රන්ජන් රාමනායක අත්අඩංගුවට

Image copyright Ranjan Ramanayake

පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබා දුන් පිස්තෝලයේ බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනා මත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබිණි.

අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය අෂු මාරසිංහ බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නිවස සෙනසුරාදා (ජනවාරි 04) සෝදිසියට ලක් කෙරුණු බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර සිය නිවස සෝදිසි කිරීම සඳහා දී ඇති අදාළ වරෙන්තුවේ හේතුවක් සඳහන් නොවන බව හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මීට ඉහතදී නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්විණි.

"මම කිසිදු අපරාධයක් කර නැහැ. නමුත් යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මා බන්ධනාගාරයට හැර රෝහලක් වෙත යන්නේ නැහැ. මා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන අතර සත්‍ය කතා කිරීමේ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සූදානම්" යනුවෙන් එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

"මාගේ පෞද්ගලික පරිගණකය සහ මාගේ නිවසේ ඇති සියලුම සීඩී සහ ඩීවීඩී තැටි ඔවුන් භාරයට ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. රගර් ක්‍රීඩක වසීම් තජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් මා සතුව තිබුණු පිලිගොනුවකුත් ඔවුන්ගේ භාරයට ගත්තා." යනුවෙන් ඔහු නිකුත් කළ තවත් ට්විටර් පනිවුඩයක දැක්විණි.

අදාළ සෝදිසි කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් කියා සිටියේ ඒ පිළිබඳ තමන් වෙත තොරතුරක් ලැබී නොමැති බවය.

ජනාධිපතිවරණයෙන් පසු පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන් ද අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කෙරිණි.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක 2015 ට පෙර පැවති ආණ්ඩුව දැඩි ලෙස විවේචනයට ලක් කළ පුද්ගලයෙකු ලෙස ප්‍රකටය. විශේෂයෙන් දුෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබේ.

දේශපාලන උවමනාවන් මත යහපාලන ආණ්ඩුවේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ආණ්ඩුව පොලිසියේ සහ අධිකරණයේ ක්‍රියාදාමයන්ට බලපෑම් නොකරන බව කියා සිටී.

සබැඳි විෂයයන්