පෙබරවාරි 04: ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ද?

Image copyright Getty Images

"ජාතික ගීය කියන්නේ සෑම ජාතියකට ම අභිමානයක් ගෙන දෙන දෙයක්. දෙමළ සහ සිංහල භාෂා දෙකෙන් ම ගායනා කරපු ජාතික ගීය දැන් සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරන්න යනවා කියලා සමහරු කියනවා. ඒ තුළින් වෙන්නේ දෙමළ ජනතාවගේ හිත්වල තමන් කොන් කර දාලා කියන හැඟීම නැවත වතාවක් ඇති වෙන එක."

හැත්තෑ දෙවන නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරනු ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් උතුරු පළාතේ තරුණයෙකු පළ කළ ප්‍රතිචාරයයි, ඒ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල එල්ටීටීඊ පාලනය පැවති සමයේ ජාතික ගීය සහ එය ගායනා කිරීම තහනම් කර තිබූ බව පවසන එන්. ජනගන්, ජාතික ගීය කුමන භාෂාවකින් ගායනා කළත් එය "දකුණේ ජනතාවගේ ජාතික ගීය පමණක්ය" යන අදහස එම පළාත්වල දෙමළ ජනයා අතර පැවති බව සිහිපත් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ඉන් පසුව, පසුගිය ආණ්ඩුව සමයේ ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා දෙකෙන් ම ගායනා කරන්න කියලා තීරණයකට ආවා. ඒ තීරණයත් එක්ක උතුරු නැගෙනහිර ජනතාවත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න පටන් ගත්තා. ඒක ක්‍රමයෙන් දෙමළ ජනතාවගේ සිත් තුළ තැන්පත් වුණා. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනකොට දෙමළ ජනතාවට රට ගැන යම් හැඟීමක් ඇති වුණා. මොක ද තමන් දන්න භාෂාවෙන් රටේ ජාතික ගීය ගායනා කරන නිසා.'

"දැන් උතුරු නැගෙනහිර ජනතාව ඉල්ලන්නේ දෙමළ භාෂාවෙන් ම ජාතික ගීය ගායනා කරන්න ඕන කියලයි. එල්ටීටීඊ පාලනය පැවති කාලයේ රටේ ජාතික ගීය එපා කියපු පිරිසක් දැන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න ඉල්ලනවා. ඒකෙන් ම තේරෙනවා අපේ දෙමළ ජනතාව දැන් ක්‍රමයෙන් වෙනස් වෙලා තියෙන හැටි. සිංහලෙන් ජාතික ගීය කියන කොට අපට තේරෙන්නේ නෑ. ඒ තුළින් රට ජාතිය ගැන හැඟීමක් ඇති වෙන්නේ නෑ,"

"ජාතික ගීය එපා කියපු මිනිස්සු දෙමළ භාෂාවෙන් හරි ජාතික ගීය කියන්න ඉල්ලන කොට එහි ඇති ගැඹුර තේරුම් ගන්න පාලකයන්ට හැකියාවක් නැත්නම් අපි මොකද කරන්නේ? නොතේරෙන භාෂාවකින් සිංදුවක් ඇහුවත් හැඟීමක් එනව ද? නැහැ නේද?" යනුවෙන් එන් ජනගන් වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

අගමැති ප්‍රතිචාරය

Image copyright Maithripala Sirisena
Image caption 2019 වසරේ ගාලු මුවදොර පැවති ජාතික නිදහස් දින උළෙල

2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව නිදහස් සැමරුම් උළෙලවලදී දෙමළ භාෂාවෙන් ද ජාතික ගීය ගායනා කිරීමට පියවර ගත්තේය.

2016 වසරේ සිට 2019 වසර දක්වා එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ නමුත්, 2020 පෙබරවාරි 04 පැවැත්වීමට නියමිත නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කරනු ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව 'ඩේලි මිරර්' වෙබ් අඩවිය දෙසැම්බර් 24 වන දා වාර්තා කර තිබිණි.

මේ අතර පසුගිය සතියේ (ජනවාරි 14) දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ හැත්තෑ දෙවන (72) නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළ බසිනුත් ගයනවා ද? නැද්ද? යන්න තවමත් නොදන්නා බවය.

ඔහු එසේ පැවසුවේ, "මෙවර ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කරනවා දැයි?" යනුවෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා "තාම අපට නම් කවුරුත් ඒ බව දන්වා නැතැයි," ද සඳහන් කළේය.

ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කරනු ලැබීමෙන් ජාතීන් එකිනෙකාගෙන් ඈත් වීමේ අවදානමක් පවතිනවා නොවේ දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දුන් අගමැතිවරයා, "අපි තාම දන්නේ නැහැ. ඔය පත්තරවලින් කියන දේවල් නේ. රටකට ජාතික ගී තියෙන්නේ එකයි," යනුවෙන් ද ප්‍රකාශ කළේය.

කලින් පැවති ආණ්ඩුව භාෂා දෙකෙන් ම ජාතික ගීය ගායනා කිරීමට පියවර ගත්තේ "දේශපාලන උවමනාවක් මතය "යන්න අගමැතිවරයාගේ මතය වී තිබේ.

"දේශපාලන උවමනාව අනුව ඔයාලාගේ ඡන්ද ගන්න ජාතික ගීය දෙමළෙන් කිව්වා. ඒක දේශපාලන උපක්‍රමයක්."

කෙසේ නමුත් ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කිරීමට රජයක් වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව කී අගමැතිවරයා, දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් විවිධ මත දැරුව ද, එය ආණ්ඩුවේ තීන්දුවක් වශයෙන් විග්‍රහ කළ නොහැකි බව කියා සිටියේය.

සමතැන

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල සහ දෙමළ යන භාෂා දෙක ම රාජ්‍ය භාෂා ලෙස පිළිගනු ලැබ ඇත.

නිදහස් සැමරුම් උළෙලේදී ජාතික ගීය සිංහල බසින් පමණක් ගයනු ඇතැයි වාර්තා පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රබල සංවාදයක් හට ගෙන තිබිණි.

මෑත කාලයෙහි ජාතික ගීය මුල් කර ගනිමින් මතභේද හටගත් පළමු අවස්ථාව මෙය නොවේ.

2016 වසරේ පැවති නිදහස් දින උළෙලේදී පළමු වරට ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුර දිග ගියේය.

ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම හේතුවෙන් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා කැලණිය ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නොමැති බව 2016 නොවැම්බර් 18 දින ප්‍රකාශ කළේය.

"භාෂා දෙකක් නම් එක් රටක් - එක භාෂාවක් නම් රටවල් දෙකක්"

Image copyright Getty Images
Image caption බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා දින හයකට පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාව

ශ්‍රී ලංකාව 1948 වසරේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද නමුත් 1956 දක්වා රාජ්‍ය භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවය.

1956 වසරේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කළ රාජ්‍ය භාෂා පනත මගින් සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව බවට නීතිගත කරනු ලැබිණි.

එවකට ප්‍රධාන වාමාංශික පක්ෂ දෙක වූ ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සෘජුව එම පිළිවෙතට දැඩි විරෝධය පළ කළ අතර සිංහල සහ දෙමළ භාෂා ද්වය රාජ්‍ය භාෂාව ලෙස පිළිගත යුතු බව ඔවුන්ගේ යෝජනාව විය.

"භාෂා දෙකක් නම් එක් රටක් - එක භාෂාවක් නම් රටවල් දෙකක්" යන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ඓතිහාසික ප්‍රකාශය මගින් 'සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක' පෙන්වා දෙනු ලැබිණ.

ඉන් වසර විසි දෙකකට පසු එනම් 1978 වසරේ සම්මත කරන ලද 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' මගින් සිංහල සහ දෙමළ භාෂා ද්වය රාජ්‍ය භාෂා ලෙස පිළිගනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ ඉතිහාසය

ජාතික ගීය
Getty
ශ්‍රී ලංකා ජාතික ගීය

  • ආනන්ද සමරකෝන් එහි නිර්මාතෘවරයාය

  • මුල් ගීතය දෙමළ බසට පරිවර්තනය කළේ එම් නල්ලතම්බි

  • ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථානුකූල

  • බවශ්‍රේෂ්ඨාධිකරණය

  • තීන්දු කළේ 2016 වසරේදීය

e-thaksalawa.moe.gov.lk

ජාතික ගීය යනු, යම් රටකට හෝ ජාතියකට පක්ෂපාතීත්වය පෙන්නුම් කරන දේශානුරාගය දැන්වීම සඳහා රටක් හෝ ජාතියක් විසින් නිල වශයෙන් පිළිගන්නා ලද ගීතයකි.

යටත් විජිත පාලන සමයෙහි ශ්‍රී ලංකාව (එවක Ceylon) ඇතුළුව සියළු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ජාතික ගීය වශයෙන් ගැයුණේ "God save the King/Queen" බ්‍රිතාන්‍ය ජාතික ගීයයි.

1947 දී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සහ 1948 දී දේශපාලන නිදහස ලැබීමෙන් පසුවත් ශ්‍රී ලංකාවට පිළිගත් ස්වදේශික ජාතික ගීයක් නොතිබිණි. ජාතික ගීයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුණේ 'ලංකා ගාන්ධර්ව සභාවටය'. ඒ සඳහා තරගයක් පැවැත්වුණු අතර සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා මණ්ඩලයක් පත් කෙරිණි.

අදාළ මණ්ඩලය විසින් ජාතික ගීය වශයෙන් එක් ගීතයක් තෝරා ගනු ලැබූ අතර, එය රචනා කළ පී.බී ඉලංගසිංහ සහ එය සංගීතවත් කිරීම පැවරුණ ලයනල් එදිරිසිංහ එම මණ්ඩලයේම සාමාජිකයන් වීම මතභේදයට තුඩු දුන් කරුණක් විය. එම ගීය ආරම්භ වූයේ "ශ්‍රී ලංකා මාතා/පාලා යස මහිම/ජය ජය" යනුවෙනි.

තරගය සඳහා ඉදිරිපත් කර තිබූ කවියෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ප්‍රචලිත ආනන්ද සමරකෝන් විසින් රචිත "නමෝ නමෝ මාතා" ගීය ජයග්‍රහණය නොකළ ද, එය ජනතාව අතර ප්‍රචලිත විය. ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිනොගෙන තිබූ නමුත් එය ගුවන් විදුලිය ඔස්සේ අසන්නට ලැබිණි.

වැඩි දෙනෙකු අතර ජනප්‍රිය වූ "නමෝ නමෝ මාතා" ගීය නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලා 1950 වසරේ දී එවක මුදල් ඇමතිවරයා වූ ජේ.ආර් ජයවර්ධන කැබිනට් පත්‍රිකාවක් යොමු කළේය. එවක අගමැතිවරයා වූ ඩී.එස් සේනානායක ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා වූ ශ්‍රීමත් ඊ.ඒ.පී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර "නමෝ නමෝ මාතා" ගීය ජාතික ගීය විය යුතු බව එම කමිටුව විසින් තීරණය කරනු ලැබීය.

ආනන්ද සමරකෝන්ගේ එකඟත්වය ඇතිව එහි යම් වෙනස්කම් සිදු කෙරුණු අතර, 1951 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් "නමෝ නමෝ මාතා" ගීය ජාතික ගීය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස නිර්දේශ කෙරිණි. ඊට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය.

ඩී.එස් සේනානායක ප්‍රමුඛ ආණ්ඩුවේ සිටි ජී.ජී. පොන්නම්බලම් සහ සී. සිත්තම්බලම් යන කැබිනට් ඇමතිවරුන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් වීමට පෙරම "නමෝ නමෝ මාතා" ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර නිල වශයෙන් පිළිගත යුතු යයි අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක ප්‍රකාශ කළ බව පැවසේ. එය දෙමළ බසට පරිවර්තනය කරනු ලැබුවේ කොළඹ සහිරා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ පණ්ඩිත් එම්. නල්ලතම්බි විසිනි. ඒ අනුව දෙමළ බහුතරය වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල "නමෝ නමෝ තායේ" ලෙස ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආරම්භ විය.

1961 වසරේදී "නමෝ නමෝ මාතා" යන්න "ශ්‍රී ලංකා මතා" යනුවෙන් වෙනස් කෙරුණේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වූ ආනන්ද සමරකෝන්ගේ දැඩි විරෝධය හමුවේය.

පසුව ඔහු සියදිවි හානිකර ගත්තේ ඔහුගේ විරෝධය නොතකා ජාතික ගීයේ සිදු කළ වෙනස්කම නිසා යයි මතයක් පවතී.

ජනාධිපතිවරණයෙන් පසු

නොවැම්බර් 16 වන දා පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බහුතර සිංහල බෞද්ධ ජන පදනමක් සහිත ප්‍රදේශ ජයග්‍රහණය කළ අතර, උතුරු සහ නැගෙනහිර, දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවන් වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල වැඩි ඡන්ද ලබා ගෙන තිබුණේ ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසය.

ජනාධිපතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී බහුතර සිංහල බෞද්ධ ජනයා සහ සෙසු ජනවර්ග අතර පැහැදිලි බෙදීමක් දක්නට ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය නතර කිරීමක් පිළිබඳව සංවාදයක් පවතින අතරවාරයේ ජනවාරි 07 වෙනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් 'නොබෙදුණු සහ නොබෙදිය හැකි රටක සමාන පුරවැසි අයිතිවාසිකම් ඇතිව සමාන පුරවැසියන් ලෙස දිවි ගෙවීමට දෙමළ ජනයා තවමත් සූදානම් බව' කියා සිටියේය.

"රටක නායකයාගේ ජනප්‍රියත්වය පිළිබඳ පරීක්ෂාව යනු, ඔහුගේම මිනිස්සු ඔහු වෙත තබා ඇති විශ්වාසය නොව, අනෙක් පුද්ගලයන් ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට සූදානම් ද? යන කාරණයයි," පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් සඳහන් කළේය.

රුවන්වැලි මහා සෑය අබියසදී සිය පදවියේ දිව්රුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 'බහුතර සිංහල බෞද්ධ ප්‍රජාව තමාට ඡන්දය ලබා දීම පිළිබඳ කෘතවේදීත්වය පළ කරමින්, තමාට ඡන්දය ලබා නොදුන් පුද්ගලයන් ද ඇතුළුව තමා රටේ සියලුම පුරවැසියන්ගේ ජනාධිපතිවරයා' යයි ප්‍රකාශ කළේය.

සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසන්නේ, සෙසු ප්‍රජාවන්ගේ විශ්වාස දිනා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ද අවබෝධයෙන් පසුවෙන්නේ යයි ඔහුගේ එම ප්‍රකාශයෙන් පෙනී යන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්