ශ්‍රී ලංකාව: "පොලිසිය, හමුදාව කියල දෙකක් තිබෙන්නේ රාජකාරි වෙනස් නිසා"

Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා හමුදාව (සංරක්ෂිත ඡායාරූපයක්)

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවට ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල රාජකාරි කටයුතුවල නියැලීමට අවශ්‍ය බලතල ලබා දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2019 දෙසැම්බර් 19 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ, 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පවරා තිබෙන මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව යෙදවීමේ බලය යටතේය.

රටේ සාමය පවතින කාල වකවානුවක නීතිය හා සාමය පවත්වා ගැනීම පිණිස හමුදාව කැඳවීම ඇතැම් නීතිවේදීන්ගේ සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ විවේචනයට ලක්ව තිබෙන අතර, වත්මන් ආණ්ඩුවේ බලධාරීන් ද විපක්ෂයේ සිටියදී එය ප්‍රබල විවේචනයට ලක් කිරීම ද විශේෂත්වයකි.

"පොලිසිය සහ හමුදාව කියල දෙකක් තිබෙන්නේ ඒ ආයතන දෙකට වෙන් වුණ රාජකාරි තිබෙන නිසා. එහෙම නැත්නම් අපිට පොලිසිය හරි හමුදාව හරි කියලා එකක් හදන්න තිබුණා," නීතිඥ රිවිහාර පින්නදූව පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ, පවතින දේශපාලන තත්ත්වය සහ අධිකරණයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරුණ නීතිඥවරුන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

Image copyright Facebook/RiviharaPinnaduwa
Image caption නීතිඥ රිවිහාර පින්නදූව

හමුදාවට පොලිස් බලතල දීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රිවිහාර පින්නදූව, "ජනපතිට හැකියාව තිබෙනවා යම් විශේෂ අවස්ථාවක විශේෂ බලතලවලට යටත්ව, යම් කාලසීමාවක් සඳහා හමුදාවට පොලිස් බලතල දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන්න. යම් ප්‍රදේශයක කැරලිකාරී තත්ත්වයක් තිබෙනවා නම් එය මැඩපැවැත්වීම සඳහා විශේෂ ගැසට් පත්‍රයකින් ඒ ප්‍රදේශයට අදාළව හමුදාවට පොලිස් බලතල ලබා දෙනවා," යනුවෙන් ද පැවසීය.

"නීතිය එක්ක කරන සෙල්ලමක්"

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව, මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගත්තේය.

හමුදා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන ලෙස රාජකාරි කටයුතුවල යෙදෙවන බව ජනපති අත්සනින් යුතු නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

"මේ ගැසට් නිවේදනයේ තිබෙන බරපතළකම නිසා ම තමයි එයට යම් සීමා පනවලා තිබෙන්නේ. නමුත්, දැන් වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනය නිකුත් කිරීමක්. එයට වෙරළබඩ පරිපාලන දිස්ත්‍රික්කත් අදාළ නිසා මුහුදු කලාපයේ රාජකාරිත් හමුදාවට අයත් වෙනවා," යැයි නීතිඥ රිවිහාර පින්නදූව පැවසීය.

"මේ ගැසට් නිවේදන දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට කාලය ඉවර වුණා ම ආයේ ගැසට් එකක් දාලා කාලය දික් කර ගන්නවා. මෙය නීතිය එක්ක කරන සෙල්ලමක්."

"නීතිය හදන සහ රැකිය යුතු අය මයි මේ සෙල්ලමේ යෙදිලා ඉන්නේ. ප්‍රශ්නය නම් මෙය කොතනින් නතර වේවි ද කියන එකයි," නීතිඥවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Image copyright Getty Images
Image caption විරෝධතාවක් පාලනය කිරීමට පොලිසිය යෙදවූ අවස්ථාවක් (සංරක්ෂිත ඡායාරූපයක්)

'12වන වගන්තිය'

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියේ දැක්වෙන්නේ, යම් ප්‍රදේශයක මහජන ආරක්ෂාව තර්ජනයට ලක් වී තිබෙන බවට හෝ එලෙස තර්ජනයට ලක් වීමේ අවදානමක් තිබෙන බවට ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් සහ එබඳු තත්ත්වයක් පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නම්, එබඳු අවස්ථාවක හමුදාව කැඳවීමට ජනාධිපතිට බලය ඇති බවය.

මෙම වගන්තියට අනුකූලව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් හමුදාවට පොලිස් බලතල ලබා දීමට ජනාධිපතිවරයාට බලය පවතී.

ඒ අනුව, හදිසි සෝදිසි කිරීම් මෙන්ම අත්අඩංගුවට ගැනීමේ බලය ද හමුදාවට පැවරේ.

යුදමය ක්‍රියා සඳහා පුහුණු වී ඇති හමුදාව සහ මහජන සාමය, ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා පුහුණු වී ඇති පොලිසියේ රාජකාරි වෙනස් වීම යහපත් තත්වයක් නොවන බව බොහෝ ක්‍රියාධරයන්ගේ අදහසය.

මෑතකදී සිදු වූ සිද්ධි කීපයක් මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු පාසල් අවට ආරක්ෂාව සඳහා හමුදා සාමාජිකයන් යොදවනු ලැබිණ. සිය දරුවා කැටුව යෑමට ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පාසලකට පැමිණි පියෙකු මෙසේ ආරක්ෂාවට සිටි හමුදා සාමාජිකයෙකු සමඟ බහින්බස් වීමකින් පසු සිදු වූ වෙඩි තැබීමකින් පියා මිය ගියේය.

පිරිසිදු පානීය ජල අයිතිය ඉල්ලා දියත් කෙරුණු රතුපස්වල මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය මැඬලීමට හමුදාව යෙද වූ අවස්ථාවේ හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තිදෙනෙකු මරණයට පත්විය.

"සමාජය කතා කරන්නේ ජනප්‍රිය මාතෘකා විතරයි. මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ක්‍රියාවලීන් ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. හෙට දවසේ දී මේ දේවල් නිසා විශාල ඛේදවාචක සිදු වෙන්න පුළුවන්."

"ඉතිහාසය බැලුවාම ඛේදවාචක පටන්ගත්තේ මේ වගේ පොඩි දේවල්වලින්. නමුත් මිනිස්සු මේවට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ ඛේදවාචකය සිදු වුණාට පස්සේ," නීතිඥ රිවිහාර පින්නදූව පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

වර්තමානයේ බලපැවැත්වෙන ගැසට් නිවේදනයේ පසුබිම

2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මහජන සාමය ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යෙදවීම නැවත ආරම්භ කරනු ලැබිණ.

එම ප්‍රහාරයෙන් පසු රට පුරා බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කළේය. නමුත් 2019 අගෝස්තු මස වන විට හදිසි නීතිය ඉවත් කිරීමට එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළේය.

Image copyright Getty Images
Image caption රතුපස්වල මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය මැඬලීමට හමුදාව යෙද වූ අවස්ථාව

නමුත් ඉන් අනතුරුව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට රාජකාරි කටයුතු බාර දීමට එවක ජනාධිපතිවරයා පියවර ගත්තේය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දෙසැම්බර් මස අදාළ ගැසට් නිවේදනයේ කාල සීමාව තවදුරටත් දීර්ඝ කළේය.

"මිලිටරි පාලනයක් නෙමෙයි"

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය නොවැම්බර් මස මාධ්‍ය අමතමින් පැවසුවේ, පොලිසියේ රාජකාරි සඳහා හමුදාව යෙදවීමෙන් මිලිටරි පාලනයක් බලාපොරොත්තු නොවන බවය.

"අපි මිලිටරි පාලනයක් ගෙන යන්න සූදානම් වෙනවා කියලා මිනිසුන් අතර බියක් ඇති කරන්න උත්සහ කර තිබෙනවා. නමුත් මිනිස්සු මේ ගැන තේරුම් අරගෙන ඉන්නේ. හමුදාව යොදාගන්නේ රට තුළ පාලනය කරගත නොහැකි තත්වයක් උදා වුණොත් පමණයි," ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Image copyright documents/gov.lk

"අපිත් විරුද්ධයි"

සාමය පවතින කාල වකවානුවක දී යුද හමුදාවට පොලිස් බලතල ලබා දීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් 2018 වර්ෂයේ දී විපක්ෂය නියෝජනය කරන විට පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

"නීතිය හා සාමය ආරක්ෂා කිරීම, රට තුළ විනය පවත්වාගෙන යෑමට පොලිසියට අනුයුක්තව විශේෂ කාර්ය බළකාය පිහිටුවා තිබෙන නිසා ක්ෂේත්‍රයේ වගකීම ඉටු කිරීමට පොලිසියට නොහැකිවීම ගැටලුවක්" යැයි මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේය.

ඒ අතර, එවක විපක්ෂ නායක පදවිය හෙබැවූ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ 2018 අගෝස්තු මස පැවති ආචාර්ය රිචඩ් පතිරණ අනුස්මරණ උත්සවය අමතමින් පැවසුවේ, "අවුරුදු 150කට වැඩි කාලයක් පොලිසිය සිදු කරන රාජකාරිවලට හමුදාව යොදවන්න ආණ්ඩුව නීති හදලා වෙනත් පාලන ක්‍රමයකට යොමු වෙමින් ඉන්නවා," යනුවෙනි.

Image copyright Getty Images

"නීතියට විරුද්ධව එෆ්.සී.අයි.ඩී නම් ආයතනයක් හදලා පොලිසිය සිදු කරන සාමාන්‍ය රාජකාරි වෙනුවට එෆ්.සී.අයි.ඩී හරහා නීතියට පටහැණි ක්‍රියා සිදු කරනවා," යැයි එවක පැවති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ මහින්ද රාජපක්ෂ පැවසුවේය.

"මේ සියල්ල දිහා බලන කළ ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටෙන් ඈත් වෙලා," ඔහු තවදුරටත් පැවසුවේය.

"ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැහැ"

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය පදවියක් දැරිය නොහැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව අමාත්‍යවරුන් පත්කරන ලද අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයා පදවිය ද දරන බව මුලින්ම පළ වූ වාර්තාවල දැක්වුණ නමුත්, පසුව එය වෙනස් කොට තිබුණි.

ඒ අනුව වර්තමානයේ කිසිවෙකුත් ආරක්ෂක අමාත්‍ය පදවියට පත්කොට නැත. චමල් රාජපක්ෂ අමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද පත්කරනු ලැබ තිබේ.

මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට පසුගිය සතියේ කියා සිටියේ, ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින බවය.

ආරක්ෂාව පිළිබඳව සුදුසුකම් ඇති පුද්ගලයෙකු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසින් පත්කර ඇති හෙයින් ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති බව ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

තවත් තොරතුරු: