සජිත් ප්‍රේමදාස පැරදුණේ ඇයි?

Image copyright Getty Images

ජනාධිපතිවරණය නිමා විය. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය පිළිබඳව බොහෝ දේ ලියැවෙයි.

නමුත් සජිත් ප්‍රේමදාසගේ පරාජය පිළිබඳව 'පශ්චාත් මරණ පරීක්ෂණයක්" සිදු වන්නේ අතරින් පතරය.

සහරාන්ගේ ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වූ තත්ත්වය අනුව මෙම ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව වූයේ ජාතික ආරක්ෂාවයි.

එම නිසා ගෝඨාභය රාජපක්ෂ වෙත රැල්ල ගලා එන්නට පටන් ගත් බවක් දක්නට ලැබිණි. බහුතර සිංහල බෞද්ධයන් ශක්තිමත් නායකත්වයක් ඉල්ලා සිටි බව දක්නට ලැබිණි.

Image copyright Getty Images
Image caption "සියල්ලට කලින් රට රැක ගත යුතුය" යන තේමාව ශක්තිමත්ව ජනගත වූයේ ඉන් අනතුරුව ය

එමෙන් ම සජිත් ප්‍රේමදාසට පරාජය උරුම කර දීම සඳහා හේතු වූ තවත් කරුණු බොහොමයක් අතර, කිහිපයක් කැපී පෙනිණි.

ඉන් ඇතැම් දේ යහපාලනයේ මුල් සමය දක්වා විහිදෙයි.

යහපාලනයේ ජනප්‍රිය ම තේමාවක් වූයේ "හොරු ඇල්ලීම"ය. නමුත් අවසානයේ ඇල්ලූ හොරුන් ගැන ජනතාව ප්‍රශ්න කරන්නට වූහ.

ඒ වෙනුවට "බැඳුම්කරය" ජනගත විය. එය ප්‍රතිවාදීන්ට බලවත් අවියක් විය. එය අදටත් 'නොවිසඳුණු බැඳුම්කරය'කි.

Image copyright Getty Images
Image caption මේ සියල්ල සිදුවෙමින් පවතින අතරතුර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සීතල යුද්ධය ක්‍රමයෙන් ද්වන්ධ සටනක් දක්වා වර්ධනය විය

ව්‍යාපාරික ප්‍රජාව බදු බර ගැන කනස්සල්ලෙන් සිටියේය. ඒ මතට පැටවුණු කාබන් බද්ද වැනි අමතර බදු කෙරෙහි දැඩි විවේචන එල්ල විය.

මිල සූත්‍රය ද අමතක කළ නොහැකිය. එය ඇතැමෙකුගේ කෝපයට මෙන් ම අවඥාවට සහ හාස්‍යයට ද ලක් විය.

මිලට සූත්‍රයක් දැම්මත්, පෙට්‍රල් සහ ඩීසල් පෝලිම් වරින් වර ඇති වීම වළක්වා ගැනීමට එවකට රජය අපොහොසත් විය. ජනතා කෝපය රුපවාහිනී නාලිකා හරහා ජනගත වෙන්නට පටන් ගත්තේය.

සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ කරුණු දැඩි සංවාදයකට සහ විවේචනවලට තුඩු දුන්නේය.

සීතල යුද්ධය

මේ සියල්ල සිදුවෙමින් පවතින අතරතුර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සීතල යුද්ධය ක්‍රමයෙන් ද්වන්ධ සටනක් දක්වා වර්ධනය විය.

දේශපාලන අස්ථාවරභාවය ඉදිරියේ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටිණි. රටේ ආර්ථිකයට එය මරු පහරක් විය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම දැඩි විවේචනයට ලක් විය. මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය දේපළ විකුණා දැමීම, ප්‍රතිවාදීන්ගේ සටනට ඉන්ධන සැපයුමක් විය.

කළ හොඳ වැඩක් වුවත් එය ජනගත කරන්නට තරම් උනන්දුවක් හෝ හැකියාවක් යහපාලනයට නොතිබුණු බවට යහපාලනය තුළින් ම විවේචන එල්ල වන්නට පටන් ගත්තේය. යහපාලනයේ පුරෝගාමී චරිතයක් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද එය ප්‍රසිද්ධියේ සනාථ කළාය.

සහරාන්ගේ ප්‍රහාරය

Image caption සහරාන්ගේ ප්‍රහාරය හැරවුම් ලක්‍ෂයක් විය

තොරතුරු දැන ගැනීමේ පනත, ස්වාධීන කොමිෂන් සභා, ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම වැනි කටයුතු පිළිබඳව සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයට එතරම් දැනුණේ ද යන්නත් ප්‍රශ්නයකි.

සහරාන්ගේ ප්‍රහාරය හැරවුම් ලක්‍ෂයක් විය. ඊට වගකිය යුත්තා කවුරුන්දැයි ජනතාව ප්‍රශ්න කරන්නට විය. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ කඹ ඇදිල්ල එහිදී ද කැපී පෙනුණි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමතිවරුන් කිහිප දෙනෙකු සිනහමුසු මුහුණින් හැසිරුණු ආකාරය බොහෝ දෙනා ගේ කෝපයට හේතු වී තිබුණු බව සමාජ මාධ්‍ය දෙස් දුණි.

"සියල්ලට කලින් රට රැක ගත යුතුය" යන තේමාව ශක්තිමත්ව ජනගත වූයේ ඉන් අනතුරුව ය.

මහා සංඝ රත්නය ද පෙර නොවූ විරූ අයුරින් ඒ වටා රොක් වූහ.

Image copyright Getty Images

යහපාලනයේ ඇතැම් ඇමතිවරුන් සිදු කළ, සිංහල බෞද්ධ ජන පදනමට 'නොදිරවන' ප්‍රකාශ ප්‍රතිවාදීන්ට අවි සැපයීමක් වූ බවට එක්සත් ජාතික පක්ෂය තුළින්ම චෝදනා එල්ල විය.

"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ" වැනි ප්‍රකාශ 'පෝස්ටු' බවට පරිවර්තනය වී සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙන්නට පටන් ගත්තේය.

මේ අතර සජිත්ට අපේක්‍ෂකත්වය ලබා ගැනීම සඳහා අරගල කරන්නට සිදු විය. එහිදී එජාපය තුළ ඇතැම් පිරිස් සජිත්ට එරෙහිව කළ ප්‍රකාශ පසු කාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ නැවත නැවත පළ වන්නට විය.

Image copyright Getty Images

එමෙන්ම මැතිවරණ සමය තුළදී මතු වූ ඇතැම් සිදුවීම් කිහිපයක් ද සජිත් ප්‍රේමදාසට අහිතකර ලෙස බලපෑවේය.

හදිසියේ ම අත්සන් කිරීමට සූදානම් වූ ඇමරිකානු ගිවිසුම (MCC) අවසන් මොහොතේ ප්‍රතිවාදියා ගේ වේදිකාවේ පතුරු ගැසිය හැකි මාතෘකාවක් බවට පත් විය.

ජනතාව ගෑස් හිඟයකට මුහුණ දුන්නේ ද මෙසමය තුළදීම ය. එය ද ප්‍රතිවාදියාට තුරුම්පු සැපයීමක් විය.

කලකට ඉහත වීදි පුරා දක්නට ලැබුණු පෙට්‍රල් සහ ඩීසල් පෝලිම් ගැන ජනතාවට යළි සිහිපත් විය.

Image copyright Getty Images

ගෑස් සිලින්ඩර් අතැතිව පෝලිම්වල සිටින ජනයා කැමරාවට හසු විය. ඔවුහු මයික්‍රෆෝනය සහ කැමරාව ඉදිරියේ හඬ අවදි කළහ.

සජිත් ජනාධිපති වුවහොත් අගමැතිවරයා වන්නේ කවුරුන් ද යන පැනය දසතින් නැගෙන්නට විය. ඊට හේතුව රනිල් වික්‍රමසිංහ කෙරෙහි ජන අප්‍රසාදයක් මතු වී තිබීමය.

සජිත් ඊට උපක්‍රමශීලී උත්තරයක් ජන ගත කළේය. ආරක්ෂක ඇමතිකම හැරෙන්නට කිසිම තනතුරක් පිළිබඳව තමන් තීරණයකට පැමිණ නැති බව ඔහු වේදිකාව මත සපථ කළේය.

නමුත් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබිය දී රනිල් ගේ කටින් පිටවූයේ වෙනත් දෙයකි.

"රණවිරු ගාය"

මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඉදිරියටත් තමා එම ධුරය හොබවන බවය.

ප්‍රතිවාදීන්ට තවත් අවියක් ලැබුණි. ඔවුහු එය තැන නොතැන නොබලා පත්තු කළහ.

මේ අතර රාජපක්ෂ කඳවුර බහුතර සිංහල බෞද්ධ ජනතාව ඉලක්ක කර ගනිමින් සිය ප්‍රචාරක කටයුතු දියත් කරමින් සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳව කුකුසක් ඇතිකරගෙන සිටි බහුතරයට මෙය ආකර්ෂණීය විය.

එවන් වාතාවරණයක දී මතු වූ "රණවිරු ගාය" ද ප්‍රතිවාදීහු හොඳින් පාවිච්චි කළහ.

Image copyright Getty Images

නමුත් සජිත් කඳවුර බහුතර සිංහල ජනයා දිනා ගැනීම සඳහා වෙහෙසෙන අතරම උතුරු නැගෙනහිර ජනතාව කෙරෙහි වැඩි බරක් තබන හැඩක් දකින්නට ලැබුණි.

ඒ සඳහා මුල් වූ ඇතැම් මුස්ලිම් හා දෙමළ නායකයන් කෙරෙහි දකුණේ ඇතැමුන් බැලුවේ සැකයෙනි. ඒ පාස්කු ප්‍රහාරය නිසාවෙනි.

මේ අතර දෙමළ පක්ෂවලින් ඉදිරිපත් වූ කොන්දේසි 13 ද දැඩි විවේචනයට ලක් විය.

සහන මල්ල

ඉතිහාසයේ පැවති සාමකාමී ම මැතිවරණය වෙනුවෙන් වැඩිම ජන රැළි ප්‍රමාණයක් ඇමතූ සජිත්, තමන් වසර 20ක් නියෝජනය කළ හම්බන්තොටින් ද ප්‍රතික්ෂේප විය.

එය රනිල්, මෛත්‍රී ඇතුළු මුළු යහපාලනය ම ප්‍රතික්ෂේප කිරීමක් ලෙස ඇතැම් විශ්ලේෂකයෝ අර්ථ දක්වති.

බැඳුම්කරය, සහරාන්ගේ ප්‍රහාරය, ආර්ථිකය, බදු බර, සිංහල බෞද්ධ ජන පදනම නොරිස්සූ ප්‍රකාශ වැනි ප්‍රධාන චෝදනා ඉදිරියේ සජිත් නිහඬව සිටීම ද ඇතැමුන්ට ප්‍රශ්නයක් විය.

ඒ අතර මෙවර ප්‍රතිඵලවලින් මොනවට පැහැදිලි වෙන්නේ සහන මල්ලක් රැගෙන ආ පමණින් ම ජනාධිපතිවරණයක් ජය ගත නොහැකි බව ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර