කොරෝනාවෛරසය: 'භීතියක්' පතුරුවන බවට චීනය ඇමරිකාවට චෝදනා කරයි

Image copyright Getty Images
Image caption සහාය දෙනවා වෙනුවට එක්සත් ජනපදය "භීතිය පතුරුවන" බව චීනය පවසයි

මාරක කොරෝනාවෛරසය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයෙන් අනවශ්‍ය "භීතියක්" මවා ඇති බවට චීන ආණ්ඩුව එක්සත් ජනපදයට චෝදනා කරයි.

මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති එක්සත් ජනපදය පසුගිය සති දෙක තුළ චීනයේ සංචාරය කළ විදේශීය ජාතිකයන්ට රට තුළට ඇතුළුවීම වළකා ඇත. චීන ආණ්ඩුව විසින් ඉහත කී ආකාරයේ චෝදනාවක් කරනු ලැබුවේ එවැනි පසුබිමකදීය.

චීනය තුළ 17,000 අධික සංඛ්‍යාවකට කොරෝනාවෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. 361 දෙනෙකු ඉන් මරණයට පත්ව ඇත.

චීනයෙන් පිටත කොරෝනාවෛරසය ආසාදනය වූ 150 වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පිලිපීනයෙන් එක් මරණයක් වාර්තා වී තිබේ.

වෛරසය හේතුවෙන් බරපතල මට්ටමේ ශ්වසන ආසාදන මතු වන අතර රෝග ලක්ෂණ වශයෙන් උණ සහ කැස්ස ආරම්භයේ දකිහ හැක.

එක්සත් ජනපදය ගෙන ඇති පියවර මොනවාද?

අත්‍යවශ්‍ය සේවාවලට අයත් නොවන සියලුම ඇමරිකානුවන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනාවෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයේ හූබෙයි පළාතේ පිහිටි වූහාන් නගරයෙන් ඉවත් වන ලෙස එක්සත් ජනපදය ජනවාරි 23 වෙනිදා නියෝග කළේය.

ඉන් සතියකට අඩු කාලයක් තුළ අත්‍යවශ්‍ය සේවාවලට අයත් නොවන ඇමරිකානු ආණ්ඩුවේ සේවකයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ස්වේච්ඡාවෙන් චීනයෙන් ඉවත්වීමට එක්සත් ජනපදය ඉඩ ලබා දුනි.

නව වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 30 වෙනිදා ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

අවුරුදු 21 ට අඩු, සියලුම ඇමරිකානු සේවකයන්ගේ පවුලේ සාමාජිකයන් චීනයෙන් ඉවත් විය යුතු බවට එක්සත් ජනපදය නියෝග කළේ ඉන් අනතුරුවය.

හූබෙයි පළාතේ සංචාරය කළ ඕනෑම ඇමරිකානු පුරවැසියෙකු යළි සිය රට බලා පැමිණෙන විට දින 14 ක නීරෝධායනයකට ලක් කිරීමට පියවර ගැනිණි.

කොරෝනා වෛරසය හමුවේ සෙසු රටවල් ගත් ක්‍රියාමාර්ග

චීනය අතර පවතින දේශසීමා හුවමාරු ස්ථාන 13 න් 10 ක් තාවකාලිකව වසා දමන බව හොංකොං බලධාරීහු සඳුදා (පෙබරවාරි 03) නිවේදනය කළේය.

තවත් රටවල් ගණනාවක් විවිධාකාරයේ සංචාරක සීමා පනවා ඇත.

  • මෑත කාලයේ චීනයට ගිය සියලුම විදේශිකයන් රටට ඇතුළුවීම වළකා ඇත: එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව
  • චීනයේ සිට පැමිණෙන සියලුම විදේශිකයන් රටට ඇතුළුවීම වළකා ඇත: නවසීලන්තය, ඊශ්‍රායලය
  • හූබෙයි පළාතේ සංචාරය කළ විදේශිකයන් රටට ඇතුළුවීම වළකා ඇත: ජපානය, දකුණු කොරියාව,
  • චීනය සමග පවතින සියලුම ගුවන් ගමන් තාවකාලිකව නවතා ඇත: ඊජිප්තුව, ෆින්ලන්තය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, ඉතාලිය
  • චීනය අතර ඇති දේශ සීමා හුවමාරු වසා දමා ඇත: මොන්ගෝලියාව, රුසියාව (අර්ධ වශයෙන්)

ඇමරිකාව ගත් පියවරවලට චීනයේ ප්‍රතිචාරය

Image copyright EPA/WU HONG
Image caption චීනය තුළ 17,000 අධික සංඛ්‍යාවකට කොරෝනාවෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ

සඳුදා පැවති මාධ්‍ය හමුවකදී චීනයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං කියා සිටියේ එක්සත් ජනපදය ගත් පියවර මගින් සහාය දෙනවා වෙනුවට " භීතිය නිර්මාණය වීම සහ පැතිරීම පමණක්" සිදු විය හැකි බවය.

චීන සංචාරකයන් මත සංචාරක තහනමක් පමණවන ලද පළමු රට එක්සත් ජනපදය වූ බව කියා සිටි ඇය, තානාපති කාර්යාල සේවකයන් අර්ධ වශයෙන් ඉවත් කර ගැනීම පිළිබඳ අදහස් පළ කළ පළමු රටත් එක්සත් ජනපදය බව සඳහන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර