ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කරුණු 8 ක්

Image copyright Parliament of Sri Lanka

ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනසක් සිදුවිය යුතුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ද ජනතාවගේ සෘජු නියෝජනය ද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටියේය.

අට වැනි පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය සිකුරාදා (ජනවාරි 03) විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේ මෙම කරුණු සඳහන් විණි.

''ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින්ම විසදාගත යුතුයි'' යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Image copyright PARLIAMENT OF SRI LANKA
Image caption සැසිවාරය විවෘත කිරීමට පැමිණි ජනාධිපතිවරයා, කථානායක විසින් පිළිගනු ලැබූ අවස්ථාව

මීට අමතරව මතු සඳහන් කරුණු ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශන කතාවේ ඇතුළත්ව තිබිණි.

1. විදෙස් ප්‍රතිපත්තිය

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තම රජය මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

සෑම රටක් සමගම මිතුදම් පවත්වා ගැනීමට උත්සහ කළ ද කිසි විටෙක රටේ ස්වාධීනත්වය පවාදිය නොහැකි බව ඔහු සඳහන් කළේය.

''රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිඳු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය සැමවිටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමඟ සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. විශේෂයෙන් ආර්ථික වැදගත්කමක් ඇති අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටෙකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි'' යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

2. "ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වයක්"

තමන්ට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ දේශපාලනයේ ප්‍රබල වෙනසක් සිදු කිරීමට බැවින් පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන් හෝ පසෙකලා ජාතින් අතර භේද වපුරනවා වෙනුවට ජාතිය ගොඩනැගීමට එකට එකතුවන ලෙස සිය කතාවේදී ජනාධිපතිවරයා දේශපාලඥයින්ගෙන් ඉල්ලීමක් කළේය.

''රටේ උත්තරීතර ව්‍යවස්ථාව අනුව මගේ ධුර කාලය අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරනවා. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරනවා. එසේම ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස සැමවිටම සුරකිනවා.'' යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

නව රජයේ ප්‍රතිපත්ති අතර ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් හිමිවේ. ජාතික ආරක්ෂණ යාන්ත්‍රණය නැවතත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති අතර "මවුබිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරින්, සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක්" කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

3. ''ඉදිරි මාසය තුළ තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා''

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරි මාසය තුළ රටේ අඩු ආදායම් පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට නව රජය සැළසුම් කර ඇති බවකි. ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම නව රජයේ අරමුණ බව ද ඔහු සඳහන් කළේය.

''සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන බවට අපි වගබලා ගත යුතුයි. පසුගිය දිනවල අපි ව්‍යාපාරික ක්ෂේත්‍රයට ලබා දුන් බදු සහන වලින් යම් ප්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලබාදිය යුතුයි'' යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේය.

4. රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය භාවිත

සෑම පුරවැසියෙකුටම පිළිගත හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් සහතික කිරීම, දියුණු වීමට උත්සහ ගන්නා සෑම අයෙකුටම සම අවස්ථා ලබාදීම, ජනතා සේවය වෙනුවෙන් කැපවූ පිරිසිදු, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම හා දේශීය ව්‍යවසායකයින් ආරක්ෂා කොට ඔවුන් සවිබල ගැන්වීම තමන්ගේ ප්‍රධාන අරමුණක් බව කී ජනාධිපතිවරයා වත්මන් රජය දුෂණය හා වංචාව පිටුදැකීමේ විශේෂ වැඩපිලිවලක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය.

බොහෝ රටවල් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට තාක්ෂණය විසදුමක් ලෙස යොදා ගෙන ඇති අතර, ඒ හරහා සැමට සමාන අවස්ථා ලබා දිය හැකි බැවින් රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය භාවිත කිරීම ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරන බව ද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේ සඳහන් විණි.

5. පරිසර හිතකාමී බලශක්තිය

ආර්ථික සංවර්ධනයේදී විදුලි මිල වැදගත් සාධකයක් බවත්, විශේෂයෙන් කාර්මික ක්ෂේත්‍ර සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී මෙය බලපාන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. බලශක්ති අර්බුදයට දීර්ඝ කාලීන විසදුම් සෙවීමේදී සුර්ය බලය, සුළං බලය, ජල විදුලිය වැනි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ගැන විශේෂ අවධානයක් යොමු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වී ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළෙඳ සංකීරණයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද අදහස් කෙරේ.

විවිධ නීතිරීති, බලපත්‍ර තහංචි මගින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ජීවනෝපායන් වූ මැණික් කර්මාන්තය, උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, වඩු කර්මාන්තය, හස්ත කර්මාන්තය වැනි කේෂ්ත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සීමා පනවමින් රටේ සංවර්ධනයට බාධා කිරීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා කීය.

කුළුබඩු, පළතුරු, එළවළු, ධාන්‍ය, මස් සහ මාළු වැනි අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන රැසක් තිබුණ ද එමගින් දැනට වඩා අපනයන අදායමක් ලබා ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

6. කාබනික පොහොර භාවිතය

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කරගෙන ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැකසීම සඳහා සියලුම වරායන් නවීකරණය කෙරෙන අතර අවශ්‍යතා අනුව අලුතින් වරාය ඉදි කිරිමටත් අපේක්ෂිත බවඔහු සඳහන් කළේය.

7. රැකියා වෙළෙඳපොළට සහඅධ්‍යාපන

''තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කළ යුතුයි. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ව වැඩිකළ යුතුයි. අද විශ්වවිද්‍යාලවල උගන්වන සමහර පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැලපෙන්නේ නෑ. වර්තමාන රැකියා වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා දැනට හදාරන පාඨමාලාවලට අමතරව ඔවුන්ට ස්වේච්ඡාවෙන් සහභාගී විය හැකි කෙටි කාලින අමතර පාඨමාලා හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.'' යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

උසස් පෙළ අසමත් වන සහ සාමාන්‍ය පෙළ දක්වා ඉගනගත් සිසුන්ට තාක්ෂණික හා කාර්මික අංශයේ දැනුම වැඩි කිරීම සඳහා කාර්මික හා තාක්ෂණික විද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීමද නව රජයේ අපේක්ෂාවක් බව කී ජනාධිපතිවරයා, අලුත් රැකියා අවස්ථා තරුණ තරුණියන්ට සොයා දීමට "අපේ විදේශ තානාපති අංශ වලට විශේෂ වගකීමක් පවරනවා" යයි ද ඔහු සඳහන් කළේය.

8. ''දැනුම කේන්ද්‍රිත ශතවර්ෂයක්''

"21 වන සියවස හඳුන්වන්නේ දැනුම කේන්ද්‍රිත ශතවර්ෂයක් ලෙසයි. කෘතීම බුද්ධිය, ජෛව තාක්ෂණය, රොබෝ විද්‍යාව, 3D මුද්‍රණය වැනි අති නවීන තාක්ෂණයන් ලෝකය වෙනස්කරමින් පවතී. ලෝකයේ දියුණු වෙන රටවල් රැසක් මේ යථාර්ථය වටහාගෙන ඒ සඳහා විශාල මුදලක් ආයෝජනය කරයි"

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති කළමනාකරණයේදීත් මේ ගැන අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටිය ද දින දෙකක් සඳහා ආණ්ඩුවේ එකඟත්වය පළවිය.

ඒ අනුව ජනවාරි 7 සහ 8 යන දෙදින තුළ එම විවාදය පැවැත්වෙනු ඇත.

මේ තොරතුරු ද දැනගන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර