රන්ජන් රාමනායක හඬපට: රහසිගත පටිගත කිරීම්, නීතිය සහ අධිකරණය

Image copyright Shanika Somathilake

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් රහසිගතව පටිගත කරන ලද දුරකථන සංවාද මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වී තිබේ.

දේශපාලනඥයන්, නළු නිලියන්, පොලිස් නිලධාරීන් සහ විනිසුරුවරුන් ඇතුළු පුද්ගලයන් සමඟ ඔහු පවත්වන ලද බව සැලකෙන දුරකථන සාකච්ඡා දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අඩංගු හඬ පටි පොලිසිය භාරයට ගනු ලැබ තිබේ.

පොලිසිය තවමත් එම හඬ පට අධිකරණය වෙත ඉදිරිපත් කර නැතත්, එම හඬපටවල ඇතුළත් ඇතැම් සංවාද දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වීම ද අවධානයට ලක් වී පවතී.

කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු අතර පැවැත්වෙන සංවාදයක් පටිගත කිරීම, බෙදා හැරීම සහ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය කවරක් ද?

පටිගත කිරීම සහ සාක්ෂි වශයෙන් යොදාගැනීම

චන්ද්‍රපාල කුමාරගේ, නුවන් බෝපගේ සහ හර්ෂණ නානායක්කාර යන නීතිවේදීන් පෙන්වාදෙන පරිදි එවැනි පෞද්ගලික සංවාදයක් පටිගත කිරීම කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවේ පවතින නීතිය උල්ලංඝනය කිරීමක් නොවේ.

එසේම එවැනි හඬ පට හෝ වීඩියෝ පට අවශ්‍ය නම් අපරාධ හෝ සිවිල් නඩුවක සාක්ෂියක් ලෙසින් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ සාක්ෂි ආඥා පනතට 1995 දී කරන ලද සංශෝධනයක් ප්‍රකාර එවැනි හඬ පට/වීඩියෝ පට සාක්ෂි වශයෙන් යොදා ගැනීමේ දී:

  • එම හඬ පටය/වීඩියෝ පටය නිරවද්‍ය (genuineness) බව
  • එහි දැක්වෙන්නේ සාක්ෂියට අදාළ පුද්ගලයාගේ හඬ/ රූපය බව
  • එය කිසියම් ලෙසකින් විකෘති කොට හෝ සංස්කරණය කොට නොමැති බව

සනාථ කළ යුතු බව නීතිවේදී නුවන් බෝපගේ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.

"එහිදී සලකා බලන්නේ අදාළ පුද්ගලයාගේ අනුමැතිය තිබ්බ ද, නැද්ද කියන ඒක නොවෙයි. එම ශ්‍රව්‍ය, දෘශ්‍ය පටිගත කිරීම ඇත්තටම ඒ දෙදෙනා අතර වෙච්ච සංවාදයක් ද කියන කාරණය තමයි එහිදී සලකා බලන්නේ. එහෙම නැතුව එබඳු දෙයක් රෙකොර්ඩ් කරන්න බාධාවක් හෝ එබඳු දෙයක් රෙකොර්ඩ් කිරීමේදී අනිත් කෙනාගේ අනුමැතිය ලබාගත යුතුය කියන ආකාරයේ නීතිමය ප්‍රතිපාදනයක් නැහැ."

කෙසේ වුවත් එසේ රහසිගතව පටිගත කරන ලද හඬ පට මාධ්‍ය වෙත මුදා හැරීමේ දී කිසියම් පාර්ශවයකට අගතියක් සිදු වූයේ යයි විශ්වාස කෙරෙන්නේ නම් එහිදී එය පටිගත කළ පුද්ගලයාට එරෙහිව අපහාස නඩුවක් පවරා වන්දියක් ඉල්ලීමේ හැකියාව පවතී.

"එහෙමත් නැත්නම් එම තැටිගත කිරීම් යම්කිසි විකෘති කිරීමකට ලක් කරලා, නැත්නම් යම් වෙනස් කිරීම්වලට ලක් කරලා තියෙනව නම් එබඳු අවස්ථාවකදි හැකියාව තිබෙනව සාපරාධී විශ්වාසය කඩ කිරීම හෝ එබඳු ආකාරයේ අපරාධමය වරදක් සඳහා කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා."

පෞද්ගලිකත්වය

වෙනත් බොහෝ රටවල පෞද්ගලිකත්වය සුරැකීම සම්බන්ධයෙන් පවතින ආකාරයේ නීතිමය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නොමැති බව නීතිවේදීහු පෙන්වා දෙති.

"විදේශවල එබඳු දේවල් වුනත් තියෙන්නේ රාජ්‍යයට, නැත්නම් පරිපාලනමය හෝ විධායකයට විරුද්ධව තමයි ඒවත් සකස් වෙලා තියෙන්නේ නමුත් පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන පුද්ගලික ගනුදෙනුවක් සම්බන්ධයෙන් එබඳු නියාමනයක් නීතිය මගින් කරන්නේ නෑ," යනුවෙන් ද නීතිවේදී නුවන් බෝපගේ පෙන්වා දුන්නේය.

එය අනුමත කරන නීතිවේදී හර්ෂණ නානායක්කාර පවසන්නේ, එබැවින් රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා විසින් සිය සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් පවතින්නේ නීතිමය ගැටලුවක් නොව සදාචාරය පිළිබඳ ගැටලුවක් පමණක් බවය.

"ඒකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව; සදාචාරය කියන්නේ මොකක්ද කියල."

කිසිවෙකු සිය දුරකථනය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසුවහොත් ගත යුතු පියවර කවරක් දැයි පැහැදිලි කරන නීතිවේදිනී අචලා සෙනෙවිරත්න අවධාරණය කරන්නේ, එසේ සිය දුරකථනය ලබාදිය යුත්තේ ඒ සඳහා අධිකරණ නියෝගයක් තිබෙන්නේ නම් පමණක් බවය.

"අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ 286 වෙනි වගන්තිය තමයි මේකට අදාළ වෙන්නේ."

පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය විධිවිධාන නොමැතිවීම පිළිබඳව අදහස් දක්වන නීතිවේදී හර්ෂණ නානායක්කාර පවසන්නේ, එවැනි නීති පද්ධතියක් සැකසෙන්නේ නම් "ඉතා යහපත්" බවය.

"මොකද අපිට එදිනෙදා හම්බවෙන තත්ත්වයන් නිසා. අපි දන්නවා සමහරු 'බ්ලැක්මේල්' කිරීම්වලට ලක්වෙනව. ඒගොල්ලන්ගේ ගෙදර තියන දිනපොතක් උස්සගෙන ඒ සම්බන්ධයෙන් නඩු පවරන. ඉතින් ඒ නිසා එහෙම නීති පද්ධතියක් තිබුනා නම් හොඳයි."

හඬපට 'ලීක්වීම'

මේ අතර සිය සේවාදායකයාගේ නිවසේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හඬ පට පොලිසියෙන් පිට වී මාධ්‍යවල ප්‍රචාරය වන්නේ කෙසේ දැයි විමසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදිනී ආශා කහවත්ත මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය.

"අධිකරණය කිවුවේ තවමත් මේ වනතුරු මෙවැනි නඩු භාණ්ඩ අධිකරණයට භාර දීල නොමැති බව," යනුවෙන් ද පසුගිය ජනවාරි 09 වෙනි දින ඇය සඳහන් කළාය.

"වැටලීමෙන් පසුව තමයි මේ සියල්ලම වාදනය වන්නේ, ඒ නිසා අපි සැක කරනවා පොලිසිය මගින් යන්නට ඇති කියල."

පොලිසිය පවසන්නේ, එම හඬ පට තමන් කිසිවෙකුටත් ලබා නොදුන් බවය.

නීතිවේදිනී ආශා කහවත්ත ද සඳහන් කළ ආකාරයට නඩු භාණ්ඩයක් ලෙසින් පොලිස් අත්අඩංගුවට පත්වූ හඬ පට මෙසේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මගින් එහි නිරවද්‍යභාවය පිළිබඳ බරපතල ගැටලුවක් මතුවන බව නීතිවේදී හර්ෂණ නානායක්කාර බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

"මම කියන්නේ මේක කරන්න තිබුණේ මේ සේරම දේවල් අරගෙන නිවැරදි අපරාධ විධිවිධාන සංග්‍රහයේ පටිපාටිය යටතේ."

ශානි අබේසේකර

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමඟ පවත්වන බව විශ්වාස කෙරෙන දීර්ඝ දුරකථන සංවාද ගණනාවක් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බෙදා හැරෙමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වීමෙන් දින කිහිපයකට පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පදවියෙන් ඉවත් කෙරුණු අතර, "මාව හිරේ දාන්න" කටයුතු කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට චෝදනා කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.

Image copyright facebook

අදාළ ඇතැම් හඬපට සමාජ ඔස්සේ ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කොට විමර්ශනයක් පවත්වන බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කළේය.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේ, මෙවැනි පටිගත කිරීම් නීති විරෝධී නොවන බැවින් එම හඬ පටවල ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විමර්ශන ගණනාවක් පැවැත්වීමට අදාළ බලධාරීන්ට සිදුවන බවය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වරදක් කොට නැති බව කිසියම් ලෙසකින් එම විමර්ශනවලින් සනාථ වන්නේ නම් එහිදී තමන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ මෙන්ම රජයෙන් සහ ජනමාධ්‍ය ඇතුළු අදාළ සියලු පාර්ශවලින් වන්දි ලබාගැනීමේ හැකියාව ඔහුට පවතින බව ද නීතිඥ කුමාරගේ පෙන්වා දුන්නේය.

"මොකද මාධ්‍ය වුනත් මේවා ප්‍රචාරය කරන කොට ඒගොල්ලොත් මේවා හොයල බලන්න එපැයි."

ඒ අදහස අනුමත කරන නීතිවේදී හර්ෂණ නානායක්කාර පවසන්නේ, අදාළ සංවාද සම්බන්ධයෙන් පොලිසිය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ලැබීමේ හැකියාව පවතින නමුත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කර ඇති බවක් මෙතෙක් තමන්ට අසන්නට ලැබුණ හඬ පට මගින් අනාවරණය නොවන බවය.

"ශානි අබේසේකර කියන්නෙත් මේ රටේ පුරවැසියෙක්. එයා පොලිසියේ හින්ද ඒ කරපු දේ වැරදියි කියල කියන්න බැහැ. එහෙම නම් මේ රටේ පොදුවේ බලපාන නීතියක් උල්ලංඝනය වෙලා තියෙන්නේ ඕන ඔහු අතින්." නීතිවේදී හර්ෂණ නානායක්කාර පැවසීය.

බ්‍රිතාන්‍යයේ හිටපු පොලිස් ප්‍රධානියාටත් චෝදනා

පෞද්ගලික දුරකථන සංවාද රහසිගතව පටිගත කිරීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ ද මීට ඉහතදී ආන්දෝලනයක් මතුවිය.

2006 වසරේ ඒ ආන්දෝලනය මතු වූයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියා කලාපයක් සම්බන්ධයෙනි.

බ්‍රිතාන්‍යයේ ඉහළම පොලිස් නිලධාරියා වන මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රධානියා විසින් නීතිපතිවරයා, ස්වාධීන පොලිස් පැමිණිලි කොමිසමේ සාමාජිකයින් සහ මාධ්‍යවේදියෙකු සමඟ පවත්වන ලද දුරකථන සංවාද කිහිපයක් රහසිගතව පටිගත කරනු ලැබ තිබිණ.

එවක මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රධානියා වූ සර් ඉයන් බ්ලෙයාර්ගේ එම ක්‍රියාව පිළිබඳව එවක නීතිපති ගෝල්ඩ්ස්මිත් සාමිවරයා "කෝපයට" පත් වූ අතර, එම සංවාද පටිගත කිරීම පිළිබඳව සර් ඉයන් බ්ලෙයාර්ට මෙට්‍රොපොලිටන් පොලිස් අධිකාරිය විසින් නිල වශයෙන් ලිඛිතව අවවාද කරනු ලැබිණ.

කෙසේ වුවත්, බ්‍රිතාන්‍යයේ දැනට බලපැවැත්වෙන විමර්ශන බලය පාලනය කිරීමේ 2000 පනත (Regulation of Investigatory Powers Act 2000 (RIPA)) ප්‍රකාර, සිය පුද්ගලික කටයුතු වෙනුවෙන් යොදාගැනීම පිණිස දුරකථන සංවාද පටිගත කිරීම නීති විරෝධී කටයුත්තක් නොවේ.

එවැනි සංවාදයක් පටිගත කොට නීති විරෝධී ලෙසින් බෙදා හැරීම ද සිවිල් නඩුවකට අදාළ කටයුත්තක් විනා අපරාධ නඩු නිමිත්තක් නොවේ.

බ්‍රිතාන්‍යයේ පවතින නීතිය අනුව එවැනි සංවාදයක් තුන්වෙනි පාර්ශවයක් වෙත ලබාදීමට අවශ්‍ය නම් ඔහු/ඇය ඒ සඳහා මුලින්ම සංවාදයට සම්බන්ධ වූ පුද්ගලයාගේ අනුමැතිය ලබාගත යුතුය.

දුරකථන සංවාදවලට බියවීම

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිය සියලු දුරකථන පණිවුඩ පටිගත් කළ බව අනාවරණය වීමත් සමඟ බොහෝ දෙනා ඔහුගේ දුරකථන ඇමතුම් මඟ හරින බව දැක්වෙන ආකාරයේ හා වෙනත් කාටුන් සහ සටහන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

කියවන්න: