බිහිරි දරුවන් දූෂණය කළ ආර්ජන්ටිනා පූජකයන්ට සිර දඬුවම්!

Image copyright Reuters
Image caption නඩු තීන්දුවෙන් පසු හඬා වැළපෙන වින්දිතයන්ගේ මව්වරුන්

බිහිරි දරුවන් අපහරණය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලද කතෝලික පූජකවරුන් දෙදෙනෙකු එම චෝදනාවලට වරදකරුවන් යයි තීන්දු කළ ආජන්ටිනා අධිකරණයක්, ඔවුන් දෙදෙනා වසර හතළිහකට අධික සිරදඬුවමකට යටත් කරනු ලැබ ඇත.

ඔරසියෝ කෝර්බාචෝ (Horacio Corbacho) සහ නිකොලා කොරාඩි (Nicola Corradi) නම් පූජකවරුන් දෙදෙනා සහ උයන්පල්ලෙකු විසින් 2004 සහ 2016 අතර කාලපරිච්ඡේදය තුළ 'මෙන්ඩොෂා' (Mendoza) පළාතේ ආගමික පාසලකදී එම දරුවන් දූෂණයට සහ ලිංගික අපහරණයට ලක්කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල කෙරුණ අතර, ඔවුන් ඊට වරදකරුවන් වන බව අධිකරණයේ තීන්දුව විය.

ආර්ජන්ටිනා අධිකරණය සඳුදා (නොවැම්බර් 25) අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද අවස්ථාවේ එම පූජකවරුන්ගේ ගොදුරු බවට පත් කීපදෙනෙක් ද උසාවි භූමියට පැමිණ සිටියහ.

ආර්ජන්ටිනාව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජන්මභූමිය වන අතර, ඉහත කී නඩුව එරට පුරාම බලවත් කම්පාවක් ජනිත කිරීමට හේතුවිය.

එම අපචාර චෝදනා සම්බන්ධයෙන් ආර්ජන්ටිනා කතෝලික පල්ලිය උනන්දුවකින් කටයුතු නොකළ බවට චෝදනා එල්ල කෙරුණි.

පසුගිය දශක කීපය පුරා ලොවපුරා පූජකවරුන් විසින් සිදුකරන ලද ළමා ලිංගික අපචාර රැල්ලක් සම්බන්ධයෙන් කතෝලික සභාව දැඩි විවේචනවලට මුහුණ දී ඇත.

උසාවි තීන්දුව

ඉහත කී නඩුව විභාග කළ අධිකරණය පසුගිය සඳුදා (නොවැම්බර් 25) 'මෙන්ඩොෂා' (Mendoza) ප්‍රාන්ත අගනුවරදී සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, ඔරසියෝ කෝර්බාචෝ (Horacio Corbacho) දේවගැතිවරයාට අවුරුදු හතළිස් පහක (45) සිර දඬුවමක් නියම කළේය.

'Luján de Cuyo' නම් නගරයේ පිහිටි අන්තෝනියෝ ප්‍රොවොලෝ ඩි මෙන්ඩොෂා (Instituto Antonio Provolo de Mendoza) නම් විද්‍යායතනයේ දී ළමුන් ලිංගික වශයෙන් අපහරණය කර ඇති බවට එල්ල වූ චෝදනාවලට පනස් නව(59) හැවිරිදි දේවගැතිවරයා වරදකරු බව අධිකරණයේ නිගමනය විය.

ඔහුට අමතරව, අසූතුන් (83) හැවිරිදි ඉතාලි ජාතිකයකු වූ නිකොලා කොරාඩි (Nicola Corradi) පූජකවරයාත් වසර හතළිස් දෙකක (42) සිර දඬුවමකට යටත් කෙරුණි.

Image copyright EPA
Image caption චූදිතයන් අධිකරණයේ. රෝද පුටුවෙන් ගමන් ගන්නේ 83 හැවිරිදි චූදිත නිකොලා කොරාඩි

ඉතාලියේ වෙරෝනා (Verona) නගරයේ ආගමික පාසලකදී 1970 දශකයේ අවුරුදුවල සිදුකර ඇති අපචාර සම්බන්ධයෙන් ද නිකොලා කොරාඩි (Nicola Corradi) පූජකවරයා පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇති නමුත් ඊට අදාළව ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර නැත.

ඉහත කී පූජකවරුන් දෙදෙනාට අමතරව 'Luján de Cuyo school' පාසලේ උද්‍යාන පාලකයා වූ ආර්මන්ඩෝ ගෝමස් (Armando Gómez) නමැත්තා අදාළ චෝදනා සම්බන්ධයෙන් අවුරුදු දහඅටක (18) සිර දඬුවමකට යටත් කොට ඇත.

මේ නඩු තීන්දුවේ විශේෂත්වයක් වන්නේ ඊට එරෙහිව අභියාචනා කළ නොහැකිවීමය.

විත්තිකරුවන්ගේ ප්‍රතිචාරය

අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව චූදිතයන් තිදෙනාගෙන් කිසිවෙක් කිසිදු ප්‍රකාශයක් කොට නැත.

එහෙත් එම මොහොතේ අධිකරණ භූමියේ සිටි වින්දිතයන්ගේ මව්වරුන් කඳුළු සලමින් එකිනෙකා වැළඳ ගනු ලබන ආකාරය දක්නට ලැබුණි.

අධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද මොහොතේ අධිකරණ ශාලාවෙන් බැහැර සිටි තරුණ කණ්ඩායමක් තීන්දුව ගැන සතුට පළ කරමින් ඔල්වරසන් නඟන ලද බවක් ද වාර්තා වෙයි.

Image caption චිලී රටේ කතෝලික පල්ලියේ වෙනසක් සඳහා උද්ඝෝෂණය කරන කැරලිකරුවන් පිරිසක්

"මේ නඩු තීන්දුව අපට, අපට වගේම ලෝකයට කොයිතරම් වැදගත් එකක්ද කියල හිතාගන්නවත් බැරි තරම්," එක් වින්දිතයකුගේ පියා ප්‍රකාශ කරන ලදැයි ඔහු උපුටා දක්වන 'වොෂිංටන් පෝස්ට්' (Washington Post) වාර්තා කරයි.

"මේ චෝදනා යට ගහන්න පල්ලිය උත්සාහ කළා. පූජකවරු අපේ දරුවන් දූෂණය කරලා තියෙනව. අපහරණයට ලක් කරලා තියෙනවා. ආබාධ සහිත (බිහිරි) අපේ දරුවෝ!"

පූජකයන් විසින් තමන් ගොදුරු කර ගන්නා ලද ආකාරය පිළිබඳව වෙනත් අයට හෙළිදරව් කරනු ලැබීම වළක්වා ලීම සඳහා බිහිරි දරුවන්ට ඔවුන්ගේ සංකේතාත්මක අදහස් පළ කරනු ලැබීම (sign language) පවා තහනම් කර තිබිණැයි එම වින්දිතයෝ පවසති.

එහෙත් වින්දිතයන් දූෂණය කරනු ලැබ ඇති ආකාරය නඩුව විභාග කළ අධිකරණය ඉදිරියේ විස්තර කෙරිණි.

කතෝලික පල්ලිය විසින් නොව, පොලිසිය සහ අධිකරණ රටාව විසින් එවැනි අපචාර සිදු කරනු ලබන පාසල් වසා දමමින් ළමා දූෂකයන්ට ඔවුන් විසින් ගොදුරු කර ගනු ලබන වින්දිතයන් කරා කිට්ටුවීමට ඇති ඉඩකඩ අහුරා නොදමන්නේ කුමක් නිසාදැයි බොහෝ ආර්ජන්ටිනා ජාතිකයෝ ප්‍රශ්න කරති.

කියවන්න: