොවෙයි. ඔහු මිනී මරුවෙක්."

Getty
හමුදා සෙබළු තුන්දහස් හාරසීය ගානක් අතුරුදහන් වී තිබෙනවා. ඒ පිළිබඳත් පරීක්ෂණ සිදු කළ යුතුයි. ඔවුන් ගැනත් වගවිය යුතුයි.
හිටපු හමුදාපති මහේෂ් සේනානායක
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක

අතුරුදහන් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතනය සහ ඔවුන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලද ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණවලට ශ්‍රී ලංකා යුද හමුදාව සහාය ලබා නොදෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ තම සේවා කාලය තුළ ඒ සඳහා සහාය දී ඇති බවය.

"නමුත් යම් යම් දේශපාලන හේතු මත ඒ පරීක්ෂණ හරිහැටි ඉටු කලාද? ඉටු කළා නම් මේ ප්‍රශ්නය පැන නැගෙන්නේ නැහැ. ඉටුවෙන්නෙත් නැත්තේ ඇයි? එකම කණ්ඩායමක තමයි ජීවත් වෙන්නේ. දේශපාලකයන් කියන අය මේක රස්සාවක් කරගෙන ඉන්නවා. රට ඒ ගොල්ලන්ගේ කියලා හිතා ගෙන ඉන්නවා. ඔවුන් නීතියට උඩින් ඉන්නවා. දෙගොල්ලම එකයි. ඒ නිසා කවුරු ආවත් ඒ සිද්ධියත් එහෙමයි, හොරු අල්ලන එකත් එහෙමයි. දෙකම එකයි. මේ රටේ නීති තියෙන්නේ අපිට, ඔවුන්ට නෙමෙයි. එතනයි ගැටලුව තියෙන්නේ."

"225 ම එපා කියපු රටක්"

parliament
Getty
දැනට මාස කීපයකට ඉස්සෙල්ලා මේ රටේ ජනතාව කිව්වා 225 ම එපා කියලා. එහෙම තත්ත්වයක් මිනිස්සුන්ගේ යටි හිතේ තිබෙනවා.
හිටපු හමුදාපති මෙහේෂ් සේනානායක
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක

නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් තරග කරති.

මෙතෙක් බලයේ සිටි සහ සිටින පක්ෂ සහ ඒවාට සහාය ලබා දෙන ඇතැම් සෙසු පක්ෂ ජනාධිපතිවරණය සඳහා තරග කර ඇතත් මෙවර ඒ සඳහා වෘත්තියවේදීන් ලෙස සැලකෙන අපේක්ෂකයන් සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වී සිටිති.

තමන් නිර්පාක්ෂිකයෙකු ලෙස තරග කරන බැවින් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පක්ෂවල "අත්අඩංගුවට පත් නොවන" බව ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

"මේ පක්ෂ දෙක තමයි වගකිව යුත්තේ අද මේ රට තිබෙන තැන ගැන. මම ඒ කණ්ඩායමේ කෙනෙක් නොවෙයි"

"මේ ගඳ ගසන, ඉතාමත් දුර්වල පාලකයන් සිටින පක්ෂ වෙත මේ රට නැවත ගියහොත් පැහැදිලිවම අපට කියන්න වෙන්නේ තව අවුරුදු එකසිය පනහක් ගියත් මේක සංවර්ධනය වෙමින් පවතින රටක් මිස සංවර්ධනය වූ රටක් කියලා නෙමෙයි," යනුවෙන් ඔහු කියා සිටී.

"ඒ වගේම දැනට මාස කීපයකට ඉස්සෙල්ලා මේ රටේ ජනතාව කිව්වා 225 ම එපා කියලා" යනුවෙන් පවසන මහේෂ් සේනානායක එම තත්ත්වය තවමත් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ ඇති බව සඳහන් කළේය.

"මගේ කණ්ඩායමේ නැත්තේ දේශපාලකයෝ, මගේ කණ්ඩායමේ නැත්තේ සොරු, මගේ කණ්ඩායමේ නැත්තේ දුෂිතයෝ, වංචාකාරයෝ තමයි මගේ කණ්ඩායමේ නැත්තේ."

කාන්තාවන්

පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසන සිදුවන ආකාර

මූලාශ්‍ර: srilanka.unfpa.org

මෙවර ජනාධිපතිවරණයේ දී කාන්තාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වෙනදාට වඩා කතාබහ කරන තත්ත්වයක් දක්නට ලැබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක ශ්‍රී ලාංකික කාන්තාව බල ගැන්වීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% වැඩි ප්‍රතිශතය කාන්තාවන් වුවත් "ආර්ථික ක්‍රියාදාමයට එක වන්නේ 32% ක්" බව පවසන ඔහු විවාහයෙන් පසු කාන්තාව මවකට පමණක් සීමා වන බව කියා සිටී.

"ඒ වගේම මේ රටේ වීර කාන්තාවන් තිදෙනෙක් ඉන්නවා. පළමු කෙනා තේ දළු නෙලනවා. දෙවැනි එක්කෙනා ඇඳුම් මහනවා, තුන් වෙනි එක්කෙනා මැදපෙරදිග ගෘහ සේවයේ යෙදෙනවා. කාන්තාවට සම තැන නෙමෙයි, නිසි තැන ලැබෙන ක්‍රමවේදයක් ගැන අපි කතා කරනවා. ගරුත්වය ආරක්ෂාව ලැබිය යුතුයි. ඒ දේවල් නොලැබීම අද ලොකු ප්‍රශ්නයක්. මගේ ප්‍රතිපත්ති මාලාව තුළ කාන්තාව සහ ළමුන් පිළිබඳ එකට කතා කරනවා."

Getty
පිටරටවල සතුන් ප්‍රවාහනය කරන්නත් ප්‍රමිතියක් තිබෙනවා. නීතිය හා සාමයට ආදාල ආයතනවලට කාන්තාවක් ගිහාම ඒ දේ ලැබෙනවද? සිර ගෙදර, පාසලේ, රැකියාව කරන ස්ථානයේ ආරක්ෂාව තිබෙනවාද?
හිටපු හමුදාපති මහේෂ් සේනානායක
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක

පොදු ප්‍රවාහනයේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90% ක් කවර හෝ ආකාරයක ලිංගික අඩන්තෙට්ටමකට මුහුණ දෙන බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබිණි.

කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ " ඔබ හරියටම හරි. මේ දේවල් සිදු වෙලා තියෙන්නේ ඇයි? මේ දේ දකින්නේ දේශපාලනයේ බලපෑමක් විදිහට. ඔවුන් මේ දේ හඳුනා ගන්නේ නැතුව ඔවුන්ගේ බලය සිර කර ගැනීමට පමණක් වෙහෙසෙමින් මේ දේවල් අතහරිමින් වසර හැත්තෑ දෙකක් මේ රට පාලනය කිරීම නිසයි මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ," යනුවෙනි

"පිටරටවල සතුන් ප්‍රවාහනය කරන්නත් ප්‍රමිතියක් තිබෙනවා. අපේ රටේ මහජනතාව ප්‍රවාහනය කිරීමේදී ප්‍රමිතියක් නැහැ. ඒ ආරක්ෂාව, නීතිමය තත්ත්වය තිබෙනවාද? නීතිය හා සාමයට ආදාල ආයතනවලට කාන්තාවක් ගිහාම ඒ දේ ලැබෙනවද? සිර ගෙදර, පාසලේ, රැකියාව කරන ස්ථානයේ තිබෙනවාද? නැහැ."

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂකයාට ඡන්දය ලබා දෙන පුද්ගලයෙක් සිය දෙවන මනාපය ලබා දිය යුත්තේ කාටදැයි කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මහේෂ් සේනානායක කියා සිටියේ "අපි ඉදිරිපත් වෙලා ඉන්නේ මේ පක්ෂ දෙකම එපා නිසා. ඒ නිසා දෙවැනි මනාපය ගැන අපේ කතාවක් නැහැ," යනුවෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර