නොරොච්චෝලේ සුනාමි නිවාස: සෞදියෙන් ලැබුණු නිවාස 500 ජනතාවට දෙන්න බැරි ඇයි?

අම්පාර දිස්ත්‍රික්කයේ, අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නොරොච්චෝලේ පිහිටි සෞදි අරාබි රජයේ අනුග්‍රහය සහිතව ඉදි කරන ලද නිවාස පන්සියයේ ව්‍යාපෘතිය මේ දක්වා ජනතා අයිතියට පත්කර නොමැත.

නිවාස පන්සීයක්, පාසල් දෙකක්, රෝහලක්, ක්‍රීඩා පිටියක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇතුළු සියලු යටිතල පහසුකම් සහිතව සුනාමියෙන් පසුව ඉදිකෙරුණු මෙම නිවාස බෙදාදීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය 2009 වසරේදී නියෝගයක් ද නිකුත්කර තිබේ.

එහෙත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අද දක්වා ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම හේතුවෙන් රුපියල් මිලියන ගණනක් වටිනා අදාළ ව්‍යාපෘතියේ නිවාස වල් බිහි වී නිවාස තුළ රූස්ස ගස් දක්නට ලැබේ.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිවාස බෙදා දීමට අවශ්‍ය පුද්ගලයන් තෝරාගෙන අවසන් ලේඛන සකස්කර ඇතත් විරෝධය දක්වන පාර්ශවයන් සමග මේ දක්වා එකඟතාවකට පැමිණිය නොහැකිවීම හේතුවෙන් නිවාසලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්කර නොමැති බව අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී එම් එල් බණ්ඩාරනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු: ''2009 ජුනි මාසයේදී ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙන්නේ විධායකය විසින් රජයේ ඉඩම් පිළිබඳ භාරකාරත්වය දරණ නිසා, මෙවැනි ඉඩම් බෙදාදීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන සහ රජයේ ඉඩම් පනත හා ඉඩම් සංවර්ධන ආඥා පනත යන අණපනත්වල සඳහන් වගන්ති අනුවම කටයුතු කරන්න කියලයි," යනුවෙන් ද කියා සිටියේය.

මේ අතර දිස්ත්‍රික් ජන අනුපාතය මත මෙම නිවාස බෙදාදීම පිළිබඳව අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී සාකච්ඡා වී තිබේ.

2012 ජන සංගනණයට අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ජනගහනය 648,057කි. එයින් 43.58%ක් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්ගෙන්ද, 38.73%ක් සිංහල ජාතිකයින්ගෙන්ද 17.39%ක් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගෙන්ද සමන්විත බව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ''නිවාස බෙදීම''

නොරොච්චෝලේ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු වූයේ 2006 - 2007 කාලයේදී ය. ඓතිහාසික දීඝවාපිය බෞද්ධ ජනපදය ආසන්නයේ ඇති මෙම නිවාස මුස්ලිම් ජනයාට බෙදා දීමට සැළසුම් කර ඇති ආකාරය තුළින් මානව අයිතිවාසිකම් කඩවන බව පවසමින් එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු පැමිණිලිකරුවන් හය දෙනෙක් 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. එවකට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාව සිටි සුනිල් කන්නන්ගර ඇතුළු 64 දෙනෙක් එහි වගඋත්තරකරුවෝ වූහ.

එම පෙත්සම සළකා බැලූ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නිගමනය කර තිබුණේ මුලින් තීන්දු කළ පරිදි ඉඩම් බෙදා දීම තුළින් පැමිණිළි පාර්ශවයේ මානව අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවය.

නියෝගය ලබා දුන් දින සිට මේ දක්වා දිස්ත්‍රික් ලේකම්වරු සිවු දෙනෙකු අම්පාරේ රාජකාරි කළ ද ඔවුන් කිසිවෙකුටත් දස වසරක් මුළුල්ලේ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

"මුස්ලිම් ජනයාට පමණයි''

සුනාමියෙන් අවතැන්වූවන් සඳහා අක්කරපත්තුවේ ඉදිකළ මෙම නිවාස හිමිවිය යුත්තේ සුනාමියෙන් අවතැන්වූ මුස්ලිම් ජනයාට පමණක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් පවසයි.

''මේ ගෙවල් හැදුවේ සුනාමියෙන් අවතැන් වූ අයට. නැතුව නිවාස ව්‍යාපෘතියක් හැදුවේ නෑනේ අපි. මරදමුණේ, නිලාමුණේ, සයින්දමරුදු හා කලවන්චිකුඩිවල තාම මිනිස්සු ඉන්නවා සුනාමියෙන් ගෙවල් නැතුව. දෙමළ කට්ටියට තිරුක්කෝවිල් පැත්තේ ගෙවල් හදලා දුන්නා. ඒ නිසා මේ ටික ලැබෙන්න ඕනා අපිට,'' යනුවෙන් ෆයිසල් කාසිම් මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

සෞදි රජයේ අනුග්‍රහය ලබන ''සෞදි චැරටි'' නම් ස්වේච්ඡා සංවිධානය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදෙනු ලැබුවේ 2011 වසරේදීය. එම අවස්ථාවේ අත්සන් තැබුණු ගිවිසුමක් ප්‍රකාර මෙම නිවාස සුනාමි අවතැන්වූවන් සඳහා පමණක් ලබා දෙන බවට ශ්‍රී ලංකාව එකඟ වී තිබේ. අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුනාමියෙන් අවතැන් වූ පවුල් ගණන 303කි. ඔවුන් සියලු දෙනාම මුස්ලිම් ජාතිකයන්ය. ගිවිසුම අනුව ඔවුන් සියලු දෙනාට නිවාස ලබා දුන්න ද තවත් නිවාස 197ක් ඉතිරි වේ.

''මට උපදෙස් ලැබුණා ප්‍රශ්නයක් තියෙන නිසා සිංහල පවුල් ටිකකුත් මේකට දාන්න කියලා. නමුත් සිංහල පවුල් කිසිවක් අක්කරපත්තුවේ සුනාමියට අහුවෙලා නෑ. ඒ නිසා මම ඒ වෙලාවේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් පැතුවා ගිවිසුම අනුව අපිට පුළුවන් සුනාමි අයට ගෙවල් දෙන්න විතරයි නිසා මේකට මොකද කරන්නේ කියලා," යනුවෙන් අම්පාර හිටපු දිසාපති සුනිල් කන්නන්ගර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

Image copyright Getty Images

උපදෙස් විමසන අවස්ථාවේ තමන් යෝජනාවක් ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.

''මම ඒකට යෝජනාවකුත් කළා ගංවතුරට ගෙවල් හානි වෙච්ච සිංහල පවුල් හා යුද්දෙන් පස්සේ අපිට භාරදුන් නිවාස නොමැති ද්‍රවිඩ පවුල් 38ක් වගේ අපි ළඟ ඉන්නවා. ඒ අයට සහ හිඟුරාන සීනි කම්හලේ නිල නිවාස බලෙන් අල්ලගෙන ඉන්න සිංහල අයට ඉතුරු ගෙවල් 197 දීලා මේක අවසන් කරමු කියලා. නමුත් මම අම්පාරෙන් මාරුවෙලා එනකම් ඊට අනුමැතියක් ලැබුණේ නෑ."

සෞදි අරාබිය සමඟ එකඟ වූ පරිදි නිවාස බෙදාදීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ද හැකියාවක් නොමැත.

මෙම නිවාස බෙදාදීම ගැන අම්පාරේ දිසාපතිවරු අවස්ථා කිහිපයකදී නීතිපති උපදෙස් පතා ඇත. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලද උපදෙස වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුවම ක්‍රියා කරන ලෙසය. ඊට පටහැනිව යම් තීන්දුවක් ගන්නේ නම් ඊට දිසාපතිවරයා පෞද්ගලිකවම වගකීම භාරගත යුතුව බව නීතිපතිවරයා උපදේශාත්මකව දන්වා ඇතැයිද, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මිස ඉන් පරිබාහිර තීන්දුවක් ගැනීමට දිසාපතිවරයාට බලයක් නැතැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ද දැනුම් දී ඇති බව අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී එම් එල් බණ්ඩාරනායක කියා සිටියේය.

''එකඟතාවකට එන්න''

මේ ගැටලුව පිළිබඳව බීබීසී සිංහල සේවය දීඝවාපිය රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ පළ කළේ මෙවැනි අදහසකි.

''මේ නිවාස බෙදා දීම ගැටලුසහගත නම් අදාළ සියලු දෙනා ඒකරාශී වෙලා, විද්වත් කතිකාවක් තුළින් සියලු දෙනාට එකඟ විය හැකි සුදුසු දෙයක් සම්මත කරගෙන නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නැවත අනුමැතියක් අරගෙන මේ ගෙවල් ටික බෙදා දෙන්න.''

මෙම නිවාස ජනතාවට බෙදා දීම ගැන දශකයකට අධික කාලයක සිට සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලද නමුත් මේ දක්වා විසඳුමක් ලැබී නැත.

''අපේ ගමේ ගොඩක් අයට ගෙවල් නෑ. ඒත් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ගෙවල් 500ක් විනාශ වෙනවා. ඒ ටික ගමේ අයට බෙදා දෙන්න," යනුවෙන් නිවාස ව්‍යාපෘතිය ආසන්නයේම ජිවත්වන බුද්ධිකා තරංගනී පැවසුවාය.

"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරන්න බැරි රජයක් තියෙනවා කියන්නේ අපිට හරිම කණගාටුදායක දෙයක්," යන්න ඩබ්ලිව් දේවකුමරිගේ අදහස වී තිබේ.

දීඝවාපිය ආසන්නයේ ඇති එරගම ගම්මානයේ වාසය කරන කේ අභිදා පවසන්නේ තමන් දැනට දිවි ගෙවන්නේ අනතුරුදායක ස්ථානයක බැවින් ගල් පෙරළි මිය යන්නට පෙර මේ ස්ථානයෙන් නිවසක් ලැබුණොත් ඉතා වටිනා බවය.

''අපිට ගෙවල් නෑ. දීඝවාපියේ ගෙවල් 500ක් විතර විනාශ වෙනවා. ගෙවල් නැතුව ඉන්නේ ගල් උඩ. ගල් පෙරළිලා මැරුණොත් කවුද වග කියන්නේ.? ''

කිසියම් එකඟතාවකට පැමිණ මෙම නිවාස ජනතාවට බෙදා දෙන තුරු පවතින තත්වයෙන් හෝ අදාළ ඉදිකිරීම් ආරක්ෂා කරගත යුතුය. එබැවින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා හෝ දැනට වල්බිහිවෙමින් පවතින ගොඩනැගිලි එළිපෙහෙළි කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා උත්සහ දරුව ද මුදල් නොලැබීම නිසා එම සැලැස්ම ද අසාර්ථක වී තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ''නිවාස බෙදීම''

කියවන්න: