රන්ජන් රාමනායකගේ 'හඬපට' බූමරංගයක් ද?

Image copyright Ranjan Ramanayake
Image caption තමා වෙත ලැබෙන දුරකතන ඇමතුම් පටිගත කර ළඟ තබා ගැනීම සාධාරණීකරණය කරන හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක 'දූෂිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අරමුණින්' එසේ කළ බව පවසයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සහ විවිධ පුද්ගලයන් අතර සිදු වී ඇතැයි පැවසෙන දුරකතන සංවාද ඇතුළත් හඬපට පිළිබඳ මේ දිනවල විශාල කතාබහක් මතුව තිබේ.

අධිකරණ ක්ෂේත්‍රය, පොලිසිය මෙන්ම නිරූපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැමුන් සමග එකී සංවාද සිදුව ඇතැයි විශ්වාස කෙරෙන නමුත්, නඩු කටයුත්තක් පවතින බැවින් සංවාදවල අඩංගු හඬ තමාගේ යයි පිළිනොගන්නා බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසයි.

පසුගිය පාලන සමයේදී රාජපක්ෂවරුන් සහ ඔවුන්ට සහාය පළ කළ ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් පැවති විමර්ශන සහ නඩු විභාගවලට බලපෑම් කර ඇති ආකාරය අදාළ හඬපට ඔස්සේ පෙනී යන බව වත්මන් ආණ්ඩුව සහ ඊට සහාය පළ කරන සංවිධානවල ස්ථාවරය වී ඇත.

කෙසේ නමුත් මාධ්‍ය වෙත නිකුත් වී ඇති හඬපටවල නිවැරදිභාවය මෙතෙක් තහවුරු කර නොමැත.

පහත දැක්වෙන්නේ අදාළ හඬපට ප්‍රසිද්ධියට පත් වීම සහ එහි පෙළගැස්ම පිළිබඳ විමසුමකි.

ජනවාරි 04 - පිස්තෝලයෙන් ඇරඹි මතභේදය

ජනවාරි 04 වෙනිදා (සෙනසුරාදා) රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුණේ පොලිසිය විසින් මාදිවෙල පිහිටි ඔහුගේ මන්ත්‍රී නිල නිවාසය සෝදිසියට ලක් කිරීමෙන් අනතුරුවය.

අදාළ සෝදිසි මෙහෙයුම කරනු ලැබුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මතය.

සිය නිවස සෝදිසි කිරීම සඳහා නිකුත් කර තිබුණු වරෙන්තුවේ හේතුවක් සඳහන් නොවූ බව හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සෝදිසි මෙහෙයුම අතරතුර නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්විණි.

මේ අතර නිවස සෝදිසියට ලක් කරන ආකාරය රන්ජන් රාමනායකගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරෙන ආකාරය ද දක්නට ලැබිණි.

"මාගේ පෞද්ගලික පරිගණකය සහ මාගේ නිවසේ ඇති සියලුම සීඩී සහ ඩීවීඩී තැටි ඔවුන් භාරයට ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. රගර් ක්‍රීඩක වසීම් තජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් මා සතුව තිබුණු ලිපිගොනුවකුත් ඔවුන්ගේ භාරයට ගත්තා." යනුවෙන් ඔහු නිකුත් කළ තවත් ට්විටර් පණිවිඩයක දැක්විණි.

හිටපු ඇමතිවරයාට සිය පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් දී තිබූ පිස්තෝලයේ බලපත්‍රය අලුත් කර නොමැති බව සෝදිසි කිරීමේදී අනාවරණය වූ අතර ඒ මත ඔහු අත්අඩංගුවට ගත් බවක් එදින පළ වූ මාධ්‍ය වාර්තාවලින් කියවිණි.

සෝදිසි මෙහෙයුම අතරතුර එහි පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අශු මාරසිංහ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ පිස්තෝලය සහ ජීව උණ්ඩ සඳහා වන බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම මත අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවය.

2015 වසරේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව බලයට පත් රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් බරපතල මට්ටමේ දූෂණ චෝදනාවලට ලක්ව ඇති පසුබිමක රජයෙන් ලබා දුන් පිස්තෝලයක බලපත්‍රය අලුත් නොකිරීම මත රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමාජ ජාල ඔස්සේ විවේචනයට ලක්ව තිබිණි.

2015 ට පෙර පැවති, මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ 'යහපාලන ආණ්ඩුව' පැවති සමයේ ද සිදු වූ බව පැවසෙන දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් හඬ නැගූ දේශපාලනඥයෙකු වශයෙන් ප්‍රචලිත රන්ජන් රාමනායක වෙනුවෙන් බොහෝ දෙනෙක් සමාජ ජාල ඔස්සේ සහාය දක්වමින් අදහස් පළ කරන ස්වභාවයක් දක්නට ලැබිණි.

ජනවාරි 05 - රන්ජන්ට ඇප: හඬපට එළියට

අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව එදිනම ඇප මත නිදහස් කරනු ලැබිණි.

අධිකරණයෙන් පිටතට පැමිණි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ "අධිකරණය ගැන විශාල විශ්වාසයක්, ගෞරවයක් ඇති වුණා. ගරු විනිසුරුතුමා හරියටම අවබෝධ කර ගත්තා මේක තනිකරම කූට විදිහට හදපු උපක්‍රමශීලී නඩු නිමිත්තක් විදිහට" යනුවෙනි.

එදින පොලිස් මූලස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැක කෙරෙන දෘඩ තැටි" රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසින් සොයා ගත් බවය.

මේ අතර රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අතර සිදු වූ බව පැවසෙන දුරකතන සංවාදයක් ඇතැම් මාධ්‍ය ආයතන විසින් එදිනම පළ කරනු ලැබ තිබිණි.

එදින (ජනවාරි 05) පැවති හමුවකදී රජයේ ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ නිශාන්ත සිල්වා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග කළ සංවාද හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම දුරකතනයේ පටිගත කර තිබූ බවය.

පොලිසිය ඔහුගේ නිල නිවස වෙත ගියේ එම හඬපට භාරයට ගැනීම සඳහා බව කී අමාත්‍ය අලුත්ගමගේ " මේ සියලු දුරකතන තැටි ටික අත්අඩංගුවට ගන්න තමයි අපේ හාමුදුරුවනේ රන්ජන් රාමනායක මහත්තයාගේ ගෙදරට ගියේ. මේ අපේ පොලිසියටත් මොළේ නෑනේ. පොලිසියත් යන්නේ එක දේකට, කරන්නේ තව දෙයක්. පොලිසිය ගියේ සීඩී අත්අඩංගුවට ගන්න, කෙහෙම්මල් පිස්තෝලයක් අල්ලන් ටීවී එකට පෙන්නුවා" යනුවෙනි.

ජනවාරි 06 - දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව කරලියට

Image caption ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ දුමින්ද සිල්වා

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගයේ තීන්දුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අතර සිදු වූ බව කියන දුරකතන සංවාදයක හඬපටයක් ඇතැම් මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එදින (ජනවාරි 06) පැවති මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියා සිටියේ 'රන්ජන් රාමනායක සහ ශානී අබේසේකර අතර සිදු වූ සංවාදයක හඬපටයක්' තමන් වෙත ලැබුණු බවය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සහ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කෙරුණේ යයි පැවසෙන එම සාකච්ඡාවේ හඬපටය ඔහු සිය ජංගම දුරකතනය ඔස්සේ අසන්නට ද සැලැස්විය.

මේ අතර භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණ දඬුවම දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක් ඇයගේ උසස්වීමක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සමග කළේ යයි කියන දුරකතන සංවාදයක හඬපටයක් ද මාධ්‍ය වෙත නිකුත් විය.

දුමින්ද සිල්වාට මරණ දඬුවම දීමට බලපෑමක් එල්ල වී ඇතැයි එකී දුරකතන සංවාදය මගින් පෙනෙන්නට ඇති බව ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු ගණනාවක්ම පැවසූහ.

දුමින්ද සිල්වා වරදකරු කරමින් ඉහත කී විනිසුරුවරිය ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙස නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළහ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන සමයේ එම අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ දුමින්ද සිල්වාට ජාතික නිදහස් දින (පෙබරවාරි 04) ජනාධිපති සමාව දී නිදහස් කිරීම සඳහා පසුබිම නිර්මාණය කරන බවට ඇතැම් පුද්ගලයන් සමාජ ජාල ඔස්සේ අදහස් දක්වා තිබිණි.

ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා නිල වශයෙන් ප්‍රතිචාරයක් පළ කර නොමැත.

දුමින්ද සිල්වාට දී ඇති මරණ දඬුවම ගැන අදහස් දක්වමින් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ "භාරත මැරුණේ වහ බීලා නෙමෙයි. ඒත් එක්ක මරණයට පත් අනික් අය ඔලුවට වෙඩි තියා ගත්තා නෙමෙයි. මේකට දුමින්ද සිල්වා නිදොස් කර නිදහස් කරන්න කිසිම හේතුවක් නැහැ" යනුවෙනි.

ජනවාරි 07 - ශානිගේ වැඩ තහනම්,

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
හඬපට ගැන රන්ජන් සහ විමල් පළ කළ අදහස්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා 2020.01.07 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මුලස්ථානය වෙත මාරු කර රාජකාරි වැඩ තහනමකට ලක් කර ඇති බව එහි සඳහන් විය. ඊට හේතු ලෙස දක්වා තිබුණේ මතභේදයට තුඩු දී ඇති දුරකතන සංවාද මගින් "පොලිස් සේවය අපකීර්තියට පත් කිරීම" ය.

2005 - 2015 අතර මහින්ද රාජපක්ෂ පාලන යුගයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කෙරුණේ නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවය.

අදාළ තනතුරින් ඉවත් කළ ඔහු ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කළේය.

නිශාන්ත සිල්වා ද මතභේදයට තුඩු දුන් සිදුවීම් ගණනාවක පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස් නිලධාරියෙකු වන අතර මේ වන විට ඔහු රට හැර ගොස් සිටී. අවසරයකින් තොරව ඔහු විදේශ ගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

දේශපාලන බලපෑම් මත රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති ඔවුන්, තමන් කළේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පමණක් බව සඳහන් කර තිබිණි.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ රන්ජන් රාමනායක තමන් ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ආකාරය දැක්වෙන හඬපටයක් සමාජ ජාල ඔස්සේ සංසරණය වන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

ජනවාරි 08 - මේක බූමරංගයක්: රන්ජන්

රන්ජන් රාමනායක
BBC
රන්ජන් රාමනායකගේ නිවසේ තිබී පොලිසිය භාරයට ගත් භාණ්ඩ

  • හඬපට 127,000 ක් ඇතැයි ආණ්ඩුව පවසයි.

  • ලැප්ටොප් 02

  • හාර්ඩ් ඩ්‍රයිව්04

  • හාර්ඩ් ඩිස්ක් 05

  • ජංගම දුරකතන 01

  • තජුදීන් ඝාතනයට අදාළ ලිපිගොනු 02 ක් සහ ඩීවීඩී 164

මූලාශ්‍ර: පොලිස් මූලස්ථානය

මේ වන විට හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සහ අධිකරණ ක්ෂේත්‍රය, පොලිසියට සම්බන්ධ පුද්ගලයන් මෙන්ම දේශපාලනඥයන් සහ නිරූපන/රංගන ක්ෂේත්‍රයේ ඇතැම් පුද්ගලයන් සමග සිදු වී ඇතැයි පැවසෙන දුරකතන සංවාද ඇතුළත් හඬපට ගණනාවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත.

පසුගිය දශක දෙකක පමණ කාලයක සිට හිටපු අගවිනිසුරන් සහ නීතිවේදීන් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයන්ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය මෙන්ම මෛත්‍රිපාල - රනිල් ආණ්ඩුව යටතේ මුල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) ඇතුළු පොලිසියේ ඇතැම් ප්‍රධානීන් හැසිරුණු ආකාරය යයි සඳහන් දුරකතන සංවාදයක් ද ඒ අතර වේ.

කෙසේ නමුත් පොලිසිය හැරුණු කොට අදාළ හඬපට ඇත්තේ කුමන පුද්ගලයකු හෝ කණ්ඩායමක් සතුව දැයි යන්න අනාවරණය වී නොමැත.

මේ අතර පොලිසිය විසින් නඩු භාණ්ඩ වශයෙන් ලබා ගත් සීඩී සහ දෘඩ තැටිවල අඩංගු යයි පැවසෙන සංවාද පිටතට ගියේ කෙලෙස දැයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

එම සංවාද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ කෙසේදැයි යන්න අධිකරණයේ අවධානයට ලක් කර ඇති බව කී ඔහු "පොලිසිය විසින් සීල් කඩලා පෞද්ගලික නාලිකාවලට විකුණනවා කියල ජනතාව අතර මතයක් තිබෙනවා. නැතිනම් මේවා එක එක රිලීස් වෙන්නේ කොහොමද?. මහින්දානන්ද අලුත්ගමගේ සහ එක එක දේශපාලනඥයෝ කියනවා හඬපට ලක්ෂ ගානක් තිබෙනවා කියලා. කොහොමද එයා දන්නේ?" යනුවෙන් ප්‍රශ්න කළේය.

"සමහර සංඝයා වහන්සේලාට මේ හඬපට ලැබෙන්නේ කොහොමද? සමහර දේශපාලනඥයන්ට මේවා හම්බ වෙන්නේ කොහොමද? මේ අය සැලසුම් කරලා මේ දේ කළේ. හැබැයි මේ අය ගත්තේ බූමරංගයක්. මම ඒ ගත්ත අයට කියනවා මේක බෝම්බයක් බැඳ ගත්තා වගේ වැඩක්. මොකද මේවයේ තියෙන්නේ අල්ලස් ගන්න හැටි, දුෂණයේ යෙදෙන හැටි, කොමිස් ගන්න හැටි"

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පොලිසිය කියා සිටියේ 2020 ජනවාරි 02 බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරෙකු යම් අයෙකු සිය රථයේ අමතක වී දමා ගිය දෘඩ තැටියක් මිරිහාන පොලිසියේ පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා වෙත ගෙනවිත් භාර දී ඇති බවය.

එය පරීක්ෂා කිරීමේදී "පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් කරන ලද සංවාද විශාල ප්‍රමාණයක් පටිගතව ඇති බව පෙනී ගොස් ඇතැයි" අදාළ නිවේදනයේ දැක්වේ.

"හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු මහාධිකරණ විනිසුරු පද්මනී රණවක, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුතුමන්ලා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ නිලධාරීන් සමග සිදු කළ දුරකතන සංවාද" එහි තිබූ බව පෙනී ගොස් ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ හඬපට සමාජ ජාල වෙත මුදා හැරීමට ශ්‍රී ලංකා පොලිසියේ සම්බන්ධයක් නොමැති බව පවසන පොලිස් මූලස්ථානය "ඒවා සමාජගත වී ඇත්තේ එම දෘඩ පට සහ තැටි රන්ජන් රාමනායක සතුව තිබියදීම යයි නිරීක්ෂණය වී ඇති බව" කියා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්