ග්‍රැෆිටි සහ වීදි සිතුවම්: කලාවක් ද? අවුලක් ද?

මහජනයාට නිතර ඇස ගැටෙන පොදු බිත්ති සහ තාප්ප මත සිතුවම් ඇඳීම ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල රැල්ලක් වෙමින් පවතී.

කලාත්මක ප්‍රකාශනයක් ලෙස පොදු ස්ථාන හෝ පෞද්ගලික ගොඩනැගිලි සහ දුම්රිය පෙට්ටි මත අවසරයකින් තොරව තබන සටහන් හෝ සිතුවම් ග්‍රැෆිටි ලෙස හැඳින්වේ. ඒ සඳහා මහජනයා නිතර යනෙන ස්ථාන තෝරා ගනු ලබන්නේ සිය පණිවුඩය වැඩි පිරිසක් අතර ජනගත කිරීමේ අරමුණෙනි. බොහෝ විට ග්‍රැෆිටි නිර්මාණ අවසරයකින් තොරව සිදු කරනු ලබන අතර ඇතැම් කලාකරුවන් සිය අනන්‍යතාව රහසක්ව තබා ගැනීමට ද වගබලා ගනිති.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද ග්‍රැෆිටි කලාව ප්‍රචලිත වෙමින් පවතී. ඩොමිනික් චන්ද්‍රසාලි ග්‍රැෆිටි නිර්මාණකරණයේ යෙදෙන තරුණ කලාකරුවෙකි. ඔහු ග්‍රැෆිටි නිර්මාණයේ යෙදී සිටින්නේ වසර හයක පමණ කාලයක සිටය.

"ග්‍රැෆිටි කියන එක සමාජ ගත වෙන්නෙම විරෝධ ආකල්පයක් විදිහට. මෙය සමාජ ගත වී තිබුණේ ගරිල්ලා සිතුවම් කලාව කියලයි. අවසරයකින් තොරව ඉතාමත් සීමිත කාලයක් තුළ ඇඳ අතුරුදන් වීමක් තමයි එහිදී සිදුවෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

ග්‍රැෆිටි බොහෝ නගර තුළ පොදු දේපල විනාශ කිරීම යටතට ගැනෙන අපරාධයක් ලෙස සැලකේ.

ලන්ඩන් නගර සීමාවට අයත් කෙන්සින්ටන් සහ චෙල්සි නගර සභාව පවසන පරිදි :

ග්‍රැෆිටි නිසා දේපලවලට සිදුව ඇති හානිය ස්ටර්ලින් පවුම් 5,000 ඉක්මවයි නම් අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලකු උපරිම දස වසරක සිර දඬුවමකට යටත් කළ හැක. වයස අවුරුදු 12 - 17 ත් අතර නම් දිය හැකි උපරිම දඬුවම මාස 24 දක්වා වන පරිවාස සහ පුහුණු කාලයකි. හානිය ස්ටර්ලින් පවුම් 5,000 ට අඩු නම් වැඩිහිටි අපරාධකරුවෙකුට මාස තුනක සිර දඬුවමක් හෝ ස්ටර්ලින් පවුම් 2,500 ක දඩයක් නියම කළ හැක.

Image copyright DOMINIK.LK
Image caption ඩොමිනික් ග්‍රැෆිටි නිර්මාණයේ යෙදෙමින්

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සහ මාර්ග සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතන ග්‍රැෆිටි නිර්මාණය සඳහා අවසර නොදුන් බව ඩොමිනික් චන්ද්‍රසාලි පවසයි.

"අපි සමහර ප්‍රාදේශීය සභාවලට සහ නගර සභාවලට ගිහින් අහලා තියනවා. නමුත් දෙන්නේ නැහැ. නමුත් දැන් පාට දෙනවා, පින්සල් දෙනවා, උදව් කරනවා කියනවා. දැන් මේ ප්‍රබෝධයත් එක්ක නීතිමය පසුබිම යම් දුරකට ලිහිල් වෙලා කියලා මම සිතනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

"අපි යම් දෙයක් අඳින්න අවසර ලැබෙනවා නම් ඒක නගර සභා හෝ එවැනි ආයතනවල නිලධාරීන්ට කලින් පෙන්විය යුතුයි. ඔවුන්ගේ ව්‍යාපෘතියකට බද්ධ වෙනවා නම් පමණයි එය කිරීමට අවසර ලැබෙන්නේ. යම් කිසි සීමාවක් තුළයි ඒ නිර්මාණය කරන්න වෙන්නේ."

මේ දිනවල අඳින ලද ඇතැම් සිතුවම්වල ගුණාත්මකභාවය සමාජ ජාල ඔස්සේ ප්‍රශ්න කර තිබුණු අවස්ථා ද දුලභ නොවේ. නිර්මාණකරණයේ නව මාන සොයා යාමේ උත්සහයක් වශයෙන් එකී රැල්ල යහපත් ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි වුවත් එහි අතුරු ප්‍රතිඵලත් දැකිය හැකි බව ඩොමිනික් චන්ද්‍රසාලිගේ අදහසය.

"ගුණාත්මක භාවයේ අඩුපාඩු තිබෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්නේ නැතිව ස්ටෑන්ඩර්ඩ් ආර්ට් එකකට යන්නත් බැහැ. ඔය අඳින හැම එකක්ම ග්‍රැෆිටි නොවෙන්න පුළුවන්. රජ කතාවල තියෙන දේවල්, රාවණා රජ්ජුරුවොයි, පන්සලයි, ගමයි වගේ දේවල්නේ දැන් අඳින්නේ. හැබැයි ග්‍රැෆිටි කියන්නේ ඊට වඩා දේශපාලන අර්ථයක් තිබෙන දෙයක්. උදාහරණයක් විදිහට ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලු වෙන්න පුළුවන්. ලෝක මට්ටමේ තිබෙන ගැටලු තමයි ඒ තුළ කතා කෙරෙන්නේ," ඔහු පැවසීය.

"මේ දවස්වල ගොඩක් අය මටත් කතා කරනවා. හැබැයි ඒ හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ සීගිරිය නැතිනම් රාවණා, සිංහයා කඩුව අරන් එන වගේ දේශාභිමානය පසුබිම් කර ගත් දේවල් අඳින්නයි. එතකොට වැඩේ වෙන පැත්තකට යනවා."

ෂෝන් මිෂෙල් බස්කියා යනු කළු ජාතික ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකි. මෑන්හැටන්හි ග්‍රැෆිටි ශිල්පියෙකු ලෙස නිර්මාණකරණයට පා තැබූ ඔහු වසර කීපයක් ඇතුළත කලා ලොවේ තමන්ටම අනන්‍ය වූ ලකුණක් තැබීමට සමත් විය. බස්කියාගේ කලා කෘති තුළින් වැඩි වශයෙන්ම මතු වන්නේ කළු ජාතිකයන්ට මුහුණ පෑමට සිදුවන සාමාජීය ගැටලුය. වර්ණ භේදය සහ ජාතිවාදය ඔහුගේ කලා නිර්මාණ බොහොමයකට පසුබිම වී තිබේ.

අද වන විට මිෂෙල් බස්කියා සලකනු ලබන්නේ මෑත යුගයේ බිහි වූ විශිෂ්ඨ කලාකරුවෙකු ලෙසය. 2017 වසරේ මැයි මස පැවති වෙන්දේසියක දී ඔහුගේ එක් කලා කෘතියක් අලෙවි වී තිබුණේ ඇමරිකානු ඩොලර් 100,000,000 තරම් ඉහළ මිලකටය. 1980 පසු නිර්මාණය කරන ලද කලා කෘති අතරින් මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ කලා කෘතිය ලෙස එය ඉතිහාසයට එක් වේ.

Image copyright Getty Images
Image caption ෂෝන් මිෂෙල් බස්කියාගේ 'Five Fish Species' නමැති සිතුවම

හමුදාවේ හිටපු ප්‍රධානීන්, හමුදා සෙබළුන් සහ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අසළ උද්ඝෝෂණයක යෙදුනු දෙමළ ජාතිකයන් වෙත "ගෙල සිඳින ආකාරයේ" අභිනයක් පෑවේ යයි චෝදනාවට ලක් වූ බ්‍රිගේඩියර්වරයාගේ රුවට සමාන සිතුවම් ශ්‍රී ලංකාව පුරා අලුතින් ඇඳෙන වීදි සිතුවම් අතර වේ.

එවැනි සිතුවම් මගින් සමාජයට දෙනු ලබන පණිවුඩය කුමක් දැයි ඩොමිනික් චන්ද්‍රසාලි ප්‍රශ්න කරයි.

"කොහොමත් එතන ග්‍රැෆිටි එකක් නැහැ. හැබැයි එතනට යනවා කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීතය හෝ වෙනත් විෂයන්වලට ඇති වී තිබෙන අවුල චිත්‍ර කලාව තුළටත් ඇවිත් කියන දේ පැහැදිලිව පේන්න තිබෙනවා කියලයි මම හිතන්නේ," යනුවෙන් ඔහු සඳහන් කරයි.

"ග්‍රැෆිටි කියන්නේ ප්‍රශ්න කිරීමක්. රාජ්‍ය හෝ පවතින ක්‍රමවේදය. නැතුව බෙල්ල කපන විදිහේ ප්‍රකාශනයක් කළ බව කියන සෝල්ජර් කෙනෙක් පාරට ගෙනත් ආර්ට් ඇතුළේ මොකක්ද කියන්න හදන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. අපි ඒක ප්‍රශ්න කරන්නනේ ඕනි. හරිනම් ඒ ප්‍රකාශනය ප්‍රශ්න කළ යුතුයි."

"යුද්ධය කියන දේ උත්කර්ෂයට නැගිය යුතු නැහැ," යනුවෙන් චන්ද්‍රසාලි වැඩිදුරටත් සඳහන් කරයි.

Image copyright DOMINIK.LK
Image caption ඩොමිනික් චන්ද්‍රසාලිගේ ග්‍රැෆිටි නිර්මාණයක්
Image copyright DOMINIK.LK
Image caption ඩොමිනික් චන්ද්‍රසාලිගේ ග්‍රැෆිටි නිර්මාණයක්
Image copyright DOMINIK.LK
Image caption ඩොමිනික් චන්ද්‍රසාලිගේ ග්‍රැෆිටි නිර්මාණයක්
Image copyright DOMINIK.LK
Image caption ඩොමිනික් චන්ද්‍රසාලිගේ ග්‍රැෆිටි නිර්මාණයක්

බැන්ස්කි යනු 90 දශකයේ සිට ක්‍රියාකාරීව සිටින එංගලන්තයෙන් බිහි වූ නිර්නාමික ග්‍රැෆිටි ශිල්පියෙකි. ඔහුගේ දේශපාලනික සහ සමාජීය ප්‍රකාශන ලොව පුරා නගර තුළ ඇති වීදි, පවුරු, පාලම් ආදී පොදු ස්ථාන මත දැකිය හැක.

"ග්‍රැෆිටි කියන්නේ බිත්ති පුරවන එක නෙමයි. හොඳම උදාහරණය බැන්ස්කි. එක තැනකදී එයා සමාජයෙන් ප්‍රශ්න කිරීමක් කරනවා මෙහෙම: සෝල්ජර් කෙනෙක් ඇඳලා එයාව තාප්පයට හේත්තු කරලා පොඩි ගෑණු ළමයෙක් එයාව සෝදිසි කරනවා. ඒක තමයි අනික් පැත්තට ප්‍රශ්න කිරීම කියන්නේ. එතැනටයි අපි එන්න ඕනි," යනුවෙන් ඩොමිනික් චන්ද්‍රසාලි පවසයි.

Image copyright Getty Images
Image caption "සෝල්ජර් කෙනෙක් ඇඳලා එයාව තාප්පයට හේත්තු කරලා පොඩි ගෑණු ළමයෙක් එයාව සෝදිසි කරනවා.ඒක තමයි අනික් පැත්තට ප්‍රශ්න කිරීම කියන්නේ. එතැනටයි අපි එන්න ඕනි,"

මේ දිනවල පොදු ස්ථාන අවට දැකිය හැකි බොහෝ සිතුවම්වල ඇත්තේ නිර්මණශීලීත්වයට වඩා වාර්තාමය ස්වරූපයක් බව ඔහුගේ අදහසය.

"මේ වෙලාවේ ගොඩක් අඳින්නේ නුවර යුගයේ චිත්‍ර වගේ පැවති සම්ප්‍රදායන්. එතන කොපි පේස්ට් කිරීමක් වෙන්නේ. මම කියන්නේ ඒවා පරණයි. ඒ පන්සල්වල තියන මෝස්‌තර ටික තාප්පවල අඳින එක පරණයි කියලා මම හිතන්නේ. ලෝකය අපිව පහු කරන් ගොඩක් දුර ගිහින් දැන්. බැන්ස්කි වගේ ආටිස්ට් කෙනෙක් ගත්තොත් විනාඩි පහෙන් දහයෙන් ඇඳලා ගිහිනුත් ඉවරයි. සමහර විට ඔහු ඒක අඳින්න කලින් අවුරුදු ගානක් ඒ ගැන හිතන්න ඇති. ඒ දේශපාලන පුළුල් අර්ථය මේවා තුළ තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒක ඇත්තම බෞද්ධකමටවත්, ඇත්තම සිංහලකමටවත් ගැලපෙන්නේ නැහැයි කියන එකයි මගේ අදහස."

"අපේ අනික් පරම්පරාවට එතනින් එහාට යන්න පාරවල් හැදිලා නැහැ. මම හිතන්නේ අප්ඩේට් නොවීම. දේශපාලනිකව ගත්තත් ඒ කාරණය තමයි හැම දේකින්ම මතු වෙන්නේ. එතන ඉන්නවා කියන්නෙම අපේ අවිඥානික බව නොදැනුවත්කම කියලයි මට හිතෙන්නේ," යනුවෙන් ඩොමිනික් චන්ද්‍රසාලි වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ තුළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වන බහුතරය තරුණ තරුණියන්ය.

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ "සිය මුල පිරීම්, නායකත්වය සහ කණ්ඩායම් ක්‍රියා මගින් අපේ අනාගත ගමන් මග වෙනස් කිරීම සඳහා තරුණ පරපුර විසින් ශක්තිමත් පදනමක් සකස් කරමින් සිටිති" යනුවෙන් පවසා තිබිණි.

යුදකාමී නිරිඳුන් සහ අවි අතදරා සිටින හමුදා සාමාජිකයන් ද එම සිතුවම් අතරට එක් කිරීම සමාජ ජාල ඔස්සේ මතභේදයට තුඩු දී ඇත.

කෙසේ නමුත් සිංහල ප්‍රජාව විසින් වීරත්වයෙන් සලකනු ලබන අතීත නිරිඳුන් සහ 'යුද විරුවන්' සිතුවමට නැගීම පිරිසක් සාධාරණීකරණය කරන අතර සිතුවම් ඇඳීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ හඳුන්වා දිය යුතු බවට තවත් පිරිසක් තර්ක කරති.

"ලෝක ඉතිහාසයේ සෑම ජාතිකයන් ට ආවේනික වීර යුදකාමී පිබිදුණු අතීතයක් නිසා ඔවුන්ගේ ජාතිය සුරක්ෂිත වී තිබෙන්නේ. එය අමතක කිරිමට ඔබලාට හැකියාව තිබුනට මේ බිමෙහි නිදහස වෙනුවෙන් දිවි දුන්න ඒ මිනිසුන් හෝ එහි සිහිවටනයක් සදා පූජනීය ගෞරවණීය දෙයක්," යනුවෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් සමරසිංහ ධනුසේන පවසා තිබිණි.

"යුද්ධයේ ලස්සනක් නැහැ. අපි යුද්ධය පරාජය කළා. අපි සැවොම ඒ ගැන දන්නවා. ඇතැමෙක් ආඩම්බර වන අතරතුර මේ ඡායාරූප මගින් තවත් කෙනෙකු පීඩාවට පත් විය හැකියි. මම සිතන විදිහට කලාව තිබෙන්නේ සිත් නිවන්න. කලාව තුවාල සනීප කළ යුතුයි" යනුවෙන් චන්දි දිසානායක ෆේස්බුක් ඔස්සේ අදහස් පළ කරමින් කියා සිටී.

ප්‍රකට කාටුන් ශිල්පී අවන්ත ආටිගලගේ කාටුනයකට ද වීදි සිතුවම් විෂය වී තිබුණි.

ඇතැම් ස්ථාන තුළ සිතුවම් තැබීම මාර්ග අනතුරුවලට අත වැනීමක් බවට ද අදහස් ඉදිරිපත් වන අතර යුද්ධය පිළිබඳ දසුන් සහ අවි ආයුද නිතර ඇස ගැටීම ළමා මනසට අහිතකර ලෙස බලපා හැකි බවට ඇතැම් මනෝ වෛද්‍යවරු අනතුරු අඟවති.