සුනාමියට වසර 15ක් - "මළ සිරුරු සිය ගණනක් තවමත් හඳුනාගෙන නැහැ"

Tsunami Sri Lanka Image copyright Getty Images
Image caption 2004 දී සුනාමියට හසු වූ පැරෑලියේ දුම්රිය

2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමියෙන් මියගිය දහස් ගණනක් අතරේ කරාපිටිය රෝහලට ගෙන එන ලද මළ සිරුරු 1200කට අධික ප්‍රමාණයෙන් මළ සිරුරු තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැති බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

සුනාමියෙන් මියගිය අය හඳුනා ගැනීම සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් අනුගමනය කළ ක්‍රියා මාර්ග නිසා මිහිදන් කිරීමෙන් පසුව වුව ද පුද්ගලයන් සිය ගණනක් හඳුනා ගැනීමට අවස්ථාව සැලසිණ.

කෙසේ නමුත්, වසර පහළොවක් ගත වී ඇතත් තවමත් හඳුනා නොගත් තුන්සියයකට ආසන්න පිරිසක් සමූහ මිනී වල තුළ තැන්පත් කර තිබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී රුවන්පුර පැවසීය.

සුනාමි ව්‍යසනය සිදු වූ දින පමණක් කරාපිටිය රෝහලට ගෙන එන ලද මළ සිරුරු සංඛ්‍යාව එක් දහස් දෙසීයකට අධිකය.

එදිනම රෝහලට පැමිණි ඥාතීන් විසින් හඳුනාගනු ලැබූ මළ සිරුරු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ගෙන ගොස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාට දන්වා මිහිදන් කරන ලද අතර, පසුව පැමිණි පිරිස තවත් මළ සිරුරු පන්සිය පනහක් පමණ හඳුනාගන්නා ලදි.

එම මළ සිරුරු වෙනුවෙන් මරණ සහතික නිකුත් කරන ලද අතර තවත් මළ සිරුරු 450ක් හඳුනා ගැනීමට ඥාතීන් කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.

Image copyright Getty Images
Image caption සුනාමියෙන් වසර කීපයකට පසු

ඒ සියලු මළ සිරුරු සමූහ මිනී වලක තැන්පත් කෙරිණ.

ඒ සියල්ල තැන්පත් කරනු ලැබුවේ ඡායාරූප ගෙන ලේඛනගත කිරීමෙන් අනතුරුවය.

එසේ ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් පසු පැමිණි සියයකට ආසන්න ඥාතීහු මියගිය තම පවුලේ සාමාජිකයන් හඳුනා ගත්හ.

දහසකට අධික මළ සිරුරු සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු මෙහෙයවූ කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී රුවන්පුර එදින පැවරුණ අතිශය බරපතල වගකීම පිළිබඳ මෙසේ විස්තර කළේය.

"සුනාමියෙන් සිදු වූ සියලු මරණ හදිසි මරණයි. ඒ නිසා ඒවාට මරණ පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒ සඳහා කරාපිටිය රෝහලට වැඩිපුර හදිසි මරණ පරික්ෂණවරුන් ගෙන්වා ගත්තා. විශාල මළ සිරුරු ප්‍රමාණයක් එකවර ගෙනා නිසා ඒවා හඳුනා ගත් අයට ඉක්මනින් නිදහස් කළා. ඒවා කපා පරීක්ෂා කිරීමට අවශ්‍ය වූයේ නැහැ. නමුත් දින ගණනකට පසුව ලැබුන ඒවා කපා පරීක්ෂා කළා."

Image caption විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර

"මළ සිරුරු පන්සිය පනහක් විතර නිදහස් කලාට පසු හාරසිය පනහක් ඉතිරි වුණා. එයින් හතළිහක් ළමා මළ සිරුරුයි. ඔවුන්ගේ දෙමව්පියන් දෙදෙනාමත් මිය ගිහිල්ලා. මෙතරම් මළ සිරුරු විශාල ප්‍රමාණයක් තබා ගැනීම අපට ප්‍රශ්නයක් වුණා. එතරම් මළ සිරුරු ප්‍රමාණයක් තැබීම සම්බන්ධව දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන්න සිදු වුණා," වෛද්‍යවරයා පැවසුවේය.

මේ තොරතුරු ද කියවන්න:

"අප ගත් ඡායාරූප හාරසිය පනහ බලල සිරුර සීයක් විතර අදාළ ඥාතීන් හඳුන ගත්තා. ඒ අයට මරණ සහතික නිකුත් කළා. කිසියම් අයෙකු මියගිය බවට ඥාතීන් විසින් මරණ සහතිකයක් ලබාගෙන සිටියදී එම තැනැත්තා අතුරුදහන් වී සිට නැවත පැමිණියහොත් එම මරණ සහතිකය අවලංගු කරනවා."

"අද වන විට කරාපිටිය හැරුණ විට දකුණු පළාත් සියලුම ප්‍රධාන රෝහල්වල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් පත්කර සිටිනවා. ඉදිරියේදි ඇතිවන එවැනි අවස්ථාවන්ට මුහුණදීම සඳහා සේවා ස්ථාන වැඩි දියුණු කර තිබෙනවා. ඇඹිලිපිටිය ,මොණරාගල ආදි රෝහල්වලත් දැන් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිටිනවා."

"ඒ වගේම තමයි සුනාමියෙන් පස්සෙ අපේ රටේ අලුතින් නීති ද සම්පාදනය වුණා. ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් ඇති උනා. ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් බිහි වුණා. සුනාමියට පෙර මේ ප්‍රතිපාදන තිබුනේ නැහැ. ආපදා කළමනාකරණ ඒකක මඟින් නිතර පෙරහුරු පවත්වනවා. එසේ කිරීමෙන් ඉදිරියේ දී ආපදාවකදී සිදුවිය හැකි ජීවිත හානි අවම කර ගැනීමට පුළුවනි." වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

"අවුරුදු 15ක් මම මේ තැනට එනවා"

මේ අතර සුනාමි සැමරුම් වැඩසටහන බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 26) ගාල්ල හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අබියස දී පැවත්විණි.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ස්වාභාවික ව්‍යවසනය වන සුනාමියෙන් මියගිය සියලුදෙනා සිහිපත් කරමින් රාජ්‍ය නිලධාරීන් සහ ගම්වැසියන් ස්මාරකය අබියසට ගොස් පුෂ්පෝහාර දැක්වීම සිදු කෙරිණ.

පෙරවරු 9.27ට ගොඩබිමට පැමිණි උදම් රළ පහරට හසු වී සිදු වුණ දුම්රිය අනතුර සිහිගන්වමින් කොළඹ සිට පැමිණි විශේෂ දුම්රිය පැරෑලියේ දී නවත්වා දුම්රියෙන් පැමිණි සියලුදෙනා බැස සුනාමි ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

පැරෑලියේ දුම්රිය අනතුරෙන් 1250කට අධික පිරිසක් මිය ගියහ. තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර මෙය ලෙස සැලකේ.

"මගේ පොඩි දුව මෙතන දී මැරුණා. මේ අවුරුදු පහළොවම මම මෙතනට එනවා. ඒ සිද්ධිය සහ දුව මට මේ අවුරුදු පහළොවේ හැම දවසකම මතක් වෙනවා" යැයි පැරෑලියේ පදිංචි පියසීලී බීබීසී සිංහල සේවයට පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි, සුනාමි ඛේදවාචකයෙන් ශ්‍රී ලංකාවේ 30,959ක් මියගිය අතර, පුද්ගලයන් 5644 ක් අතුරුදහන් වූහ.

අවතැන්වූ ජනගහනය 516,150 කි. දරුවන් 1071 කට සිය දෙමව්පියන් (මව හා පියා දෙදෙනාම) අහිමි විය.

සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවය. එරට පුද්ගලයන් 167,540ක් මෙම ඛේදවාචකයෙන් මියගියහ. ඉන්දුනීසියානු මුහුදු පත්ලේ සිදු වූ දරුණු භූ කම්පනය සමඟ ආරම්භ වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් රටවල් දාහතරක සමස්ත ජන සංඛ්‍යාව 225,000කට අධික බව ඇස්තමේන්තු කර තිබේ.

තවත් තොරතුරු: