කුසුමා ගුණවර්ධන: යුදගිනි මැද ඉන්දියානු නිදහස් සටනටත් පණදුන් සම සමාජ සෙබළියක්

Image copyright Philip Gunawardena Foundation
Image caption කුසුමා සමුදුර තරණය කරමින් ඉන්දියාවට ගොස් එහි සැඟවී සිටි ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නායකයා වූ සිය සැමියාට එක්වූවාය.

1942 -තලෙයි මන්නාරම නැව්තොට.

තලෙයි මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා යාත්‍රා කිරීමට නියමිත මගී පාරුවට පිවිසි යුවළක් සහ ඔවුන්ගේ යොවුන් "දියණිය" කෙරෙහි සෙසු මගීන්ගේ අවධානය යොමුවුණේ වයස්ගත පෙනුමක් නොමැති එම යුවළට එතරම් වැඩුන දියණියක් සිටීම එක්තරා ආකාරයක වාසනාවක් ලෙස ඔවුන් සලකන ලද හෙයිනි.

එම ත්‍රිපුද්ගල මගී කණ්ඩායමේ නායකයා රෙජී සේනානායක නැමැත්තෙකු වූ අතර ඔහුගේ බිරිඳ ෆ්ලොරන්ස් සේනානායක වූවාය. පාසල් ඇඳුමින් සැරසුන ඔවුන්ගේ "දියණියත්" ඔවුන් සමඟ වූවාය.

ඔවුන්ගේ දියණිය 'සේනානායක කෙනෙකු' නොවූ අතර ඇය ගමන් ගනිමින් සිටියේ කුසුම්සිරි අමරසිංහ නමිනි.

කුසුම්සිරි අමරසිංහ ගමන් ගනිමින් සිටියේ සේනානායක යුවළගේ දියණිය ලෙසය.

ඇයගේ ගමනේ ඉලක්කය බන්ධනාගාරයෙන් පළා ගොස් ඉන්දියාවේ සැඟව සිටින සිය ස්වාමිපුරුෂයාට එක්වීමය.

ඔහු පිලිප් ගුණවර්ධනය.

ඇය කුසුමා ගුණවර්ධනය.

කුසුමා සමුදුර තරණය කරමින් ඒවනවිට ඉන්දියාවේ සැඟවී සිටි ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නායකයා වූ සිය සැමියාට එක්වූවාය.

කුසුමාගේ දේශපාලන සටන්මග තීන්දු වන්නේ ඇය යොවුන්වියේ කොළඹ මියුසියස් විදුහලේ උගනිමින් සිටිය දී බොරළුගොඩ පරපුරේ විවියන් ගුණවර්ධන සමඟ වැඩුන මිත්‍රත්වයත් සමඟය.

යොවුන් කුසුමා ඩොරීන් වික්‍රමසිංහ, ෆ්ලොරන්ස් සේනානායක සහ විවියන් ගුණවර්ධන ඇතුළු පෙරළිකාරී කතුන් සමඟ එක්ව 1933 දී ආරම්භයේ පටන්ම යුද විරෝධී හඬක් නගමින් 'සූරියමල් ව්‍යාපාරයේ' කොටස්කාරියක් බවට පත් වූවාය. අනතුරුව ඔවුන්ගේ කාර්යභාරය වුණේ මැලේරියාවෙන් පීඩා විඳින ජනතාවට උදව් කිරීමය.

ප්‍රභූන් විසින් පීඩිත කුලවලට අයත් ජනතාවට එරෙහිව අනුගමනය කළ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කුසුමා ඇතුළත් සම සමාජ ව්‍යාපාරය විසින් නගන ලද හඬ ගම්දනව් පුරා ඇසෙන්නට විය.

ඇයගේ එම දේශපාලන ගමන් මාර්ගයේ ඊලඟ කඩඉම තීන්දු වෙන්නේ දේශපාලන ගමන් මාර්ගය තුළදී හඳුනාගත් පිලිප් සමඟ විවාහවීමෙනි.

Image copyright Philip Gunawadena Foundation
Image caption පිලිප් ගුණවර්ධන

ඒ සමඟ කුසුමා 1935 ආරම්භ වූ ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාධාරිනියක් බවට පත්වූවාය.

නායකයන් මුදාගැනීමේ මෙහෙයුම

1939 වසරේ දී දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ අතර, ලංකා සම සමාජ පක්ෂය යුද්ධයට සහයෝගය නොදෙන පිළිවෙතක් අනුගමනය කරන ලද හෙයින්, යටත් විජිත පාලකයන් විසින් එය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පිලිප්, එන්.එම්, කොල්වින් සහ එඩ්මන්ඩ් සමරක්කොඩි වැනි පක්ෂ නායකයන් අත්අඩංගුවට ගෙන සිරභාරයේ තබන ලදි.

සම සමාජ ව්‍යාපාරයේ කීර්තිය ලංකාව පුරා පැතිර යෑමට එවකට ප්‍රධාන දේශපාලන සිදුවීම් දෙකක් හේතුවිය.

ඉන් පළමුවැන්න 'බ්‍රෙස් ගර්ඩල් ' සිද්ධියයි. දෙවැන්න සම සමාජ නායකයන් බෝගම්බර බන්ධනාගාරයෙන් මුදා ගැනීමේ මෙහෙයුමයි.

සම සමාජ නායකයන් සිරගෙයින් මුදාගැනීමේ මෙහෙයුමේ දී සිරකුටි සඳහා රහස් යතුරු පිළියෙළ කර ගැනීමේ කාර්යයේ දී කුසුමා විශේෂ වැඩ කොටසක් ඉටු කළාය.

එම රහස්‍ය සැලැස්ම පළ දරමින් පිලිප් ඇතුළු යුද සිරකරුවන් 1942 අප්‍රියෙල් මාසයේ බෝගම්බර සිරගෙයින් පැන ඉන්දියාවට පළාගිය අතර, කුසුමා ගුණවර්ධන තලෙයි මන්නාරමෙන් නැව් නගින ලද්දේ එලෙස පළාගිය තම සැමියාට (පිලිප්) එක් වීමටය.

ශ්‍රී ලංකාවේ කලක් බලවත් විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරයක සමාරම්භක කොටස්කාරියක් මෙන්ම බලවත් දේශපාලන පවුලක (බොරළුගොඩ පවුල) අදිසි හස්තය බවට පත් කුසුමා ගුණවර්ධනගේ සටන්කාමී දේශපාලන ජීවිතයේ එක් පරිච්ඡේදයක් ආරම්භ වන්නේ එම මුහුදු ගමනට මුහුණ දුන් ධෛර්යවන්තභාවයත් සමඟය.

මිසිස් රාමසාමි

ඉන්දියාවේ දී පිලිප්ට (මිස්ටර් එඩ්වඩ් රාමසාමි) එක්වූ කුසුමා 'මේබල් රාමසාමි මහත්මිය' බවට පත්වූවාය.

සැඟවුන යටිබිම්ගත ජීවිතයක් ගෙවූ පිලිප් ඉන්දියාවේ දී පෙනී සිටියේ 'රාමසාමි' යන නමිනි.

ඒ වනවිට ලංකාවෙන් ඉන්දියාවට පළාගොස් සිටි සම සමාජ නායකයන් හැමදෙනෙකු මෙන්ම වෙස්වලාගත් ජීවිත ගත කරන ලද්දේ විවිධ ආරූඪ නම්වලින් පෙනී සිටිමිනි.

ආචාර්ය එන්.එම්.පෙරේරා ආරූඪ නමකින් ඉන්දීය බැංකුවක රැකියාවක් කර ඇති අතර ඔහුගේ බිරිඳ වූ සෙලීනා පෙරේරා, කුසුමා ගුණවර්ධන සහ පිලිප් ගුණවර්ධනගේ සොහොයුරිය වූ කැරොලයින් අන්තෝනිපිල්ලේ ට්‍රොට්ස්කිවාදී සංවිධාන සමඟ දේශපාලන කටයුතුවල දිගටම නිරතවෙමින් සිටියහ.

සම සමාජ නායකයන්ගේ ඉන්දියානු යටිබිම්ගත ජීවිතය හුදෙකලාව සැඟවී සිටීමක් නොව ඔවුහු එහිදී ඉන්දියානු නිදහස් සටනට දායක වූහ. ඔවුන් සියලුදෙනාම ඉන්දීය බෝල්ෂෙවික්-ලෙනින් පක්ෂය(BLPI) යටතේ සංවිධානය වී සිටි අතර එම පක්ෂය ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ සහ බුරුමයේ නිදහස වෙනුවෙන් ගොඩ නගන ලද විප්ලවකාරී පක්ෂය විය.

Image copyright Philip Gunawardena Foundation
Image caption පිලිප් ගුණවර්ධන සහ කුසුමා දරුවන් සමග

ඒ අතරවාරයේ යටත් විජිත ඉන්දියානු පොලිසිය විසින් පිලිප් ඇතුළු සම සමාජ නායකයන් වරින්වර අත්අඩංගුවට ගන්නා ලද අතර, පිලිප් සහ කුසුමා මුම්බායි (එවකට බෝම්බය) නගරයේ 'ආතර්' වීදියේ බන්ධනාගාරයක සිරකර තැබූහ.

ඒවනවිට පිලිප් - කුසුමා පවුලට ඔවුන්ගේ වැඩිමහල් පුත් ඉන්දික එක්ව සිටියේය.

කුසුමා බන්ධනාගාරගත වූයේ සිය සිඟිති පුතු ඉන්දික (රාමසාමි) ගුණවර්ධන සමඟය.

එයින් මාස කීපයකට පසු ඔවුන් ලංකාවට (Ceylon) පිටුවහල් කරනු ලැබුණ අතර යුද්ධය නිමවෙන තෙක් (1945) පිලිප් ලංකාවේ සිරභාරයේ තබනු ලැබ සිටියේය.

පාර්ලිමේන්තුවට නිතරඟයෙන්

1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පිලිප් ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් අවිස්සාවේල්ල ආසනය ජයගත්තේය.

එහෙත් 1947 මහා වැඩවර්ජනය මෙහෙයවනු ලැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද පිලිප්ට වසර හතක කාලයකට සිවිල් අයිතිවාසිකම් අහිමි කෙරුණ අතර මන්ත්‍රී පදවිය පවා අහිමි විය.

පිලිප්ගේ සිරගතවීමෙන් හිස්වූ අවිස්සාවේල්ල ආසනය සඳහා ලංකා සම සමාජ පක්ෂයෙන් කුසුමා ඉදිරිපත් කෙරුණ අතර ඇය නිතරඟයෙන්ම පාර්ලිමේන්තුවට පත් වූවාය. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත්වූ දෙවැනි කාන්තාව වන්නීය. ලංකා පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රීවරිය වූයේ කුසුමාගේ ද මිතුරියක වූ ෆ්ලොරන්ස් සේනානායකය.

1952 සහ 1956 මැතිවරණ ජයගත් කුසුමා 1960 තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වූවාය.

1953 හර්තාලය

සිය පාර්ලිමේන්තු නිල කාලය තුළ ඇය ලංකාවේ දිළිඳු ජනයාගේ ශුභසාධනය වෙනුවෙන් විශාල හඬක් නගන ලද අතර, විශේෂයෙන්ම දුප්පත් දරුවන්ගේ පෝෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය නංවාලීමට ගතයුතු පියවර පිළිබඳව අවධාරණය කළාය.

දිළිඳු ජනතාවට තදින් බලපෑ සහල් සේරුවේ මිල ඉහළ දැමීමත් සමඟ ඊට එරෙහිව දියත් කෙරුණ මහජන නැගිටීම වූ 1953 හර්තාලයේ දී සම සමාජ බලය මුල්බැසගෙන පැවති කැලණිවැලි ප්‍රදේශයේ මහජනතාවට නායකත්වය දෙමින් කුසුමා ගුණවර්ධන සිය සටන්කාමීත්වය ප්‍රදර්ශනය කළාය.

කුසුමා (අමරසිංහ) ගුණවර්ධන කොළඹ නගරයට ලඟාවන්නේ දකුණු ලංකාවේ තංගල්ල නගරය අසල 'මැදකැටිය' නම් සමුද්‍රාසන්න ගම්මානයෙනි. දකුණේ සාම්ප්‍රදායික බෞද්ධ පවුලක දියණිය වූ කුසුමා, කාන්තාවන් දේශපාලනය ගැන නොසිතන ලද කාලයක ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට එක්ව එහි පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිය නාමය සටහන් කළාය.

"ගුණවර්ධන යුවළ බොහෝ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර ඇති නමුත්, ඔවුන් ඒ වෙනුවෙන් පෞද්ගලිකව ලද කිසිවක් නැත," යනුවෙන් එක් විශ්ලේෂකයෙක් සඳහන් කර ඇත.

කියවන්න: