"දූෂණය වූ ස්ත්‍රිය නැවත නැවතත් දූෂණය වෙනවා"

rape Image copyright AFP

"දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට පිරිමි දොස්තර හොඳයි. දරුප්‍රසූතිය කරන්නෙත් පිරිමි දොස්තර. දූෂණය වුනාම පරීක්ෂා කරගන්න ගැහැනියක්ම මොකටද?"

"මොකද? දොස්තරවරු යනවද එයාව ආපහු දූෂණය කරන්න?"

"ඒ උසාවියේ ගැහැණු නැත්නම් මොනවා කරන්නද? ඉන්න දොස්තරගෙන් වැඩේ කර ගන්න වෙනවනේ."

පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණු සංවාද අතර මෙවැනි තර්ක ද ඉදිරිපත් වී තිබුණි. රටේ ආන්දෝලනයට ලක් වූ එක්තරා සිද්ධියක් මුල් කරගෙන මෙම සංවාද ගොඩ නැගී තිබුණි.

එම සිද්ධියට දේශපාලනය ද ගෑවී තිබුණි.

නමුත් ශ්‍රී ලංකාවේ සිදු වන බොහොමයක් ස්ත්‍රී දූෂණවලට කිසිදු දේශපාලනයක් ගෑවී නොමැත.

ඊට ගොදුරු වූයේ සිඟිති දැරියක, නව යොවුන් ශිෂ්‍යාවක, තරුණියක, මවක, හෝ වැඩිහිටි කාන්තාවක විය හැක. මේ කතාව 'ඇය' ගැනය.

නීතිය ඉදිරියට යන්නේ නම් මේ කවුරුත් පසු කර යා යුත්තේ එකම ක්‍රියා දාමයකි.

Image copyright Getty Images

ඇය නිවෙස තුළ නිරාවරණය වන්නීය. පොලිසිය ඉදිරියේ නිරාවරණය වන්නීය. නීතිවේදියා ඉදිරියේ නිරාවරණය වන්නීය.

වෛද්‍යවරුන් ඉදිරියේ ඇතැම් විට කිහිප වතාවක් නිරාවරණය වන්නීය. ඒ දෙතුන් වතාවක් වෛද්‍ය වාර්තා ගැනීමට සිදුවන අවස්ථා පවතින බැවිනි.

නඩු මගට පිවිසි විට උසාවිය තුළ සිටින සියලු දෙනා හමුවේ ඇය නිරාවරණය වන්නීය.

ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් ඉදිරියේ නිරාවරණය වන්නීය. අනතුරුව මාධ්‍ය ඔස්සේ තවත් දෙනෝ දාහක් ඉදිරියේ මේ ස්ත්‍රිය හෝ දැරිය නිරාවරණය වන්නීය.

බොහෝ ක්‍රියාධරයන් මෙය අර්ථ දක්වන්නේ "දූෂණයට ලක් වූ ස්ත්‍රිය හෝ දැරිය නැවත නැවතත් දූෂණය කිරීමක්" ලෙසිනි.

අසරණ වූ ස්ත්‍රිය හෝ දැරිය ඒ භයානක සිද්ධිය කිහිප වතාවක දී කිහිප දෙනෙකුට ම සවිස්තරාත්මකව පැහැදිලි කළ යුතුය. ඔවුන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය.

උසාවියේ දී විත්තිකරු බේරා ගැනීම සඳහා සිටින නීතිඥයා අසන්නේ ඉතා සංවේදී හරස් ප්‍රශ්න ය. ඇතැම් විට ඇයට පිළිතුරු සපයන්නට වන්නේ තම මව, පියා, ස්වාමි පුරුෂයා, දියණිය හෝ පුත්‍රයා ඉදිරියේ විය හැකිය. වෙනත් නඩු සඳහා පැමිණ සිටින නන්නාඳුනන පිරිසක් ද එහි සිටිය හැක.

මේ සියල්ලටම මුහුණ දෙන 'ඇය' සිටින්නේ කුමන මානසික මට්ටමකින් ද යන්න බොහෝ දෙනෙකුට අමතක විය හැක.

ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව තව තවත් දැඩි නීති සම්පාදනය විය යුතු බවට සමාජය හඬ නගයි. නමුත් දූෂණයට ලක් වූ 'ඇයට' රැකවරණය සැලසීම සඳහා සිදු විය යුත්තේ කුමක් ද යන්න සොයා බැලෙන්නේ ඉඳ හිටය.

මෙය කෙතරම් සංවේදී දැයි මොනවට පැහැදිලි කෙරෙන එක්තරා සිද්ධියක් මා හා පැවසුවේ කලාකාරියකි.

ඇය රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙස නමක් දිනා ගත් රසාදරී මුණසිංහ ය.

"මම රෝහලකදි දැක්කා පොඩි දැරියක් දූෂණයට ලක් වෙලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටිනවා."

"එතන වෛද්‍යවරු සහ සේවක මණ්ඩලය විසින් ම ඇයගේ අනන්‍යතාවය රෝහලේ සිටි හැම දෙනාටම අනාවරණය කරලා තිබුණා." රසාදරී තමන් දුටු දේ විස්තර කළාය.

"ලෙඩ්ඩු බලන්න ආපු හැම දෙනාම ඒ ළමයා එක්ක කතා කරන්න යනවා. ඒ ළමයාගේ අම්ම එක්කත් කතා කරනවා. ඒ අම්ම කී දෙනෙකුට මේ කතා කියන්නද? පිරිමිත් වට වෙලා ඒ දැරිය දිහා බලාගෙන ඉන්නවා."

"බලන්න ඉතින් එතන ඉඳලම වැරද්දක්නේ කරලා තියෙන්නේ. මේක අතිශය පෞද්ගලික කාරණයක් වෙන්න ඕනනේ." ඇය ප්‍රකාශ කළාය.

මේ එක් කතාවක් පමණි. නමුත් ඒ හරහා දිග හැරෙන සමාජ ප්‍රශ්නය පුළුල් ය. එම නිසා ම දේශපාලනයකින් තොරව ඒ පිළිබඳව සොයා බලන්නට උත්සාහ කළෙමි.

ඉහත කී සංවේදී දසුන සියැසින් දුටු රසාදරීගෙන් ම ඊට ආරම්භය ගැනීම සුදුසු යැයි හැඟුණ හෙයින් ඇය ඇමතුවෙමි.

"හැම ස්ත්‍රී දූෂණයක් ම වාර්තා වෙන්නේ නැහැ. ඇතැම් ඒවා පොලිසියක පැමිණිල්ලක් බවට පත් නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඇයව නීතිය ඉදිරියේ නැවත නැවතත් දූෂණයට ලක් වීම."

Image copyright Getty Images

"තරුණියක් දූෂණයට ලක් වුනාම උසාවියේ දී, රෝහලේ දී පවා ඇයව ආපහු ඇස්වලින් දූෂණය වෙනවා. ඇයව දූෂණය වුනේ මොන හේතුවක් නිසාද කියල ඇස්වලින් බලල විනිශ්චය කරන්න උත්සාහ කරනවා. මෙයා කැමැත්තෙන් දූෂණය වෙච්ච කෙනෙක්ද කියල නිගමනයකට එන්න හදනවා. බොහෝ කාන්තාවන් නීතිය ඉදිරියට එන්න අකමැති ආරක්‍ෂිත ක්‍රම වේදයක් නැති නිසා." රසාදරී මුණසිංහ තම මතය ප්‍රකාශ කළාය.

දරු ප්‍රසූතියක් සඳහා වෛද්‍යවරයෙකු ගේ සහය පැතිය හැකිනම් ස්ත්‍රී දූෂණයක දී වෙනස් ක්‍රියා මාර්ගයක් අවැසි වේදැයි ඇතැමුන් නගන ප්‍රශ්නය ඇය වෙත යොමු කළ විට "දරු ප්‍රසූතියක් සඳහා පිරිමි වෛද්‍යවරයෙක් ළඟට යන්න පුළුවන්. එතන තියෙන්නේ වෙනම මානසික තත්වයක්," යනුවෙන් ඇය පැවසුවාය.

"දූෂණයට ලක් වුනාම පිරිමි ස්පර්ශයකට පවා බිය වෙනවා. ඇතැම් කාන්තාවන්ට ඒ තැතිගැන්ම ජීවිත කාලය පුරාවටම පවතිනවා. කිසිම පිරිමියෙක් එක්ක ජීවත් වෙන්න පවා බැරි වෙන්න පුළුවන්."

"මේකට කිසිම දේශපාලනයක් තිබිය යුතු නැහැ. මම කතා කරන්නේ දේශපාලන පැත්තක් ගැන නොවෙයි. පොදුවේ ස්ත්‍රීන් මුහුණ දෙන ඛේදවාචකයක් ගැන." රසාදරී අවධාරණය කළාය.

මෙවැනි මානුෂික වටපිටාවක් පවතින බව දැන දැනත්, දූෂණයට ලක්වූ ස්ත්‍රියකට හෝ දැරියකට අනිවාර්යයෙන් ම වෛද්‍යවරියක් ලබා දීම සඳහා රට පුරා සෑම උසාවියකම පහසුකම් සැලසිය නොහැක්කේ මන්දැයි ඇය ප්‍රශ්න කළාය.

මෙය අධිකරණ පද්ධතියේ පවතින අඩුපාඩුවක් බව ඇතැම් වෘත්තියවේදීන් ගේ මතය වේ. මේ පිළිබඳව අදහස් විමසීම සඳහා වෘත්තීයවේදිනියන් කිහිප දෙනෙකුම සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

දූෂණයට ලක් වූ ස්ත්‍රියක හෝ දැරියක තුළ පවතින මානසික තත්වය පිළිබඳව මුලින් ම සොයා බැලීම වටිනු ඇත.

"මානසික විද්‍යාව තුළින් බැලුවොත් දූෂණයකට ලක් වූ තැනැත්තිය ලැජ්ජාව, ආතතිය, තැති ගැන්ම, පසුතැවිල්ල, පරාජිත හැඟීම, කම්පනය, ආත්ම අභිමානය කඩා වැටීම, අවමානය, ශාරීරික වේදනාව ආදී බොහෝ දේ එකවර දරා ගන්නවා." මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය.

"මේ වගේ තත්වයක් යටතේ ඇයට සිද්ධිය විස්තර කිරීම හෝ තවත් පිරිමියෙකුට ශරීර අවයව පෙන්වීම අතිශය පීඩාකාරී දෙයක්."

"මේ වගේ වෙලාවට බොහෝ අයට විෂාදය කියන රෝගය එහෙම නැත්නම් ජීවත් වෙලා පලක් නැහැ කියල හිතෙන තත්වයක් ඇති වෙනවා. ඇතැමුන්ට සිය දිවි නසා ගැනීමට හිතෙනවා. පොස්ට් ට්‍රෝමටික් ස්ට්‍රෙස් ඩිසෝර්ඩර් කියන තත්වය." ඇය තවදුරටත් පැහැදිලි කළාය.

මනෝ විද්‍යාත්මකව සළකා බැලීමේදී මෙවැනි තැනැත්තියක දෙස ඉතා සානුකම්පිකව බැලිය යුතු බව ඇය අවධාරණය කළාය.

"නඩුව ගැනම හිතල වැඩ කරන්න හොඳ නැහැ. පිරිමින් මග හැරලා ඉන්නයි මේ වෙලාවට ඒ දැරිය හෝ ස්ත්‍රිය උත්සාහ කරන්නේ. ඇයට තිබෙන්නේ ව්‍යාකුල මනසක්. සුනාමියට හසු වී ජීවිතය බේරා ගත් අය ඊට පස්සේ මුහුද දකින්න පවා බයයි." මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් කියා සිටියේ දූෂණයට ලක් වූ ස්ත්‍රියකට හෝ දැරියකට මුහුණ දීමට සිදු වී ඇත්තේ "අතිශය අමානුෂික ක්‍රියාදාමයකට" බවය.

"බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ අධිකරණවල ඉන්නේ පිරිමි වෛද්‍යවරු. කාන්තා වෛද්‍යවරු ඉතා අඩුයි. ඇය ඒ මොහොතේ තවත් පිරිමි ස්පර්ශයක දී තැති ගන්නා සුළුයි."

"දූෂණයකට ලක් වූ පසු කාන්තාව මුහුණ දෙන සමස්ත ක්‍රියාදාමය තුළ ම ඇය නැවත නැවතත් අපහසුතාවයට ලක් වෙනවා. පොලිසියේ පැමිණිල්ල දමන මොහොතේ සිට උසාවියේ නඩු ඇසීම දක්වා ම බොහෝ විට ඇයට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ පිරිමින්ට." ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් පැවසුවාය.

"ඇයගෙන් හරස් ප්‍රශ්න අහන්නේ උසාවියේ දෙනෝදාහක් ඉදිරියේ. හරිනම් මේ ඇයට වෙනම උසාවියක් හෝ වෙනම උසාවි දිනයක් ලබා දිය යුතුයි. මේ ජීවිතයක් එක්ක ගනුදෙනු කරන්නේ."

"ඇයගෙන් ප්‍රශ්න කරන්නෙත් පිරිමි නීතිඥයන්. සිද්ධ වුනු විදිය හාර හාර අහනවා. මේ වගේ නඩු වලට කාන්තා නීතිඥයන් ඉදිරිපත් වීම අඩුයි. අසරණ වුනු ගැහැනියගෙන් පිරිමි වට වෙලා ප්‍රශ්න අහනවා. පිරිමි විනිසුරුවරයෙක් ඉදිරියේ. උසාවිය ඇතුළෙ තව නඩු වලට ආපු මිනිස්සුත් අහගෙන ඉන්නවා." ඇය තවදුරටත් කියා සිටියාය.

"පොලිසියට ගියත් පිරිමි ටික වට වෙනවා. ඒ මදිවට මාධ්‍යවේදියෝ ටික කැමරා අරන් වට වෙනවා. ශරීර අවයව පෙන්නන්න වෙන්නෙත් පිරිමි වෛද්‍යවරයෙකුට. මේක අතිශය අමානුෂික ක්‍රියාදාමයක්," කථිකාචාරිනි මාධවී හේරත් ප්‍රකාශ කළාය.

ස්ත්‍රියක දූෂණයට ලක් වීමේදී ඇති වන විශාල තැති ගැනීම හේතුවෙන් සෑම පිරිමියෙකුටම බිය වීමේ මානසික මට්ටමක් ඇති විය හැකි බව මනෝ චිකිත්සක සහ සමාජ විද්‍යාඥ අමා දිසානායක පවසන්නීය.

"ඒකට අපි කියන්නේ මායජනක බිය වීම කියල. ඒ නිසා තමන්ව පරීක්ෂා කරන්න වෛද්‍යවරියක් ලබා දීම තමයි සාධාරණ."

"තමන්ව දූෂණය වුණු ආකාරය තවත් පිරිමියෙක් ඉදිරියේ විස්තර කරලා කියන්න අපහසුයි. මෙහෙම කළා... මේ විදියට කළේ කියල කොහොමද කියන්නේ? බොහෝ දේවල් විකෘති ආශාවන් සංසිඳුවා ගැනීමට කළ දුෂණ." ඇය විස්තර කළාය.

ඇය තවදුරටත් කියා සිටියේ "හොඳම දේ තමයි වෛද්‍යවරියක් ලබා දීම. නැත්නම් ඒ ස්ත්‍රිය හෝ දැරිය නැවත නැවතත් පිරිමි ඉදිරියේ දූෂණයට ලක් වෙනවා වගේ වැඩක් වෙන්නේ," යනුවෙනි.

ස්ත්‍රී දූෂණ නඩු විභාග විවෘත අධිකරණයක සිදු කිරීම පවා නොකළ යුත්තක් බව මනෝ උපදේශිකා අමා දිසානායකගේ මතයයි.

"ඝාතනය වීමට වඩා දූෂණය වීම භයානකයි." ඇය අවධාරණය කළාය.

යම් ස්ත්‍රියක් හෝ දැරියක් දූෂණය වුනා නම් අපි හැමෝම ඒකට වගකිය යුතුයි. මුළු සමාජයේම වරදක් ඒක. ඒ නිසා අපි හැමෝම ඇයට පහසුම දේ දෙන්න ඕන. අපි දයාවේ දෑත ඇය වෙත දිගු කරන්න ඕන. මොකද අපිට බැරි උනා ඇයව රැක ගන්න. ඔබ, මම, රජය, සහ රටටම ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ." මනෝ චිකිත්සක අමා දිසානායක ප්‍රකාශ කළාය.

මෙය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සහ අපරාධ යුක්ති පටිපාටිය තුළ පවතින විශාල අඩුපාඩුවක් බව නීතීඥ සජීවනී අබේකෝන් පවසන්නීය.

"පිරිමියෙක් එක්ක තමන්ට වෙච්ච දේ කියන එක අපහසුයි. ඊටත් වඩා එහාට ගිය කාරණයක් තමයි තමන්ගේ සිරුර සහ ලිංගික අවයව පිරිමියෙකු පරීක්ෂා කිරීම."

"සමහරු අහනවා අපි ලෙඩක් හැදුනම හෝ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට පිරිමි දොස්තර කෙනෙක් ගාවට යන්න පුලුවන්නම් ඇයි මේකට විතරක් යන්න බැරි කියල. මේ දෙක සංසන්දනය කරන්න බැහැ. ඇය ඉන්නේ වෙනම මානසික මට්ටමක."

එම නිසා දුෂණයට ලක් වූ තැනැත්තියකට "තෝරා ගැනීමක් සඳහා නිදහස ලබා දිය යුතු" බවත් ඒ සඳහා පහසුකම් ලංකාවේ ඇති විය යුතු බවත් ඇයගේ මතයයි.

"ඇය තුළ පවතින බිය සහ ලැජ්ජාව නිසා ඒ තැනැත්තිය නැවත වතාවක් වින්දිතයෙක් බවට පත් විය යුතු නැහැ. වින්දිතයන් සුරක්ෂිත විය යුතුයි."

"සමහර පිරිමිත් කැමති නැහැ ගැහැනියක් සිරුර පරීක්ෂා කරනවට. පිරිමි දොස්තර කෙනෙක් ගාවට යන්නේ," යනුවෙන් පැවසූ නීතීඥ සජීවනී අබේකෝන් තවදුරටත් කියා සිටියේ "වෛද්‍යවරයා ඇයව දූෂණය කරන්නේ නැති එක ඇත්ත. ඒ වුනාට මේක මානසික අවශ්‍යතාවක් හැටියට සලකන්න ඕන," යනුවෙනි.

"වෛද්‍යවරයා ඉදිරියේ තමන්ගේ ශරීරය නිරාවරණය කරන්න වෙනවා. රහස්‍ය ප්‍රදේශය පෙන්වන්න වෙනවා. බලහත්කාරයෙන් පිරිමියෙක් ගාවට දැමීම අමානුෂිකයි" නීතීඥ සජීවනී අබේකෝන් අවධාරණය කළාය.

"තව දෙයක් කට්ටිය කියනවා, කාන්තා අධිකරණ වෛද්‍ය නිලධාරීන් අඩුයි; ඒක නිසා එහෙම ඉල්ලීම් ඉටු කිරීම ප්‍රායෝගික නෑ කියලා. නමුත් ඒක අපේ සිස්ටම් එකේ ප්‍රශ්නයක්. ඒ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නය වින්දිතයාගේ පිටින් දාන එක පිළිගන්න බෑ."

ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු අතර, "එහෙම නැතිව ඕවා කරන්න බෑ.. ප්‍රායෝගික නෑ" යන කියමන් තුළ සැඟවී ඇත්තේ "වින්දිතයාගේ අවශ්‍යතා කෙරෙහි අසංවේදී වීම" පමණක් බව නීතීඥ සජීවනී අබේකෝන් පවසන්නීය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර