මන්නාරම සමූහ මිනීවල: අස්ථි රැඳවූ කාමරයේ "දොරගුළු කඩලා"

මන්නාරම සමූහ මිනීවල

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ කැනීම්වලදී ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම හා ජනේලයක් විවෘත කොට තැබීම සම්බන්ධයෙන් අඟහරුවාදා (පෙබරවාරි 11) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණ.

අදාළ අස්ථි කොටස් හමුවීම පිළිබඳ නඩු විභාගය මන්නාරම මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු මේ තත්ත්වය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කළහ.

සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව එහිදී පෙන්වා දුන් අතර ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන්ගෙන් කරුණු විමසිය යුතු බවද පැවසිණි.

නඩු විභාගය අතරතුරදී සමූහ මිනිවළ කැණීම් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අතර විවාදාත්මක තත්වයක් ද මතුවූ අතර, එහිදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පිරිසක් අධිකරණ කටයුතුවලින් ඉවත් වූහ.

මහේස්ත්‍රාත්වරයාගේ කැඳවීම මත නීතිඥයින් යළි අධිකරණ කටයුතු සඳහා එක්වූ අතර, සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබූ කාමරයේ දොරගුළු කැඩීයාම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්වීමට එළැඹෙන 25 වැනිදා නඩු විභාගය කැඳවන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2018 මාර්තු 26 වැනිදා පළමු වරට තොරතුරු වාර්තා වු අතර, දින 156 ක් කැනීම් කර මිනිස් සිරුරු 342 ක අස්ථි මතුකර ගැනිණි.

ඉන් ගොඩ ගැනුණේ මිනිස් සිරුරු 330ක් පමණි. ඒ අතර කුඩා ළමුන් 30 දෙනෙකුගේ අස්ථි ද තිබිණ.

සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඇමරිකාවේ ෆ්ලෝරිඩාහි කාබන් රසායනාගාර වාර්තා ලැබීමෙන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු 2019 මාර්තු 07 වැනිදා තාවකාලිකව නවතා දමන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

දත්ත විශ්ලේෂකයින් පවසා තිබුණේ සමූහ මිනිවළ තුළ වූ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර කාලයකට අයත්වන බව කාබන් පරීක්ෂණ වාර්තා තුළින් අනාවරණය වී ඇති බවකි.

මන්නාරම අධිකරණයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ හා කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

කෙසේවෙතත්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ අදාළ අස්ථි කොටස් යුද සමයේ අතුරුදහන්වූවන්ගේ බවය.

අදාළ අස්ථි කොටස් තැන්පත් කොට තිබූ කාමරයේ දොරගුළු කැඩී තිබීම හේතුවෙන් මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් හා පුරාවිද්‍යා අගයක් සහිත කොටස්වල වෙනසක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති.

මේ තොරතුරු ද දැනගන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර