"නිලාවලි සංචාරක කලාපයත් ධන කුවේරයන් අතට යාවි"

Image caption නිලාවලි මුහුදේ තල්මසුන්

"අවුරුදු හතළිහකට පණහකට කලිනුත් නිලාවලියට පිටරටවල්වලින් සුද්දෝ ආවා. ඩොල්ෆින් මාළු තල්මසුන් පෙන්නන්න අපි ඒ අය මුහුදට රැගෙන ගියේ හබල් ඔරුවලින්. ඒත් අද අපේ මිනිස්සුන්ට ඒ පැත්ත පළාතට යන්න තහනම්. මේකද නීතිය?," ඒ අයි ඒ කරීම් ප්‍රශ්න කරයි.

හැටහත් හැවිරිදි ඔහු, නිලාවලි සංචාරක සේවා යාත්‍රා හිමියන්ගේ සමුපකාර සමිතියේ සාමාජිකයෙකි.

"නෑ, මෙන්න නීතිය."

මෙසේ පවසන ඔහු නිලාවලි වෙරළේ ප්‍රදර්ශණය වන පහත දැක්වෙන දැන්වීම පෙන්වමින් නැවත ප්‍රශ්න කරයි.

//වන සත්ව හා වෘක්ෂලතා පනතේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමුද්‍රීය ක්ෂීරපායීන් ආරක්ෂිත හා දැඩි ආරක්ෂිත සත්වයන් ලෙස නම් කරතිබේ. එම සතුන් වෙනුවෙන් නීතිමය ආරක්ෂාව සලසා දී ඇත. මෙම ක්ෂීරපායීන් නැරඹීමට අදාල නියාමණයන් අංක 1774/ 27 දරණ 2012 09 17 දිනැති සහ අංක 2108/ 40 දරණ 2019 01 30 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර මගින් අනිවාර්ය කර තිබේ.//

ත්‍රිකුණාමල වරායට නැගෙනහිර මුහුදු කලාපය ඩොල්ෆින් සහ තල්මසුන් බහුල ප්‍රදේශයක් හැටියට ප්‍රසිද්ධියක් උසුලයි. නිලාවලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් මෙම සතුන් නැරඹීමට විශාල කැමැත්තක් දක්වති.

පරවි දූපත

"අපේ සමිතියේ සාමාජිකයන් තිස් තුන්දෙනෙක් සහ බෝට්ටු පදවන්නන් අසූවක් පමණ ඉන්නවා. රැකියාව හැටියට කරන්නේ 'පරවි දූපතට' සංචාරකයන් රැගෙන යාම. මුළු අවුරුද්දටම දවස් හැත්තෑ පහයි රස්සාව කරන්නේ," ඒ අයි ඒ කරීම් විස්තර කරයි.

"වෙරළේ ඉඳල කිලෝමීටර් තිහක් පමණ ඈත මුහුදේ තමයි, තල්මසුන් ඩොල්පින්ලා ගැවසෙන්නේ. වනජීවී බලපත්‍රයක් නැතුව ඒ පැත්ත පළාතට යාම තහනම්. නාවික හමුදාවෙන් අපේ අය ආපහු හරවලා එවනවා. මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට පමණයි තල්මසුන් සහ ඩොල්ෆින් මාළු නැරඹීමට යන සංචාරකයන් අරගෙන යන්න බලපත්‍ර දීලා තියෙන්නේ. එදා අපි සුද්දන්ට තල්මසුන් ඩොල්ෆින්ලා පෙන්නුවේ හබල් ඔරුවලින් ගිහින්. අපිත් හොඳ ස්කීපර්ලා (බෝට්ටුව පදවන්‍නෝ) තමයි. ඉතින් ඔය කියන නීතිය යටතේ අපට අවසර දෙන්න බැරිද?"

Image caption තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීමට යන සංචාරකයෝ

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් එම් මර්වින් ප්‍රනාන්දු කියා සිටියේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී සාධාරණ ක්‍රම වේදයක් අනුගමනය නොකිරිම හේතුවෙන් තමන් අසරණ වී සිටින බවය.

"මේ ගමේ පදිංචි අපට බලපත්‍ර නෑ. පිට පලාත්වලින් ඇවිත් බලපත්‍ර අරගෙන මෙහෙ කුලී ගෙවල්වල නැවතිලා ඩොල්ෆින්, තල්මසුන් නරඹන්න සංචාරකයන් ගෙනියනවා. අපි බලපත්‍රයක් ඉල්ලුවාම පදිංචිය තහවුරු කරලා ලිපි ගේන්න කිව්වා. අපි ඒවත් ඉදිරිපත් කරලා තියනවා. එරක්කණිඩියේ ඉපදුන අපි අවුරුදු හතරක් තිස්සේම බලපත්‍ර ඉල්ලනවා. තවමත් නෑ. ඇත්තටම මේක ඇතුළේ තියෙන්නේ කූඨ ජාවාරමක්," යනුවෙන් ඔහු චෝදනා කරයි.

"තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් ගැවසෙන්නේ ත්‍රිකුණාමල වරායට නැගෙනහි‍රෙන් ඇති ගැඹුරු මුහුදේ. අවුරුද්දේ මාර්තු සිට ඔක්තෝම්බර් මාසය අතර කාලය තුළ අපට එයාලා දකින්න පුළුවන්. හිරු එළියත් එක්ක තමයි, මේ සතුන්ගේ හැසිරීම් රටාව තීරණය වෙන්නේ. එක ගමන් වාරයකට රුපියල් දහ දාහත් දොළොස් දාහත් අතර මුදලක් නැරඹීමට යන සංචාරකයන්ගෙන් අය කරනවා. ඇයි ඉතින් ත්‍රිකුණාමලේ අපට ඒ අවසරය නොදෙන්නේ? යුද්ධය අවසන් කළේ ඇයිද? කියන කාරණයත් දැන් අපට ප්‍රශ්නයක්."

'කූඨ ජාවාරමක්'

ගෝපාලපුරම් ගමේ පදිංචි, කුඩා බෝට්ටුවක හිමිකරුවෙකු වන ශිවරාසා අදහස් දැක්වූයේ දැඩි ආවේගයකිනි.

"සීසන් කාලෙට පිට පළාත්වලින් එන අය කිමිදුම් මධ්‍යස්ථාන දාගෙන තල්මසුන් පෙන්නලා 'පරවි දූපත්' ගිහිල්ලා කෝටි ගණන් මුදල් හරිහම්බ කරගෙන යනවා. ඒ අය රැකියා තුනක් කරනවා. නිලාවලි අවට පදිංචි අපි උඩ බලාගෙන ඉන්නවා. බෝට්ටු හිමියෝ කියලා අපට සමෘද්ධි සහනාධාරය ලැබෙන්නේත් නෑ. අපි ඒ පළාත්වලට ගියොත් ගහලා පන්නනවා. හික්කඩුවෙදි අපට එහෙම සිද්ධියක් වුනා."

Image caption ගැටලුව සම්බන්ධයෙන් ත්‍රිකුණාමල කච්චේරියේ පැවති රැස්වීමට සහභාගි වූ බලපත්‍ර ඉල්ලුම් කරුවන්ගෙන් කොටසක්

පරවි දූපත නැරඹීමට සංචාරකයන්ට පහසුකම් සළසන නිලාවලි සංචාරක සේවා යාත්‍රා හිමියන්ගේ සමුපකාර සමිතියේ ප්‍රධාන ලේකම් එම්. ජී. ප්‍රියන්ත පවසන්නේ 2020 වස‍රේ සිට තමන්ට මේ රැකියාවත් අහිමිවෙන තත්වයේ අවදානමක් මතුව ඇති බවය.

"ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීමට සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ අවසර පත්‍ර හතළිහම දීල තියෙන්නේ පිට පළාත්වල අයට. එකම පවුලේ දහ ‍දොළොස් දෙනාට විවිධ නම්වලින් මේ බලපත්‍ර දීල තියෙන බව ගැටලුව සම්බන්ධයෙන් ත්‍රිකුණාමල කච්චේරියේ පැවති රැස්වීමට සහභාගි වූ බලපත්‍ර ඉල්ලුම් කරුවන්ගෙන් කොටසක් රැස්වීමකදී අනාවරණය වුනා," ඔහු පැවසීය.

"අපි මේ ගැන පෝස්ටර් මඟින් විරෝධය පළකළා. 2020 සිට කුඩා බෝට්ටු ඉවත් කරල, ලොකු බෝට්ටු සමුද්‍ර සංචාරක සේවාවන් සඳහා යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම වුනොත් පරවි දූපතේ ගමණත් අපට අහිමි වෙනවා. ලොකු බෝට්ටුවක් මිළදී ගන්න තරම් ආර්ථික හයියක් අපට නෑ. ඉතින් මහා ධන කුවේරයෝ නිලාවලි සංචාරක කලාපය අත්පත්කර ගනීවී. දැනටමත් ඒ තත්වය උදාවෙලයි තියෙන්නේ. වෙරළාසන්න රජයේ ඉඩම් පවා ඔප්පු හද හදා විකුණවා. යුද්ධය නිසා ගම් බිම් අහිමි වුනත් නැවත ඒවා ලැබුනා. හැබැයි මේ අහිමිවීම සදා කාලික ඛේදවාචකයක්."

'කලින් කලට වෙනස් වෙනවා'

මේ පිළිබඳව විමසූ විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, නීතිඥ ඩබ් .ඒ. ලලිත් කුමාර කියා සිටියේ, තල්මසුන් හා ඩොල්ෆින් නැරඹීමේ සංචාරක ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළේ 2016 දී බවය.

"පිට පලාත්වල පදිංචිකරුවන්ට බලපත්‍ර දෙන්න එපා කියලා නීතියක් නෑ. ඇයි? ඒ අය ලංකාවේ පදිංචි කාරයෝ නොවෙයිද? සංචාරක ව්‍යාපාරයත් කලින් කලට වෙනස් වෙනවා. ඉදිරියට යනවා නම් කාට කාටත් ඒකට අනුගත වෙන්න සිද්ද වෙනවා. හැම කාරණයකදීම යුද්ධයට මුවාවීම තවදුරටත් උචිත වැඩක් නොවෙයි," යනුවෙන් ද ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා, "2020 බලපත්‍ර සඳහා ඉල්ලුම් පත් 150 ක් ලැබී තියෙනවා. අපි මේ පිළිබඳව ත්‍රීකුණාමල කච්චේරියේදී සියළුම අයදුම් කරුවන් දැනුවත් කළා. සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය පියවර ගන්නවා. කොහොමටත් මේ සියලුම බෝට්ටු එකවර මුහුදට දාන්න දෙන්න බෑ. එකම පවුලේ දහ දොළොස් දෙනාට බලපත්‍ර දීමේ චෝදනාව මම ප්‍රතික්ෂෙප කරනවා," යනුවෙන් ද පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මිරිස්ස මුහුදේ තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් 'වඳවීමේ තර්ජනයක්'

කියවන්න: