කේලම් කීමේ අලුත් ම ක්‍රමය - 'ස්ක්‍රීන්ෂොට්'

Image copyright Getty Images
Image caption 'ස්ක්‍රීන්ෂොට්' 21 වන සියවසේ ඕපාදූප බෙදා ගැනීමේ ක්‍රමය බව සමහරු පවසති

කෙටි පණිවිඩ ඔස්සේ කෙරුණු පෞද්ගලික කතාබහක 'ස්ක්‍රීන්ෂොට්' (screenshot) එකක් ඔබට කෙදිනක හෝ තම මිතුරෙකුගෙන් ලැබී තිබෙනවා ද?

නවීන තාක්ෂණය ඇසුරු කරන ඕනෑම පුද්ගලයෙකු සිය ජංගම දුරකතනය හෝ පරිගණකයේ ඇති 'ස්ක්‍රීන්ෂොට්' තාක්ෂණය පිළිබඳ දැනුවත්ය. නමුත් මෙතරම් සරල තාක්ෂණයක් නිසා මිනිස් සම්බන්ධතා කැඩී බිඳී ගිය අවස්ථා ගණන කිසිදු වාර්තාවක සටහන් වී නොමැත.

කෙසේ නමුත්, බොහෝ දෙනෙකු එම 'අප්‍රසන්න' අත්දැකීමට මුහුණ දී තිබෙන බව බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී දැනගැනීමට ලැබිණ.

මොනවා ද මේ 'ස්ක්‍රීන්ෂොට්'?

තම ස්මාර්ට් ජංගම දුරකතනයේ හෝ පරිගණක තිරයේ දිස්වන යම් දෙයක ඡායාරූපයක් ලබා ගැනීම ස්ක්‍රීන්ෂොට් ලෙස හැඳින්වේ.

මෙය ස්ක්‍රීන්කැප් (screencap) හෝ ස්ක්‍රීන්ග්‍රැබ් (screengrab) ලෙස ද හඳුන්වනු ලබයි. මෙසේ ලබා ගන්නා ඡායාරූපය පසුව නැරඹීමට හෝ තවත් අයෙකු වෙත යැවීම සඳහා සිය දුරකතනය තුළ සුරැකිව තබා ගැනීමට බොහෝ දෙනෙක් ක්‍රියා කරති. එය නිවැරදි මෙන්ම වැරදි චේතනාවක් පෙරදැරිව සිදු කරන ක්‍රියාවක් විය හැකිය.

Image copyright Getty Images

"ස්ක්‍රීන්ෂොට් තාක්ෂණය අපිට සෑහෙන වටින දෙයක්. එය අපි දකින දෙයක් අනික් අය සමඟ පහසුවෙන් බෙදා ගන්න පුළුවන් විදිහේ තාක්ෂණයක්. මෙයින් අපිට යමක් ඔප්පු කර පෙන්වීමට හැකි වෙනවා වගේම යම් දෙයක් දෙස පසුව බැලීමේ හැකියාව ලැබෙනවා," යැයි පරිගණක ඉංජිනේරුවරියක් වන නතාෂා සෙනෙවිරත්න පැවසුවාය.

"ඕනෑම දෙයක් අන්තර්ජාලයෙන් මකා දමන්න පෙර හෝ වෙනස් වෙන්න පෙර එහි ස්ක්‍රීන්ෂොට් එකක් ලබාගෙන සුරක්ෂිතව තබා ගත හැකි වීම වටිනවා. නමුත් අවාසනාවට මේ තාක්ෂණය අද භාවිත කරන්නේ වැරදි දේවලට," ඇය තවදුරටත් පැවසීය.

ස්ක්‍රීන්ෂොට් වැරදි ලෙස යොදා ගැනීම

21 වෙනි සියවසේ ඕපාදූප බෙදා ගැනීමේ ක්‍රමය 'ස්ක්‍රීන්ෂොට්' ලෙස සමහරු හඳුන්වන අතර, මෙමගින් පුද්ගලයන් අතර ඇති විශ්වාසය බිඳ වැටුණු අවස්ථා ද බොහොමයක් ඇති බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූවෝ පැවසූහ.

"මම අවුරුදු පහළොවක් තිස්සේ ළඟින් ආශ්‍රය කරපු යෙහෙළියක් එක්ක මගේ සැමියාගේ අකමැති හැසිරීමක් ගැන මැසෙන්ජර් හරහා චැට් කළා. එයා ඒ හැමදේම ස්ක්‍රීන්ෂොට් ගහලා මගේ මහත්තයාටම යවලා තිබුණා. අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත අපේ විවාහය දික්කසාදයකින් කෙළවර වෙන්න මූලික හේතුව ඕක," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසීය.

පෞද්ගලිකත්වයට ගරු කරමින්, විශ්වාසය පලුදු නොවන ආකාරයට තාක්ෂණය හැසිරවීමට බොහෝ දෙනෙකු නොදන්නා බව පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු දිනිති පෙරේරා පැවසුවාය.

Image copyright Getty Images

"මගේ හොඳම යහළුවා යැයි හිතාගෙන සිටි කෙනා විශ්වාස කරළා යවපු කෙටි පණිවිඩයක් එයා මටත් නොදන්වා ෆේස්බුක් එකේ පළ කරළා තිබුණා. ඒ මගේ ජීවිතයේ අප්‍රසන්නම අවස්ථාව. මේ දේවල් නිසා අදටත් මම කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මට යහළුවනුත් නැහැ," දිනිති තවදුරටත් පැවසීය.

තමන්ට ලැබෙන කෙටි පණිවිඩ සියල්ලේම පාහේ ස්ක්‍රීන්ෂොට් ලබා ගෙන සුරැකිව තබා ගන්නා කාන්තාවක් ගැන ද අසන්නට ලැබිණි.

"පොඩි කාලයේ ඉඳන් මගේ හොඳම මිතුරිය විදියට සිටි කෙනා මම ගැන දැඩි ඊර්ෂ්‍යාවකින් සිටි බව තේරුම් ගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේ ඇති වෙච්ච ගැටුමත් එක්ක, මම අවුරුදු ගණනක් තිස්සේ එයාට යවපු හැම කෙටි පණිවිඩයකම ස්ක්‍රීන්ෂොට් එයා අනික් යහළුවන්ට බෙදා හැරලා තිබුණා. අනික් යහළුවන්ව විවේචනය කරළා විශ්වාසය උඩ මම එයාට යවපු හැමදේම එයා හෙළි කළා," ව්‍යාපාරයක් පවත්වාගෙන යන රෙහානි කුරේ පැවසුවාය.

"එයා කවදා හරි මාව නැති කර දමන්න අවුරුදු ගණනක් සැලසුම් කර තිබුණා. මම යවපු හැමදේම ස්ක්‍රීන්ෂොට් ගෙන තිබුණා. මගේ පෞද්ගලිකත්වය, විශ්වාසය වගේම යාළුකම් සියල්ල මේ දේ නිසා නැති වුණා. මට වුණ අපහාසය නිසා අදටත් මම දැඩි මානසික කම්පනයක ඉන්නේ," ඇය පැවසීය.

Image copyright Getty Images

මේ තොරතුරුද කියවන්න:

නීතියෙන් පිහිටක් ලැබෙන්නේ ද?

ශ්‍රී ලංකාව තුළ මේ සඳහා විශේෂ නීතියක් නොමැත. නමුත්, මෙම ක්‍රියාව අනිසි බලපෑමක් හෝ හිංසාවක් දක්වා වර්ධනය වුවහොත් විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණිලි කළ හැකිය.

එමෙන්ම, අවසරයකින් තොරව යම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක්, ලියවිල්ලක් අන් අය අතර බෙදා හරින්නේ නම් එම ක්‍රියාවට එරෙහිව බුද්ධිමය දේපළ නීතිය යටතේ නඩු පැවරිය හැකිය.

එක්සත් රාජධානියේ හිටපු සංස්කෘතික අමාත්‍යවරයෙකු වන එඩ් වෙයිසී වරක් මාධ්‍ය හමුවක දී පැවසුවේ, "කෙටි පණිවිඩවල ස්ක්‍රීන්ෂොට් ලබාගෙන අන් අය අතරේ බෙදා හැරීම නීති විරෝධී ක්‍රියාවක්" බවය.

"එංගලන්ත නීතියට අනුව යම් කෙනෙකුට යැවූ පෞද්ගලික කෙටි පණිවිඩ, ඡායාරූප ස්ක්‍රීන්ෂොට් ලබාගෙන එය එවූ කෙනාගේ අවසරයකින් තොරව බෙදා හැරියොත් සිර දඬුවම් නියම කළ හැකි වරදක් බවට පත් වෙනවා."

"එම කෙටි පණිවිඩ ලියූ පුද්ගලයාට බුද්ධිමය දේපළ නීතිය යටතේ නඩු පැවරිය හැකියි," අමාත්‍යවරයා පැවසීය.

Image copyright Getty Images

කෙසේනමුත් විශ්වාසය පලුදු වීම ඇතුළු තාක්ෂණය ඔස්සේ මානව සබඳතා බිඳ දැමීම වැනි කාරණා සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ රටක නීතිය නොව තමන් විසින්ම ගොඩනගා ගත් ආචාරධර්ම පද්ධතියක් තිබීමය.

"පෞද්ගලිකත්වය කියන දේ ගැන කිසි හැඟීමක් නැතිව, අන් අය අපහසුතාවට පත් කරන්න සාක්ෂි එක්ක කේලම් කියන විදිහක් තමයි මේ ස්ක්‍රීන්ෂොට් හුවමාරු කර ගැනීම," යැයි නීතිවේදිනියක වන සන්ධ්‍යා පී රාජකරුණා පැවසුවාය.

"රටක නීතියට මිනිසුන් පාලනය කළ හැකි යම් සීමාවක් තිබෙනවා. සෑම කෙනෙකුගේම පෞද්ගලික හැසිරීම පාලනය කරන්න නීතියට බැහැ. ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ඉහළ ස්ථානයක තිබෙන රටක්. එහෙම රටක මිනිස්සු අනිකාගේ පෞද්ගලිකත්වයට ගෞරව කරන්න දැනගන්න ඕනේ," ඇය පැවසුවාය.

ස්ක්‍රීන්ෂොට් බෙදා හැරීම අවහිර කළ හැකි ද?

මෙම වසරේ අප්‍රේල් මස WhatsApp සමාගම සිය මෘදුකාංගය (App) යාවත්කාලීන කරන අවස්ථාවේ දී 'android' ජංගම දුරකතන භාවිත කරන පුද්ගලයන්ට පෞද්ගලික කෙටි පණිවිඩ හුවමාරුවක ස්ක්‍රීන්ෂොට් ලබා ගැනීම අවහිර කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. නමුත් මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.

මෙමගින්, අන් අය තමන්ගේ කෙටි පණිවිඩ මෙන්ම තමන්ට ද අන් අයගේ පණිවිඩවල ස්ක්‍රීන්ෂොට් ලබා ගැනීම අවහිර වනු ඇති බව WhatsApp සමාගම පවසයි.

Image copyright Reuters

නමුත් මේ සඳහා ජංගම දුරකතනයේ 'Settings' හි යම් වෙනස්කම් කිහිපයක් සිදු කළ යුතුය.

'වචන ගැන සිතන්න'

"යම් පුද්ගලයෙකුට පෞද්ගලික කෙටි පණිවිඩයක් යවන කොට, එහි ලියා තිබෙන දේ ගැන සෑහෙන හිතන්න වෙනවා. කවදාහරි දවසක ඒ කෙනා මට විරුද්ධව එය පාවිච්චි කළොත් ලොකු ප්‍රශ්නයකින් කෙළවර වෙන්න පුළුවන්," සමාජ ක්‍රියාකාරිනියක වන බුද්ධිනී වන්නිනායක පැවසුවාය.

"දවසක් මගේ යහළුවෙකුට මම යවපු අතිශය පෞද්ගලික කෙටි පණිවිඩයක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අත්වැරැද්දකින් නැවත මටම ඒවා තිබුණා. එයා ඒක කේලමක් විදිහට වෙන කෙනෙකුට යවන්න උත්සහ කරළා තිබෙන්නේ."

"අපේ යහළුකම එතනින් ඉවර වුණා. හිතල බලන්න මේ තාක්ෂණය මානව සම්බන්ධතාවලට කොයි තරම් හානියක් කරනවා ද කියලා. ඒ වගේම මිනිස්සු අනෙකාගේ පෞද්ගලිකත්වයට ගෞරව කිරීම සහ විනයක් නැති වීම මේ සියලු දේට හේතු වෙලා තිබෙනවා," ඇය තවදුරටත් පැවසීය.

තවත් තොරතුරු: