ජනාධිපතිවරණය සහ පෞද්ගලික මාධ්‍ය :"මැතිවරණ කොමිසමේ සභාපති හැසිරෙන්නේ නළුවෙක් වගේ"

Image copyright Mahinda Deshapriya/Facebook

මෙවර ජනාධිපතිවරණයේදී පෞද්ගලික මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

පෞද්ගලික මාධ්‍ය සිය පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඇතැම් පාර්ශවවලට වාසිසහගත වන අයුරින් ක්‍රියාකරන අතර, ඇතැම් පාර්ශවවලට පහර ගසන බවට චෝදනා එල්ල වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද දැඩි විවේචන එල්ල වී තිබේ.

ෆේස්බුක්හි පළ කර තිබූ ඉහත දැක්වෙන අදහසට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රතිචාර දක්වා ඇත්තේ, "නීතිය අනුව අපට සෘජුවම ක්‍රියා කළ හැක්කේ රාජ්‍ය මාධ්‍ය ගැන පමණයි. ඉතා නරක ලෙස මාධ්‍ය උපමාන උල්ලංඝණය කරන වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇති පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් ගැන යමක් කරන්න බලමින් ඉන්නවා," යනුවෙනි.

පසුගිය ඔක්තෝබර් 22 වන දා කොළඹ පදනම් ආයතනයේදී "මැතිවරණ මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද, ප්‍රායෝගික ද?" යන මතෘකාව යටතේ පැවති මහජන සංවාදයේදී ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, මාධ්‍ය උපමාන පැනවූයේ මෙරට පැවැත්වෙන සෑම මැතිවරණයකදී ම සියලු අපේක්ෂකයන්ට සම භූමියක් ලබා දීමේ අවශ්‍යතාව මත බවය.

"මාධ්‍ය පාලනය කරනවා කියන එක මිථ්‍යාවක්. ලෝකයේ කිසි ම රටක සාර්ථකව ජනමාධ්‍ය පාලනය කරන්නට බැහැ. මාධ්‍ය පාලනය කරන්නට පුළුවන් යකඩ සපත්තු සහ තුවක්කු තිබෙන පාලකයන්ට පමණයි. හැබැයි මාධ්‍යවල එකඟතාව අරගෙන සදාචාරවත් මාධ්‍ය කලාවක් හැදීමට නම් උත්සාහ කළ හැකියි. මැතිවරණ මාධ්‍ය උපමානවල අරමුණත් එයයි," මහින්ද දේශප්‍රිය පැවසීය.

"අපේ උපමාන කිසි ම මාධ්‍යයක බෙල්ලට එල්ල කළ කඩුවක් නොවෙයි. හැබැයි සෙසු මාධ්‍යවලට වඩා රාජ්‍ය මාධ්‍යවලට මෙම උපමාන සෘජුවම බල පවත්වනවා."

මෙම පැහැදිලි කිරීම් අනුව වැරදි අදහස් දෙකක් ඉදිරිපත් කිරීමට ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියාකර ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස බීබීසී සිංහල සේවයට පැවසීය.

"මාධ්‍ය පාලනය කරනවා කියන එක මිථ්‍යාවක් යනුවෙන් අර්ථකථනය කිරීමත් මාධ්‍ය උපමාන අනෙකුත් මාධ්‍යවලට වඩා රජයේ මාධ්‍යවලට සෘජුව ම බලපාන බව කීමත් වක්‍රව පෞද්ගලික මාධ්‍යවලට හිතුමතේ ක්‍රියා කිරීමට දිරිමත් කිරීමක්," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස පැහැදිලි කළේය.

"පෞද්ගලික මාධ්‍ය නියාමනය කරන්න ව්‍යවස්ථාවෙන් බලය තිබෙනවා"

පෞද්ගලික මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් "මැතිවරණ කාල සීමාවක් තුළ සියලු ම මාධ්‍ය නියාමනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ව්‍යවස්ථානුකූලව බලය පවතින," බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

"ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම විෂයෙහි ලා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යයි කොමිෂන් සභාව විසින් සලකනු ලබන උපමාන අවස්ථාවෝචිත පරිදි කොමිෂන් සභාව විසින් උචිත යයි සලකනු ලබන යම් ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවයක් පවත්වාගෙන යන්නෙකු හෝ යම් ප්‍රවෘත්ති පත්‍රයක අයිතිකරුවෙකු හෝ ප්‍රකාශකයෙකු වෙත කලින් කල නිකුත් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබිය යුත්තේය' (උපුටා ගැනීම: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ 5 (අ) වගන්තිය යටතේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට සියලු මාධ්‍ය නියාමනය කිරීමේ බලතල පැවරී ඇතැයි" වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

එම ආයතනයේ වාර්තාව අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ප්‍රවේශ වී ඇති ආකාරය පිළිබඳව පහත චෝදනා එල්ල කර තිබේ.

  1. පෞද්ගලික මාධ්‍ය නියාමනය කිරීම සඳහා දැනටමත් හිමි වී ඇති ව්‍යවස්ථාමය බලතල ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම.
  2. මාධ්‍ය උපමාන උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී ලෙස පියවර ගැනීමෙහි ලා පවතින දුර්වලත්වය.

මේ අනුව, "පෞද්ගලික මාධ්‍යයන් සඳහා මෙම උපමාන ක්‍රියාත්මක කිරීමේදී කොමිෂන් සභාව ගතානුගතික විලාසයෙන් ම ක්‍රියාත්මක වෙමින් පවතින," බව වෙරිටේ රිසර්ච් ආයතනය නිගමනය කරයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම පවසන්නේ, මාධ්‍ය උපමාන අනුව "දඬුවම් කිරීමට හැකියාවක් පවතින්නේ රාජ්‍ය මාධ්‍යවලට පමණක් බව නීතිමය වශයෙන් සඳහන් වන අතර පෞද්ගලික මාධ්‍ය ආයතන සඳහා දඩුවම් පැනවීමට බලයක් නොමැති වීම ගැටලුසහගත තත්ත්වයක්," බවය.

ඇය පෙන්වා දුන්නේ, "සෑම මාධ්‍ය ආයතනයක් ම ස්වයංනියාමනයක් ඇති කර ගත යුතු වනවා මෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු," බවය.

"යම්කිසි නාලිකාවක් විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් යම් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, එයින් ජනතාවට විශාල අසාධාරණයක් සිදුවෙනවා මෙන්ම රටේ අනාගතයට විශාල බලපෑමක් වනවා. මැතිවරණ කොමිෂන් සභාවට, මානව හිමිකම් වැනි කිසිම ආයතනයකට වගකීම් පවරනවා වෙනුවට ප්‍රබලව ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩනැගිය යුතුයි," යන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරියගේ අදහසය.

මේ අතර, මැතිවරණ සමයේ මාධ්‍ය ආයතන විසින් මාධ්‍ය උපමාන අනුගමනය කරනු ලැබීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළ බව පැෆ්රල් සංවිධානය පවසයි.

"ලංකාවේ මාධ්‍ය දේශපාලනයට වඩා දූෂිතයි"

"මැතිවරණයට අදාළව පෞද්ගලික මාධ්‍ය නියාමනය කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට බලතල නැතැයි සභාපතිවරයා පවසන්නේ නම් එය මුසාවක්," බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස පවසයි.

Image copyright Manoj Jinadasa/Facebook
Image caption ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස

"ලංකාවේ ගොඩක් අය මාධ්‍යවලට අවශ්‍ය විදිහට තමයි හැසිරෙන්නේ. රාජ්‍ය නිලධාරීනුත් ඒ මට්ටමට වැටිලා ඉන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය ඉදිරියේ හැසිරෙන්නේ නළුවෙක් වගේ. එයාගේ ක්‍රියාකාරීත්වයෙන් පේන්නේ ශික්ෂණයක් නැති රාජ්‍ය නිලධාරියෙක්වයි," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස පවසයි.

"ශ්‍රී ලංකාවේ මාධ්‍ය දූෂිතයි දේශපාලනඥයින්ට වඩා. ජනතාවට ඇත්ත නැත්ත දැනගන්න තියෙන්නේ මාධ්‍ය. ඒවා සදාචාරාත්මකව ක්‍රියාත්මක නොවී තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙහෙයවනවා නම් ඒක මාධ්‍ය උපමාන උල්ලංඝණය කිරීමක්. ඒවා නියාමනයට බලතල නෑ කීම විහිළුවක් නැත්නම් නොදන්නාකම," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස පැවසීය.

එල්ලවන චෝදනා පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීම පිණිස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

තවදුරටත් කියවන්න: