19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුද ?

Image copyright PARLIAMENT

ශ්‍රී ලංකා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 215 දෙනෙකුගේ සහය සහිතව සම්මත වූ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන යළිත් වරක් කතාබහක් ඇතිව තිබේ.

ඒ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන්ට 2/3ක බලයක් ලැබුනහොත් අසාර්ථක 19 වන සංශෝධනය අහෝසිකරන බවට ඉන්දියාවේ හින්දු පුවත්පතට පසුගියදා කළ ප්‍රකාශය හේතුවෙනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 වසරේ අප්‍රේල් 28 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල සහය හිමිවිණ.

ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, අමාත්‍යවරුන් ප්‍රමාණය සීමාකිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට එම අවස්ථාවේ බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිවිය. 

19 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය ද වෙනස් කෙරිණ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර, පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය. ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.

කෙසේ නමුත් 19 වන සංශෝධනය සම්මත කරගැනීමට මූලිකත්වය ගත්, එය තමන් ලද ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම සිය පාලන කාලයේ අවසන් අදියරේදී 19 වන සංශෝධනයට විරුද්ධව අදහස් පළකිරීම ආරම්භ කළේය. 

Image copyright Getty Images
Image caption 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ද සහය දුන්නේය

"පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වුණේ ප‍්‍රධානම හේතුව තමයි 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වන සංශෝධනයෙන්," යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශ කළේය. 

කෙසේ නමුත් එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එම ප්‍රකාශය ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසුවේ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින පරස්පරතාවලට හේතුව කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බවය.

"මේක මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න කියනවා වගේ කතාවක්. මෙතන තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවේ, දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. 19 වන සංශෝධනයෙන් ඔය කියන තරම් බලය අවම වීමක් සිදුවුණේ නැහැ. තමන්ගේ බලය පාවිච්චි නොකිරීමයි මෙතන තියෙන ගැටලුව. සමහර ජනාධිපතිවරු තමන්ගේ බලය ඉක්මවා භාවිත කළා. තවත් අය බලතල තියාගෙන ඒවා නෑ වගේ හිටියා," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර සඳහන් කළාය.

නව ආණ්ඩුව පත්වීමත් සමග 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකළ යුතු බවට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෘජුව සිය අදහස පළකර තිබුණේ එලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පසුගිය ආණ්ඩුව සමයේදීම විවිධ අදහස් පළවීමෙන් අනතුරුවය.

Image caption "තුනෙන් දෙකක බලයක් අපට ලබන ඡන්දෙන් පසුව ලැබෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕනෙ දේ තමයි අපේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. ඒක ඔක්කොටම වඩා ලොකු අවශ්‍යතාවයක්" - රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

නව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන මේ වන විට පාර්ශව ගණනාවක් අදහස් පළකර තිබේ. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක නායකයෙකු වන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිවිරුද්ධ අදහසකි.

ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ සිට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය බව ද ඔහු සඳහන් කර තිබුණි.

"අපේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය වීම. එයට ගන්නා වූ එක පියවරක් වශයෙන් තමයි ඔය 19 වෙනි සංශෝධනය ගැණුනෙ. ඒනිසා අපහසුතාවයක් හා නොයෙකුත් බාධක මතුවෙන්න පුළුවන්. නමුත් මූලික ප්‍රතිපත්තිමය අරමුණ ජනාධිපති ආණ්ඩුක්‍රමයක ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම. විධායක බලයත් පාර්ලිමේන්තුව අතටම ගැනීම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ අදහස් මොනවද කියලා මම දන්නෙ නෑ. ඒ පිළිබඳව සමහරවිට එතුමාගෙ අදහසත් අපෙ අදහසත් අපට එකට එකතු කරන්න පුළුවන් කමකුත් එන්න පුළුවන්. ඒවා අපි කතා කළ යුතු දේවල්," වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. 

"තුනෙන් දෙකක බලයක් අපට ලබන ඡන්දෙන් පසුව ලැබෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕනෙ දේ තමයි අපේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. ඒක ඔක්කොටම වඩා ලොකු අවශ්‍යතාවයක්. මේ ඡන්ද ක්‍රමය තුළ මහජනයාගෙ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් වෙලා."

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන ඒමට මූලිකත්වය ගත් එක්සත් ජාතික පක්ෂයද සඳුදා (දෙසැම්බර් 02) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නව ජනාධිපතිවරයාගේ ස්ථාවරයට ප්‍රතිචාර දැක්වීය. 

"රජය පැත්තෙන් මතයක් ඇවිල්ල තිබෙනවා 19 වන  සංශෝධනය නිසා රට පාලනය කරන්න අමාරුයි. ඒ නිසා මේක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අයට අපි කියන්න කැමතියි මේක එක්සත් ජාතික පක්ෂය තනියම ගෙනාපු එකක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ සියළු දෙනා සහය දුන්න එකක්. මේක ගෙනාවේ මේ රටේ තියෙන උසස් ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි කියන මතය නිසා. ඒ ආයතනවලට නිදහසේ ක්‍රියාකරන්න ලැබුණු නිසා අපි දැක්කා අපේ ආණ්ඩුව සමයේ අධිකරණය ස්වාධීනව කටයුතු කළ ආකාරය. මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කළ ආකාරය," එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේය. 

19 වන සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුව සමග සාකච්චා කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව පැවසූ  ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සමස්තයක් ලෙස ගත්කළ 19 වැනි සංශෝධනය සාධනීය එකක් බව සඳහන් කළේය. 

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර