චීනයේ 'යුවාන්' මුදල් නෝට්ටු සැරසූ රියැදුරු ලිය දිවියෙන් සමුගනී

Image copyright WEIBO
Image caption ලියෑන් ජුන් (Liang Jun) ගේ රුව රැගත් යුවාන් නෝට්ටුවක පින්තූරයක්

ට්‍රැක්ටර් රියැදුරු වෘත්තියට අවතීර්ණ වූ පළමු චීන කාන්තාව අනූ වියේදී (90) දිවියෙන් සමුගත්තාය.

ලියෑන් ජුන් (Liang Jun) නම් එම ට්‍රැක්ටර් රියැදුරු කාන්තාව චීනයේ ජාතික සංකේතයක් ලෙස පුදන ලද වීරවරියකි.

රියැදුරු පාසලකින් පුහුණුව ලද ලියෑන් ජුන් 1948 වසරේ සිය රැකියාව ලෙස ට්‍රැක්ටර් රියැදුරු වෘත්තිය තෝරා ගත්තාය.

එයින් වසර දහයකට අධික කාලයකට පසු , ඇය සාඩම්බරයෙන් ට්‍රැක්ටරයක් පදවන ආකාරය දැක්වෙන පින්තූරයක් චීනයේ 'යුවාන්' මුදල් නෝට්ටුවකට ඇතුළත් කරනු ලැබිණි.

"මට වගේ වෙනත් කිසිවෙකුට වාහන පදවන්න බැහැ" ලියෑන් ජුන් එක් සාකච්ඡාවක දී සඳහන් කළාය.

"මගේ මේ රැකියාව ගැන මට කනගාටුවක් නැහැ"

දුප්පත් කෙල්ලක්

ලියෑන් ජුන් 1930 වසරේ දිළිඳු පවුලක දරුවකු ලෙස උපත ලබා ඇත්තේ 'Heilongjiang' ප්‍රාන්තයේය.

ඇය සිය ළමාවියේ දී ගොවිපොලක වැඩට යන අතරවාරයේ ග්‍රාමීය පාසලකට ඇතුළත්ව අධ්‍යාපනය ලැබුවාය.

'Heilongjiang' ප්‍රදේශයෙහි පාසලක් 1948 දී ට්‍රැක්ටර් රියදුරන් පුහුණුකිරීමේ පාඨමාලාවක් ආරම්භ කළ අතර ඇයද එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තාය.

Image copyright WEIBO
Image caption ලියෑන් ජුන් ට්‍රැක්ටර් රියැදුරු වෘත්තීය තෝරා ගත්තේ වයස අවුරුදී දහඅටේදීය

එම රියැදුරු පාසලේ සිසුන් හැත්තෑවක් සිටි අතර ඔවුන් අතර සිටි එකම කාන්තාව ලියෑන් ජුන් බව චීන මාධ්‍ය වාර්තා කරයි.

රියැදුරු පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ලියෑන් ජුන්, චීනයේ පළමු ට්‍රැක්ටර් රියැදුරු කාන්තාව ලෙස එම වසරේදීම සිය රැකියාව ආරම්භ කර ඇත.

එයින් වසරකට පසු චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාඕ සේතුං විසින් 1949 දී මහජන චීන ජනරජය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

පැල්පතින් පටන් ගත් දිගු ගමන

විප්ලවයට පෙර චීන සමාජය විසින් ගෞරවයෙන් වැළඳගන්නා ලද්දේ ඉහළ පැලැන්තියේ ප්‍රභූන් , කවියන් සහ යුද හමුදා නායකයන් වැනි විශේෂ චරිතවලට හිමිකම් කියන පුද්ගලයන්ය.

එහෙත් 1949 දී කොමියුනිස්ට්වාදීන් අතට රටේ සමාජ බලය හුවමාරුවීමත් සමඟ අලුත් වීරයන්ගේ පැලැන්තියක ප්‍රභවය ද සිදුවිය. ඔවුන් "ආදර්ශමත් කම්කරුවන්ය"

1917 දී ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ස්ථාපනය කරන ලද සෝවියට් සංගමයේ ඒවනවිටත් එම ආදර්ශමත් කම්කරුවන් පිළිබඳ සංකල්පය භාවිතයට ගනිමින් තිබිණි.

සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීමෙහි ලා කැප වූ, දිළිඳු සමාජ පසුබිමක් සහිත අතිශය දුෂ්කර කාර්යයන්හි නිරතවෙන ශ්‍රමිකයන් සෙස්සන් විසින් අනුගමනය කළ යුතු චරිත ලෙස අභිනව චීන පාලනය මගින් ද හඳුන්වා දෙනු ලැබිණි.

ඔවුන් අතරට මුලින් ම ඇතුළත් වූ ලියෑන් ජුන් රියැදුරු කත චීන සමාජයේ නම ප්‍රසිද්ධ පරමාදර්ශී ශ්‍රමික කාන්තාවක් බවට පත් වූවාය.

සිනාමුසු මුහුණින් යුතුව ට්‍රැක්ටරයක් පදවමින් සිටින ලියෑන් ජුන්ගේ රුව මුද්‍රිත 'යුවාන්' නෝට්ටුව ජනතාව අතර ගැවසීමත් සමඟ චීන සමාජයේ වෙනත් පුද්ගලයන් ද එවැනි උසස් ජයග්‍රහණ දිනා ගැනීම සඳහා ආශ්වාදයක් ලබනු ඇතැයි සැලකුණි.

Image copyright WEIBO
Image caption මහලු වියේදීත් සිනාමුසුව ට්‍රැක්ටරයක් පදවන ලියෑන් ජුන්

ලියෑන් ජුන් අභිභවනය කරන ලද්දේ හුදෙක් පංති පරතරය පමණක් නොවේ. ඇය බාධක බිඳිමින් පෙරට යාමේ ශක්‍යතාව ප්‍රදර්ශනය කෙරෙන සමස්ත චීන කාන්තා පරපුරෙහි සංකේතයක් බවට පත්වූවාය.

පෞද්ගලික මට්ටමින් ද ඇය සියලු සමාජ අවස්ථාවලින් ඵල නෙලා ගැනීමට සමත්වූවාය. දිළිඳු පවුල් පසුබිමකින් සමාජයට පිය තැබූ ලියෑන් ජුන් පසුකාලයෙහි ඉංජිනේරුවරියක් වූ අතර අනතුරුව දේශපාලන ලෝකයට ද පිවිසුණාය.

කොමියුනිස්ට් පක්ෂයට

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් ලියෑන් ජුන්, ඉන් අනතුරුව කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර පිළිබඳව හැදෑරීම සඳහා 'බේජිං' නගරයේ පාසලකට යවනු ලැබිණි.

එම පාඨමාලාව අවසානයේ දී ආපසු සිය ජන්ම භූමිය වූ 'Heilongjiang' ප්‍රාන්තයට පැමිණි ලියෑන් ජුන් කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර පර්යේෂණ අංශයේ සේවයෙහි නිරත කරවනු ලැබිණි.

ඇය ට්‍රැක්ටරයක් පදවන දර්ශනය ඇතුළත් 'යුවාන්' නෝට්ටුව නිකුත් කරන ලද්දේ 1962 වසරේ දීය.

මුදල් නෝට්ටුවලට පමණක් නොව චීනයේ පාසල් පාඩම් පොත්පත් වලටත් 'ලියෑන් ජුන්'ගේ කතාව ඇතුළත් කරනු ලැබ ඇත. ඇයගේ කතන්දරය තවත් බොහෝ කාන්තාවන් ට්‍රැක්ටර් රියැදුරු පදවි සඳහා යොමුවීම සඳහා දිරිගැන්වීමක් ඇති කරනු ලැබිණි.

කලක් රෝගාතුරව සිට දිවියෙන් සමුගත් ඇය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ ශෝකය පළ කරමින් ලියන ලද ප්‍රකාශනයක මෙසේ දැක්වේ.

"ලියෑන් ජුන් දුෂ්කර කාර්යභාරයක් ඉටුකළා. ඇය ඇගේ පරපුරේ වීරවරියක්. අපි ඔබට උපහාර පුදන්නෙමු "

කියවන්න;