මාධ්‍යවේදීන්ට 'මරණ තර්ජන': අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක

Image copyright Getty Images
Image caption මාධ්‍ය නිදහස වෙනුවෙන් පැවති විරෝධතාවක්

මාධ්‍යවේදීන් වෙත සිදු කරනු ලබන තර්ජන නවතා මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස ඉල්ලා අතුරුදහන් වූවන්ගේ ඥාතීහු සඳුදා (ජනවාරි 27) වව්නියාව නගරයේදී විරෝධතාවක නිරත වූහ.

එය සංවිධානය කර තිබුණේ මඩකලපුව ප්‍රදේශයේ දෙමළ මාධ්‍යවේදීන් හත් දෙනෙකු මරා දමන බව සඳහන් කරමින් ලැබී ඇතැයි පැවසෙන තර්ජනාත්මක අත්පත්‍රිකා මුල් කර ගනිමිනි.

ශ්‍රී ලංකාව තුළ අතුරුදහන් වූවන්ගේ දුක්ගැනිවිලිවලට හඬක් වන එකම කණ්ඩායම මාධ්‍යවේදීන් බව පවසන අතුරුදහන් වූවන්ගේ ඥාතීහු ඔවුන්ට එරෙහිව එල්ල වන තර්ජන නවතා දැමීමට කටයුතු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඒ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මූලස්ථානය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවය. අදාළ පත්‍රිකා සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකු වැඩිදුරටත් පැවසීය.

පසුබිම

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මලෙනය (IFJ) නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජනවාරි 23 වෙනිදා මඩකලපුව මාධ්‍ය සමාජයේ ගොඩනැගිල්ල සහ අසල පිහිටි බස්නැවතුම්පොළක ඉහත කී අත්පත්‍රිකා තබා ගොස් තිබුණු බවය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මරා දැමුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පැවති ගුණ සමරුවකට එම මාධ්‍යවේදීන් හත් දෙනා සහභාගි වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් අදාළ අත්පත්‍රිකාවල මුද්‍රණය කර ඇති බව මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අදාළ මාධ්‍යවේදීන්ට "විදේශ ගත වී සිටින කොටින්ගෙන් මුදල් ලැබෙන බව සහ ඔවුන් රජයට විරුද්ධව කටයුතු කරන" බව සහ "ඔවුන් මරා දමන බවට තර්ජනය කර" ඇති බවත් අත්පත්‍රිකාවේ දෙමළ බසින් සඳහන් යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

"මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල කෙරෙන තර්ජන අප හෙළා දකිනවා. ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය වැඩිදුරටත් කියා සිටී.

මේ අතර ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ "නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ද තර්ජනයක් විය හැකි අදාළ සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා වහා පරීක්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දැන ගැනීමට සලස්වන," ලෙසය.

"කෙබඳු පසුබිමක් යටතේ කුමන පාර්ශවයක් විසින් එල්ල කරනු ලබන තර්ජනයක් වුව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකන්නේ එය, මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කර ගෙන යාමට එල්ල වන බාධාවක් වශයෙනි" යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

දෙමළ මාධ්‍යවේදීන් වෙත ලැබී ඇතැයි පැවසෙන තර්ජනාත්මක අත්පත්‍රිකා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ඇමතූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් වෙත මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවය. ඒ පිළිබඳ විමසීම සඳහා කැබිනට් සම ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවක් උත්සාහ කළ ද එම උත්සාහය සාර්ථක නොවීය.

තමන්ට එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව පැවසීය.

Image caption අතුරුදහන් වූවන්ගේ ඥාතීන්

ජාත්‍යන්තර අවධානය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මෑත කාලය තුළ අවධානය යොමු වූ පළමු අවස්ථාව මෙය නොවේ.

"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර, බිය ගැන්වීම් සහ පහරදීම් සම්බන්ධයෙන්" පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී ඇතැයි පසුගිය ජනවාරි 16 වෙනිදා නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සඳහන් කළේය.

2019 මැයි මස සිට 2020 ජනවාරි මස දක්වා කාලය තුළ මානව හිමිකම් සහ මාධ්‍ය ආයතන පූර්ව දැනුම්දීමකින් තොරව බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇතැයි තමන් වෙත වාර්තා වී ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩිදුරටත් කියා සිටී.

එම සිදුවීම් හිරිහැර සහ බිය වැද්දවීම් ලෙස පෙනී යන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මාධ්‍යවේදීන්පහර දුන් බවට වාර්තා

ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු සහ ඔහුගේ බිරිඳ අලුත්ගමදී පහර දීමකට ලක්ව ඇති බවට දෙසැම්බර් 06 වෙනිදා වාර්තා පළ විය. ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් පිළිබඳ පුවතක් වාර්තා කිරීම ප්‍රහාරයට හේතු වී ඇති බවක් වාර්තා විය.

රජයට අයත් ලේක් හවුස් මාධ්‍ය ආයතනයේ හිටපු නව මාධ්‍ය අංශ (New Media) ප්‍රධානියාට පහර දී නැවත එහි නොඑන ලෙස තර්ජනය කර ඇති බව දෙසැම්බර් 10 වෙනිදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රහාරය සිදුවන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැකගත හැකි විය.

මාධ්‍ය ආයතන සෝදිසියට

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ අපහාසාත්මක අන්තර්ගතයන් තිබේ දැයි සොයා පොලිසිය නොවැම්බර් 26 වෙනිදා නිව්ස්හබ් මාධ්‍ය ආයතනය සෝදිසියට ලක් කර තිබිණි.

ද ලීඩර් සහ වොයිස් ටියුබ් නමැති මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු නොවැම්බර් මස රහස් පොලිසියට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබිණි.

ඉහත කී තත්වය සලකා බලා, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා කටයුතු කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

අතුරුදහන් වූවෝ

Image copyright pmdnews.lk
Image caption ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් අතර පැවති හමුව

මේ අතර යුද සමයේ අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කළ ප්‍රකශය විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (ICJ) අවධානයට ලක් විය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් (Hanaa Singer) සහ ජනාධිපතිවරයා අතර පසුගිය ජනවාරි 17 වෙනිදා පැවති හමුවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ "අතුරුදහන් වී සිටින පුද්ගලයන් ඇත්ත වශයෙන්ම මිය ගොස් ඇතැයි" ජනාධිපතිවරයා පැහැදිලි කළ බවය.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) පවසා තිබුණේ බලහත්කාරයෙන් අතුරුදහන් කර වීමේ අපරාධයේ වින්දිතයන් බවට පත්වූ බොහෝ දෙනා ද ඇතුළත් "ආගිය අතක් නොමැති පුද්ගලයන්" පිළිබඳ තත්ත්වය "අහිතකර ආකාරයෙන් විග්‍රහ කරමින්" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළ කළ අදහස් සම්බන්ධයෙන් බිය පළ කරන බවය.

"විශේෂයෙන් සන්නද්ධ අරගලයක් අතරතුර ආගිය අතක් නොමැති පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වසනීය විමර්ශනයක් නොපවත්වා ඇති පසුබිමක ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් එවැනි අනුකම්පා විරහිත ප්‍රකාශනයක් පිළිබඳ ඇසීමට ලැබීම බියකරුයි," යනුවෙන් විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසමේ ආසියානු ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂක ෆෙඩ්‍රික් රෝස්කි පවසා තිබිණි.

ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ අරගලය නිමා වූ සැනින් 20,000 ක පමණගේ ඉරණම සහ ඔවුන් සිටින්නේ කොතැනක දැයි යන්න දැන ගැනීමට ලැබී නැතැයි වාර්තා වී ඇති බව ද විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම සිකුරාදා (ජනවාරි 24) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු බලහත්කාර අතුරුදහන් කරවීම්වලට ලක්වී, නීති විරෝධී ලෙස ඝාතනය වී සහ/හෝ ජාත්‍යන්තර නීතිය යටතේ සැලකෙන අපරාධයන්ට හසුව ඇතැයි සැක කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපති කාර්යාලයේ ප්‍රතිචාරය

Image copyright President's Media Division
Image caption ජනාධිපති කාර්යාලය සිකුරාදා නිකුත් කළ නිවේදනය

මේ අතර සිකුරාදා නිවේදනයක් නිකුත් කරන ජනාධිපති කාර්යාලය පවසන්නේ, අතුරුදහන්ව සිටින පුද්ගලයන්ට මරණ සහතික නිකුත් කිරීමට පෙරාතුව අත්‍යවශ්‍ය විමර්ශන පවත්වන බවට ජනාධිපතිවරයා කළ සඳහන බොහෝ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් "හිතා මතා හෝ නොදැනුවත්ව" වාර්තා කොට නොමැති බවය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් ඒ අවස්ථාවේ අතුරුදහන්ව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගැන කිසිදු සඳහනක් නොකළ බව ද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති කාර්යාලය අවධාරණය කරන්නේ, අතුරුදහන්ව සිටින 20,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇතැයි ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක පිළිනොගත් බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර