අතුරුදහන් වූවන් ගැන ගෝඨාභයගෙන් ඇසූ ප්‍රශ්නයට මහේෂ්ගෙන් පිළිතුරු
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන් වූවන් ගැන ගෝඨාභයගෙන් ඇසූ ප්‍රශ්නයට මහේෂ්ගෙන් පිළිතුරු

යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කිසිඳු දේශපාලනඥයකුට හෝ පුරවැසියෙකුට මිදී කටයුතු කළ නොහැකි බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

ඒ අතරම යුද සමයේ අතුරුදහන් වූ හමුදා සාමාජිකයන් පිළිබඳත් වගවීමට අවශ්‍ය බව හිටපු හමුදාපතිවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදීය.

අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු දේශපාලන වේදිකාව තුළ "ජාතික ආරක්ෂාව" පිළිබඳ වැඩි අවධානයක් යොමු වුවත් එය හුදෙක් මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගනු ලබන වචනයකට පමණක් සීමා වී ඇති බව ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායකගේ අදහසය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට යම් කිසි කාර්ය භාර්යයක් පැවතියත් ජාතික ආරක්ෂාව ගුණාත්මක මට්ටමකට ගෙන ඒම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය ශක්තිමත් කිරීමට මෙන්ම ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීම සඳහා ද නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු හමුදාපතිවරයා පෙන්වා දෙයි.

"මොකද ඉදිරි සතුරා, මේ කාලේ කතාවෙන සතුරාට සටන් භූමියක් නැහැ. ඔහු සමාජය තුළ ජීවත් වෙන්නේ. ඔහු නිවස තුළ ජීවත් වෙන්නේ. එහා පැත්තේ කාමරේ තමන්ගේ දරුවා කරන දේ දෙමව්පියන් දන්නේ නැහැ. එවැනි වාතාවරණයක් අද රටේ තිබෙන්නේ. එයට යුද හමුදාව බලාත්මක කිරීම, ඉහල දැමීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ." යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු "දේශපාලන උවමනාවක් මත" දියත් කෙරෙනු මුස්ලිම් විරෝධය ජනාධිපතිවරණයෙන් පසු යළි හට මතු වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාව ඉහතින් නරඹන්න.

සම්පූර්ණ ලිපිය: මුස්ලිම් විරෝධය: මහේෂ් සේනානායක අනතුරු අඟවයි