ඔක්සිජන් විවාදය: "නිලධාරීන් දේශපාලනඥයින්ට බිය විය යුතු නැති බව ඇය ඔප්පු කළා"

Image copyright Getty Images

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මීගමුව ප්‍රදේශයේ කඩොලාන වනාන්තර කලාපයක් වෙනුවෙන් හඬ නැගීම සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතාබහකට තුඩු දී තිබේ.

පෙබරවාරි 10 වන දා සිදු වූ එම සාකච්ඡාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ඇයගේ ප්‍රතිචාරය දැන ගැනීම පිණිස දේවානි ජයතිලක ඇමතීමි.

ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, "ඒ සිද්ධිය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමාට දැනුම් දුන්නා. මම සාමාන්‍ය විදිහට රාජකාරි කරමින් ඉන්නවා," යනුවෙනි.

කෙසේ වෙතත්, බදාදා (පෙබ. 12) මාධ්‍ය හමුවක් පවත්වමින් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ, "මෙහෙම සිද්ධියක් වුණා කියල අපි මේක නතර කරන්න බලාපොරොත්තුවක් නෑ. කොහොමත් මේ ව්‍යාපෘතිය කරනවා. පරිසරයට හානියක් කරන්නේ නෑ," යනුවෙනි.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරිනියගේ ස්ථාවරය අර්ථකථනය කළේ මෙසේය.

"එතුමියට ඒෂියන් චැම්පියන් වෙන්න ඕන කියලනෙ එතුමිය කියන්නෙ. එතුමිය කියන්නෙ කඩොලාන පරිසරය වැඩිපුරම තියෙන්නෙ ලංකාවෙ, ඒ නිසා තව ටිකක් හිටවපුවාම අපිට ඒෂියන් චැම්පියන් වෙන්න පුළුවන් කියල. ඒ නිසා ඒෂියන් චැම්පියන් වෙන්න බෑ මේ ධීවරයො නිසා කියල තමයි එතුමිය කියන්න උත්සහ කරන්නෙ."

කෙසේ වෙතත්, අදාළ සිද්ධිය වූ අවස්ථාවේ වන නිලධාරිනිය දැක්වූයේ මෙවන් අදහසකි.

"මේ වන විට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනව ඒෂියන් චැම්පියන් වෙන්න කඩොලානවලින්. කඩොලාන භූමි අපට තව මදි හෙක්ටයාර් 10000ක්. ඊට අමතරව මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ."

විෂය භාර ඇමතිගේ ප්‍රතිචාරය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන බදාදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, තමන් සිය අමාත්‍යංශයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවය.

"වනජීවී ඉඩම් කෑල්ලක අඟලක්වත් බෑ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ආපහු ගන්න. ඉතිං මං හිතන්නෙ සනත් නිශාන්ත ඇමතිතුමා වනජීවී පනත ගැන නොදන්නාකමට තමයි ඒ ඉල්ලීම කරන්න ඇත්තෙ. ඒ නිලධාරීතුමියයි ඇමතිතුමයි අතර ඇති වෙච්චි සංවාදය පිළිබඳව මං කනගාටු වෙනව විෂය භාර ඇමතිවරයා හැටියට."

එහිදී මාධ්‍යවේදියෙකු විමසුවේ අදාළ නිලධාරිනියට තර්ජනයක් සිදුවේ ද? යනුවෙනි.

"අපේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවල කිසිම නිලධාරියෙකුට කිසිම දෙයක් කරන්න බෑ. මං වගකීම භාර ගන්නවා," යනුවෙන් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ඊට පිළිතුරු දුන්නේය.

'රාජ්‍ය නිලධාරීන් ආරක්ෂිතයි'

Image copyright Www.news.lk
Image caption අමාත්‍ය බන්දුල ගුණවර්ධන

මේ අතර, බ්‍රහස්පතින්දා (පෙබ. 13) කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, නීතියට අනුව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය ප්‍රතිඥාවක් දී ඇති බවය.

"රජයයි, ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, කැබිනට් මණ්ඩලයයි ඉන්නේ ඇය සමගයි. රාජ්‍ය නිලධාරීන් වුණත් අද බය නැතුව නීතිය තුළ දේශපාලනඥයෙකු කී පමණින් යමක් කරන්නෙ නෑ. ඔවුන් ඔවුන්ගේ ස්ථාවරය, මතය කියනවා. ජාතියේත් ජාතික ආර්ථිකයේත් යහපතට අදාළ වෙන පරිද්දෙන් පුද්ගලික ප්‍රතිලාභයක් ගැන නොතකා ජාතියේ යහපත අරමුණු කරගෙන ඕනම තීන්දුවක් තීරණයක් නීතියට අනුව ගන්න සියලු නිලධාරීන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් රජය දීල තියෙනවා."

"රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින්ට බය වෙන්න ඕන නෑ"

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනික විග්‍රහයක් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, "රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින්ට බය වෙලා වැඩ කරන්න අවශ්‍ය නෑ කියන එකට මෑත කාලීන ඉතිහාසයේ වාර්තා වූ හොඳ ම උදාහරණය තමයි මේ සිද්ධිය," යනුවෙනි.

Image copyright Vishaka Suriyabandara/Facebook
Image caption ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

ඇය පෙන්වා දුන්නේ, දේශපාලනය සහ පරිපාලනය අනවශ්‍ය ලෙස සම්මිශ්‍රණය වීමෙන් රාජ්‍ය නිලධාරීන් දේශපාලනීකරණයට ලක් වන බවය.

"දේශපාලනය සහ පරිපාලනය එකට මිශ්‍ර නොවී විනිර්මුක්ත වෙලා යහපත් රාජ්‍ය සේවයක් කරන්න නිලධාරීන්ට පුළුවන් කියලා මේ සිද්ධියෙන් තහවුරු වුණා. මේක සියලු රාජ්‍ය නිලධාරීන්ට ඉතා හොඳ ආදර්ශයක්. දේශපාලනීකරණයෙන් තොර රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීමේ මුල් පියවරක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්."

"මේ නිලධාරිනිය ආදර්ශයට අරගෙන සියලු රාජ්‍ය නිලධාරීන් නීතියට අනුව රටේ යහ පැවැත්මට අනුව වැඩ කිරීමේ ක්‍රමවේදයකට එළඹෙන්න මේක අවස්ථාවක් කර ගත යුතුයි. නිලධාරීන් නීතියට අනුව වැඩ කරනවා නම් දේශපාලනඥයින්ට ඒවාට බලපෑම් කරන්න බෑ කියන එක ඇය ඔප්පු කළා. කාන්තාවක් විදිහට ඇය සිය ස්ථාවරයේ දැඩිව සිටීම ගැන මට ආඩම්බරයි," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, "අදාළ නිලධාරිනිය සමග සියලු රාජ්‍ය නිලධාරීන් එකට සිටගතහොත් ශ්‍රී ලංකාව යහපත් රටක් බවට පත් කිරීම අසීරු නොවන," බවය.

තවදුරටත් කියවන්න: