රන්ජන් රාමනායකගේ 'හඬපට', දුමින්ද සිල්වා සහ ජනාධිපති සමාව

Image caption ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ දුමින්ද සිල්වා

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී මරණ දණ්ඩනය ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ හිමිවරු මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරු ද ඉල්ලා සිටිති.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන සමයේ එම අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වන්නේ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සහ විනිසුරුවරියක් අතර සිදු විනැයි පැවසෙන දුරකතන සංවාදයක් මුල් කර ගනිමිනි.

දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබා දීම සඳහා බලපෑමක් එල්ල වී ඇතැයි එකී දුරකතන සංවාදය මගින් පෙනෙන්නට ඇති බව ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු ගණනාවකගේම මතය වී තිබේ.

නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන පසුගියදා අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ දුමින්ද සිල්වා වරදකරු කරමින් ඉහත කී විනිසුරුවරිය ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් ලබා දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසය.

කෙසේ නමුත් දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබා දීමට ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තහවුරු කර තිබේ.

අන්තර්ජාලයට මුදා හැර ඇති අදාළ පටිගත කිරීම්වල සඳහන් සංවාදය සිදු කළ දිනය, එය සංස්කරණයට ලක් කර තිබේද? නැද්ද?, යන්න හා එහි නිවරද්‍යතාව සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ බදාදා (ජනවාරි 08) කියා සිටියේ පොලිසිය විසින් අදාළ හඬපට මාධ්‍යට මුදා හැර නොමැති බවය.

පෙබරවාරි 04 වෙනිදාට යෙදී ඇති ජාතික නිදහස් දිනයේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම සඳහා පසුබිම සැකසීමට අදාළ හඬපට යොදා ගන්නා බවට ද ඇතැම් පිරිස් සමාජ ජාල ඔස්සේ චෝදනා කර තිබිණි.

කෙසේ නමුත් එම චෝදනා හෝ ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා නිල වශයෙන් ප්‍රතිචාරයක් පළ කර නොමැත.

දුමින්ද සිල්වාට ලබා දී ඇති මරණ දඬුවම ගැන අදහස් දක්වමින් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ "භාරත මැරුණේ වහ බීලා නෙමෙයි. ඒත් එක්ක මරණයට පත් අනික් අය ඔලුවට වෙඩි තියා ගත්තා නෙමෙයි. මේකට දුමින්ද සිල්වා නිදොස් කර නිදහස් කරන්න කිසිම හේතුවක් නැහැ" යනුවෙනි.

පහත දැක්වෙන්නේ දුමින්ද සිල්වාට එරෙහිව ගොනු කෙරෙනු නඩු විභාගය සහ ඒ සම්බන්ධයෙන් මතභේදයට තුඩු දුන් සිදුවීම් පිළිබඳ විමසුමකි.

දුමින්දට මරණ දඬුවම නියම වුණේ ඇයි?

දිනය: 2011 වසරේ ඔක්තෝබර් 08, බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දින

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසකට චෝදනා එල්ල විය.

අදාළ චෝදනාවලට වැරදිකරුවන් වූ ඔහු ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුව ඇතැයි පැහැදිලි වී ඇති බවය.

ඒ හේතුවෙන් එම ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බව සාක්ෂි මගින් තහවුරු වී ඇතැයි කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පනවන බවට තීන්දු කළහ.

තීන්දුව ලබා දුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්:

  • ශිරාන් ගුණරත්න - සභාපති
  • පද්මිණි රණවක
  • එම්.කේ.ඩී මොරායස්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගයේ ගමන් මග

Image caption ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ බහුතරයේ තීන්දුව වූයේ අදාළ ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු යයි සාක්ෂි මගින් තහවුරු වී ඇති බවය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදාය.

එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 කි. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා ඊට ඇතුළත් විය.

2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යාමෙන් පසු ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවය.

2015 මාර්තු 03

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

2015 අගෝස්තු 04

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබිණි. මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වූ අතර සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බීඑස්. මොරායස් පත් කෙරිණි.

2015 අගෝස්තු 06

අදාළ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මොවුන්ට නගා තිබූ චෝදනා වූයේ, 2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම යනාදී කරුණුය.

අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියහ.

2016 සැප්තැම්බර් 08

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දණ්ඩණය නියම විය.

2017 නොවැම්බර් 27

මරණ දණ්ඩනය පනවමින් දී තිබූ නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළහ.

2018 ඔක්තෝම්බර් 11

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය යළි තහවුරු කළේය.

පසුදින (ඔක්තෝබර් 12) පදවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි එවක අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලය විසින් ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබිණ.

මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වූ පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කෙරිණි.

බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුව ඇතැයි පැහැදිලි බවය.

එබැවින් අදාළ ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පනවන බව තීන්දු කළහ.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්:

  • ප්‍රියසාද් ඩෙප් - අගවිනිසුරු
  • බුවනෙක අලුවිහාරේ
  • ප්‍රියන්ත ජයවර්ධන
  • විජිත් මළල්ගොඩ
  • නලීන් පෙරේරා

කවුද මේ දුමින්ද සිල්වා?

Image copyright Duminda Silva
Image caption තමන්ට එරෙහිව එල්ල වන චෝදනා දුමින්ද සිල්වා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි

දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, එක්සත් ජාතික පක්ෂය හරහාය. 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.

එම අවදියේ ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් පැවැත්විය.

දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූයේ, 2007 වසරේදීය.

ඒ අතරතුර, ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි නඩුව එවක නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය විය.

ඒ සම්බන්ධයෙන්, එවක අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා බීබීසී සංදේශය වැඩසටහන සමග පැවසුවේ, දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි තිබුණේ නම් එවක නීතිපති මොහාන් සිල්වා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගනු ලැබීම "වැරදි" අතර නීතිපතිවරයාට එවැනි බලයක් නොමැති බවය.

ළමා අපචාර සම්බන්ධයෙන් වූ චෝදනාව දුමින්ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, ජනප්‍රිය නිළියක වූ අනර්කලී ආකර්ෂා සහ ඇයගේ මව ඝාතනය කරන බවට දුමින්ද සිල්වා තර්ජනය කළේ යයි චෝදනා කරමින් අනර්කලී ආකර්ෂා 2008 වසරේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

මීට අමතරව, කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවක ඔහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල විය.

එම චෝදනා දුමින්ද සිල්වා ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය පැවති වකවානුවේ මාස කිහිපයක් දුමින්ද සිල්වා සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබන බවට අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එවක පැවති මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඔහු බැලීමට සිංගප්පූරුවට ගිය බවට ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.

2016 වසරේදී විනිසුරුවරියක්, මරණ දඬුවමට ලක් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුව ඇති බවට චෝදනා එල්ල විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්