ඔක්සිජන් විවාදය: කඩොලාන වෙනත් ගස්වලට වඩා වැදගත් වන්නේ ඇයි?

Image copyright Getty Images

මීගමුවේ කඩොලාන කලාපයක් ඉවත් කිරීමට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ විරෝධය පළ කිරීමත් සමග කඩොලාන පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ, "මේක පැහැදිලිව ම රජයේ වනාන්තර භූමියක්. වනාන්තර භූමියක් නිදහස් කරන්න බැහැ. ගම්පහ තමයි අඩු ම වනගහනය 1.6%යි," යැයි කී ඇය "මේ වෙනකොට අන්න බෙදනව ඉඩම් කච්චේරි තිය තිය. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් කෝ?" යැයි ප්‍රශ්න කළාය.

එහිදී එම රැස්වීමට සහභාගි වී සිටි අයෙකු, "මැඩම් ඔක්සිජන් තිබිල වැඩක් නෑ, ළමයි කුඩු ගංජා ගහනවා," යනුවෙන් කළ ප්‍රකාශයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබිණි.

මෙම සිද්ධිය හරහා කඩොලාන වනාන්තරවල වැදගත්කම සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතර අවධානය යොමු වීම සතුටට කරුණක් බව පරිසරවේදීහු පෙන්වා දෙති.

කඩොලාන වෙනත් ගස්වලට වඩා වැදගත් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව කඩොලාන කෙරෙහි වැඩි අවධානයක් නොදැක්වුව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ම ලෝකයේ වෙනත් රටවල් කඩොලාන වනාන්තර ආරක්ෂා කර ගැනීම සදහා දැඩි අවධානයක් යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කඩොලාන සංරක්ෂණ වැඩසටහන්, 2010 වසරේදී ජපානයේදී එළිදැක්වූ ලෝක කඩොලාන සිතියම සහ 2017 වසරේදී ඉන්දුනීසියාවේදී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඊට උදාහරණ කිහිපයකි.

කඩොලාන වනාන්තරවලින් ලැබෙන වාසි මොනවාදැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ බීබීසී සිංහල සේවයට පෙන්වා දුන්නාය.

  1. භූමිය ආරක්ෂා වෙයි - සුළි සුළං, මුහුදු රළ, සුනාමි වැනි තත්ත්වයන්ගෙන් වෙරළ ඛාදනය අවම වීම කඩොලානවලින් සිදුවේ. එමගින් භූමිය මෙන් ම මනුෂ්‍ය ජීවිත ද ආරක්ෂා වේ.
  2. ධීවර කර්මාන්තය පහසු කරවයි - මතස්‍යයින් කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව බහුලව ගැවසෙන අතර මතස්‍යයින් ගැඹුරු මුහුද කරා යන්නේ බිත්තර දමන කාලයට පමණක් බව මහචාර්යවරිය පවසයි. එහෙයින් ධීවරයින්ට මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වේ.
  3. ප්‍රයෝජනවත් පැළෑටියකි - කඩොලාන කිරල කිරි/කැද වැනි ඖෂධීය පානයන් සැකසීම සදහා මෙන් ම කිරල මූඩි සැකසීමට ද ප්‍රයෝජනවත් වේ.
  4. කාබන් ගබඩා කර ගනී - සාමාන්‍ය ගස්වලට වඩා වැඩි ප්‍රමාණයක් කාබන් ගබඩා කර ගැනීමේ හැකියාව කඩොලාන ශාකයට තිබේ.

2017 වසරේදී ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළු වාර්තාවේ දැක්වෙන්නේ, කඩොලාන හෙක්ටයාරයක කාබන් ටොන් 1023ක් ගබඩා කර ගන්නා බවය.

එය සාමාන්‍ය ගසක කාබන් ගබඩා කිරීමේ හැකියාවට වඩා පස් ගුණයකි. කඩොලාන ශාකයේ පත්‍රවල මෙන් ම විහිදී ගිය මුල්වල ද කාබන් තැන්පත් වීම නිසා මෙම තත්ත්වය ඇති වන බව මහාචාර්ය හේමන්ති රණසිංහ පැවසීය.

Image copyright T.WEI

ලෝකයේ කඩොලාන විශේෂ 7ක් ඇති අතර ඉන් 5ක් ම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බව ඇය සඳහන් කළාය.

Image copyright Hemanthi Ranasinghe/Facebook
Image caption මහාචාර්ය හේමන්ති රණසිංහ

"කඩොලාන වනාන්තර ගොඩක් විනාශ වුණේ ඉස්සන් කොටු නිසා. ලංකාවේ වනගහනය 29%ක් තිබුණත් කඩොලාන ගහනය තියෙන්නේ 0.01%ක් තරම් අඩු අගයක. ඒක අපි වැඩි කර ගත්තේ නැත්නම් ඉතා ම නරක ප්‍රතිවිපාකවලට මුහුණ පාන්න වෙයි," මහාචාර්ය හේමන්ති රණසිංහ පෙන්වා දුන්නාය.

"සුනාමියෙන් පස්සේ පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර සංගමය (IUCN) ශ්‍රී ලංකාවට උපදෙස් දුන්නා කඩොලාන වනාන්තර සංරක්ෂණය කරන්න කියලා. මේක පැවරිලා තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. අපි වහා ම මේ කඩොලාන සංරක්ෂණය කඩිනම් කරන්න ඕන. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා නැති කඩොලාන භූමි පවා අලුතින් ගැසට් කරල හරි ආරක්ෂා කරන්න ඕන."

පසුගිය ශතවර්ෂය තුළදී පමණක් ලෝකය පුරා ඇති කඩොලාන වනාන්තරවලින් අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

ලෝකය පුරා දැඩි තර්ජනයට ලක් වී ඇති වාසස්ථාන අතරින් එකක් ලෙස කඩොලාන වනාන්තර සැලකේ.

2010 වසරේදී එළිදක්වන ලද ලෝක කඩොලාන සිතියමට අනුව ලෝකයේ මුළු කඩොලාන වනාන්තර ප්‍රමාණය වර්ග කිලෝමීටර් 152362කි.

කඩොලාන වනාන්තර සම්පූර්ණ වශයෙන් ආරක්ෂා කරන පළමු රට ශ්‍රී ලංකාව?

කඩොලාන වනාන්තර සම්පූර්ණ වශයෙන් ආරක්ෂා කරන පළමු රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවට 2015 මැයි මස 12 වන දා බීබීසී පරිසර වාර්තාකරු මාර්ක් කින්වර් පළ කළ ලිපියක දැක්විණි.

එහි සඳහන් වූයේ, එවක පැවති රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන 'සීකොලොජි' ආයතනය සහ ශ්‍රී ලංකාව පදනම් කර ගත් 'සුදීස' සංවිධානයේ සහය ඇතිව කඩොලාන සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

පසුගිය වසර 100ක කාලය තුළ ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තරවලින් 76%ක ප්‍රතිශතයක් අහිමි වී ඇතැයි ද එහි දැක්විණි.

ඉස්සන් කොටු

ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තර වැඩි ප්‍රමාණයක් විනාශයට පත්වූයේ ඉස්සන් කොටු හේතුවෙන් බව පරිසරවේදී නයනක රන්වැල්ල ද බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඔය මීගමුවේ කඩොලාන ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නෙත් ඉස්සො කොටු මුල් කරගෙන. ඉස්සො කොටු නිසා කඩොලාන වනාන්තර විනාශ කරනවා. ඒකෙන් පරිසරයට ලොකු හානියක් වෙනවා. ආසන්නයේ වෙසෙන ධීවරයින්ට ම තමයි ඒකේ ප්‍රතිවිපාක වැඩිපුර විඳින්න වෙන්නේ. ඒ නිසා හුස්ම ගන්න සියලු දෙනා ම කඩොලාන ආරක්ෂා කරන්න කැපවිය යුතුයි"