කොලුගති තුළින් 'සාක්' රන් පදක්කම් දිනූ කන්තලේ දීපිකාගේ කතාව

"මම ගෑණු ළමයෙක් වුනේ වොලිබෝල් නිසා. ඒකට හේතුවක් තියෙනවා."

පසුගියදා නිම වූ දහතුන්වන දකුණු ආසියාතික මළල ක්‍රීඩා තරගාවලි‍යේ දී "බීච්" වොලිබෝල් (වෙරළ අත් පන්දු) තරඟයෙන් රන් පදක්කමක් දිනා ගනිමින්, ශ්‍රී ලංකාවට කීර්තියක් හිමිකර දුන් විසි හතර හැවිරිදි එම් ජී දීපිකා බණ්ඩාර බීබීසී සිංහල සේවයට සිය ක්‍රීඩා ගමන් මග විස්තර කිරීම ආරම්භ කරන ලද්දේ එසේ පවසමිනි.

"දවසක් මම වොලිබෝල් තරඟයකට ක්‍රීඩා කරද්දී ගැහැණු කණ්ඩායමේ පිරිමි ළමයෙක් සෙල්ලම් කරනවා කියලා නරඹන්නන්ගෙන් ලොකු විරෝධයක් එල්ල වුනා. පස්සේ ඉතින් කරුණු පැහැදිලි කරලා දීලා ප්‍රශ්නය විසඳා ගත්තා. ඒ සිද්ධියෙන් පසුව තමයි මම කොණ්ඩය වවන්න කරාබු දාන්න පටන් ගත්තේ. කොහොමටත් මගේ ‍'කොලු වැඩ' නම් අදටත් අත් හැරිලා නැහැ" දීපිකා පවසන්නීය.

කන්තලේ පේරමඬුව ගමේ පදිංචි දීපිකාගේ නිවස තුළ ඇය මේ දක්වා දිනා ඇති පදක්කම් සහ කුසලාන දක්නට ලැබෙයි.

දීපිකාගේ නිවසට යාමට කන්තලේ සීනි කම්හල ප්‍රධාන මාර්ගයේ බොරළු අතුරන ලද අතුරු පාරක් ඔස්සේ කිලෝ මීටර් හයක පමණ දුරක් යා යුතුව ඇත.

ක්‍රීඩිකාව වාසය කරන ඝන කැලෑවෙන් වට වූ 'පේරමඬුව' පවුල් තුන්සියයක් පමණ පදිංචි හුදකලා ගම්මානයකි.

"මම දැනුම තේරුම ඇති කාලයේ ඉඳල ම ඇඳුම් ඇන්දේ, කොණ්ඩය කැපුවේ, හැසිරුණේ කොල්ලෙක් වගේ. අදටත් මම ගස් නැගලා පොල් කඩනවා. ලොකු ට්‍රැක්ටරයෙන් කුඹුරු හානවා නියර බඳිනවා. ඒ දවස්වල අක්කලා තුන්දෙනයි-අයියයි-මමයි එකතු වෙලා තමයි අපේ කුඹුරුවල ඔක්කොම වැඩටික අවසන් කළේ. කුලීකාරයෝ ගත්තෙ නැහැ."

Image caption දීපිකා බණ්ඩාර මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් ජාතික තරඟ පහකට සහභාගී වී ඇත.

දීපිකා බණ්ඩාර මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් ජාතික තරඟ පහකට සහභාගී වී ඇත.

"තායිලන්තයට දෙවතාවක් ගියා. කසක්ස්තානයට එක වතාවක් ගියා. ඒ තරග තුනෙන්ම අපේ කණ්ඩායම පැරදුණා. ඉන්දියාවේ දී රිදී පදක්කමක් ලැබුණා. අන්තිමේ දී නේපාලයේ දී රන් පදක්කමක් ගන්න පුළුවන් වුනා."

දීපිකා බණ්ඩාර අවධාරණය කරන්නේ පුහුණුව අනුව ජය පරාජය තීරණය වෙන බවය.

පරාජයට පත් වුන තරග තුනටම අපේ කණ්ඩායම සහභාගී වුනේ හරියාකාර පුහුණුවක් නැතිව. විශේෂයෙන්ම ‍මෑතක දී නේපාලයේ පැවත්වුන තරගය සඳහා අපි එක දිගට මාස එකොළහක් පුහුණු වුනා. ඉන්දියාවේ තරගයටත් එහෙමයි. ම‍ගේ ඊළඟ බලාපොරොත්තුව ලබන අවුරුද්දේ පැවත්වෙන ඔලිම්පික් තරගයට සහභාගී වීම. මම කියන්නේ සහභාගී වීමත් ලොකු ජයග්‍රහණයක්. දැන් ඒ සඳහා පුහුණු වෙනවා."

ඇය තම ඉසව්ව පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළාය.

"නමේ හැටියටම 'බීච්' වොලිබෝල් කියන්නේ වෙරළේ අත් පන්දු සෙල්ලම් කරන එකනේ. එක කණ්ඩායමකට ක්‍රීඩකයන් දෙන්නයි. කෝඩ් එක හරිම පුංචියි. හරිම වේගයෙන් සෙල්ලම් කරන්න ඕනෑ. මුහුදු සුලඟයි-වැල්ලයි දෙකම ලොකු අභියෝගයක් .බිම වැටෙන වාර අනන්තයි. මම කරාටේ ක්‍රීඩාවත් කරලා තියෙනව‍.ඉතින් කොයිදේටත් ඔරොත්තු දෙනවා"

දීපිකා බණ්ඩාර ඇය පැමිණි දිගු සහ දුෂ්කර ගමන්මග මෙසේ පැහැදිලි කරන්නීය.

"මගේ ක්‍රීඩා ජීවිතයේ මුල් ගුරුවරයා තමයි, කන්තලේ අග්බෝපුර පාසලේ එස්. පී. චූලරත්න මහත්මයා. මම පසුව ත්‍රිකුණාමල නගරයේ තියෙන මිහිඳුපුර පාසලට ඇතුළත් වුනා. පේරමඬුවේ ඉඳලා මිහිඳුපුරට කිලෝ මීටර් පනහක් විතර දුරයි. යන එන එක අපහසු නිසා ත්‍රිකුණාමලේ නිවසක නතර වුනා. එතකොට මගේ වයස අවුරුදු පහළොවයි. එදා මිහිඳුපුර පාසලේ ගැහැණු ළමයි වොලිබෝල් ක්‍රීඩාවට හරිම ප්‍රසිද්ධයි. ඒ නිසාම තමයි මමත් ඒ පාසල තෝරා ගත්තේ. මිහිඳුපුර විද්‍යාලයේ ක්‍රීඩා ගුරුතුමා මට ගොඩක් උදව් කළා. ඊළඟ අවුරුද්දේ අන්තර් පාසල් ජාතික වොලිබෝල් තරඟයෙන් අපේ කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඔය අතරේ මම සාමාන්‍ය පෙළ විභාගය සමත් වුනා. දැන් කුරුණෑගල එම්. ඒ. එස්. ඇඟලුම් කම්හලේ වොලිබෝල් කණ්ඩායම වෙනුවෙන් තරඟවලට සහභාගී වෙනවා. ප්‍රියන්ත රාජපක්ෂ, ජූඩ් මහේෂ් පෙරේරා සහ පුබුදු ඒකනායන යන 'සර්ලා' තමයි, දැන් අපේ පුහුණුකරුවන් හැටියට කටයුතු කරන්නේ .ඒ පැත්තෙන් කිසිම අඩුපාඩුවක් නෑ."

දහතුන්වන දකුණු ආසියාතික මළල ක්‍රීඩා තරගාවලියට දීපිකා බණ්ඩාර සමඟ සහභාගී වූ කන්තලේ පදිංචි තරංඟ පුෂ්ප කුමාර වුෂුසන්දා කි.ග්‍රෑම් 75 බර පන්තියේ රිදීපදක්කම ද,ඒ.පී. මධුරිකා හංසමාලී කාන්තා 'කබඩි' ලෝකඩ පදක්කමද,ඩබ්ලිව්.ඒ. ළහිරු සම්පත් සහ ඒ. පී. ජී. මිලින්ද චතුරංග පිරිමි 'කබඩි' රිදී පදක්කම ද දිනා ගත්හ.මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ සහ ඔවුන්ට ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවයක් පසුගියදා කන්තලේ නගර ශාලාවේදී පැවැත්වුන අතර ශ්‍රී ලංකා 'කබඩි' කන්ඩායමේ පුහුණකරු කන්තලේ බී.ඩබ්.කපිල බණ්ඩාර එම අවස්ථාවේ දී විශේෂ ඇගයීමකට ලක්විය.

Image caption දීපිකාගේ ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කරන ඇය දිනා ඇති පදක්කම්

කන්තලේ වැනි අති දුෂ්කර ප්‍රදේශයකින් මෙවැනි ක්‍රීඩා ශූරයන් පිරිසක් බිහිවීම මහත් ප්‍රාතිහාර්යයක් බව එම උත්සවය සංවිධානය කළ කන්තලේ ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කුමාරි ප්‍රකාශ කළාය.

(දීපිකා බණ්ඩාර ක්‍රීඩිකාව සමග සාකච්ඡා කොට වාර්තාව සපයන ලද්දේ ආර්.ජී ධර්මදාස විසිනි)

කියවන්න;