ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය: 'අතෙන්' පටන්ගෙන 'පොහොට්ටුව' දක්වා පැමිණි ශ්‍රීලනිප ගමන්මග

ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දේශපාලන පක්ෂයක් වන වසර 69ක් මුහුකුරා ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වසර 4කට පෙර පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට තීරණය කර ඇතැයි සඳුදා (පෙබ: 17) වාර්තා විය.

ඒ අනුව, එම නව සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ලියාපදිංචියට සඳුදා (පෙබ: 17) දිනයේදී මැතිවරණ කොමිසමට අයැදුම්පතක් ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිලධාරී මණ්ඩලය පහත දැක්වේ.

  • නායක - මහින්ද රාජපක්ෂ
  • සභාපති - මෛත්‍රීපාල සිරිසේන
  • ලේකම් - බැසිල් රාජපක්ෂ
  • නියෝජ්‍ය සභාපති - දිනේෂ් ගුණවර්ධන
  • නියෝජ්‍ය ලේකම් - මහින්ද අමරවීර
  • ජාතික සංවිධායකවරුන් - දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ
  • උපලේකම් - උදය ගම්මන්පිල
  • උපසභාපතිවරුන් - තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර හා ඩිව් ගුණසේකර

අඟහරුවාදා (පෙබ: 18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, "19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සදහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම සදහා," මෙම පක්ෂ දෙක ඒකාබද්ධ වූ බවය.

එම එකඟතාව අනුව එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය 'පොහොට්ටුව' ඡන්ද ලකුණ යටතේ තරග කරන බව දයාසිරි ජයසේකර පැවසීය.

"සිම්බල් එකේ ප්‍රශ්නයක් නෑ. පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඔක්කොම එකට එකතු වුණා ම පොහොට්ටුව ලාංඡනයෙන් තමයි අපි ඡන්දෙ ඉල්ලන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ විදිහට ඒක ස්ථිරයි. ඒකෙ ප්‍රශ්නයක් නෑ."

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ දියණියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද තමන් සමග එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේදී පැවසීය.

"එතුමිය එක්ක තාම අපි කතා කළේ නැහැ. එතුමියත් අපි එකතු කර ගන්නවා. මේ හදපු සන්ධානය ගැන මං හිතන්නෙ නෑ එතුමියගෙ කිසි ප්‍රශ්නයක් තියෙනව කියල. එතුමියත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අනාගතයේදි."

කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් පැවසුවේ, "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් පමණක්," බවය.

'ත' සිට'පොහොට්ටුව' දක්වා

1951 වසරේදී ආරම්භ කරනු ලැබ වසරක් ගතවෙද්දී, එනම් 1952 දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය දිනා ගැනීමට තරම් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඉන් වසර හතරක් ඇතුළත රටේ ආණ්ඩු බලය පවා දිනා ගැනීමට සමත් වූ ඉතා කෙටි කාල පරාසයක් තුළ සමාජයේ මුල්බැස ගත් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් විය.

Image copyright SWRDBANDARANAIKE.LK

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුරෝගාමීත්වයෙන් 1956 වසරේදී නිර්මාණය කෙරුණු මහජන එක්සත් පෙරමුණ යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සමත් විය.

1977 පරාජයෙන් ලද දේශපාලන තුවාලවල කැළැල් මැකී යාමටත් පෙර අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සේනානායක ප්‍රමුඛ කණ්ඩායමක් සිරිමාවෝ බණ්ඩාරනායක පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන බලය අල්ලා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීමත් සමඟ එම පක්ෂය ඔවුන්ගේ පළමු බෙදීයාමේ අභියෝගයට මුහුණ දුන්නේය.

1982 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතු වූ මතභේදය කෙළවර වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී එම පක්‍ෂයේ දැවන්තයකුව සිටි ටී.බී.ඉලංගරත්නගේ සභාපතිත්වයෙන් 'ශ්‍රී ලංකා මහජන පක්ෂය' නමින් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමෙනි.

විජය කුමාරතුංග ඝාතනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ඉදිරි පෙළ නායකයන් සහ චන්ද්‍රිකා කුමාරතුංග අතර ඇති වූ මතභේද කෙළවර වූයේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් 'බහුජන එක්සත් පෙරමුණ' නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් සහිත කණ්ඩායමක් තවත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරනු ලැබීමෙනි.

බහුජන එක්සත් පෙරමුණට නායකත්වය දුන් චන්ද්‍රිකා කුමාරතුංග 1993 දී ඉන් ඉවත්ව යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූවාය.

පසුව 1994 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකව පොදුජන පෙරමුණ පිහිටුවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරයට දෙවරක් තේරී පත්විය.

Image copyright AFP/GETTY IMAGES

2004 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටවූ අතර ඒ හරහා මහින්ද රාජපක්ෂ දෙවරක් විධායක ජනාධිපති ධූරයට තේරී පත් විය.

2015 මහ මැතිවරණය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඔවුන් තරග කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතෙක් තනිව තරග කළේ නැත.

කෙසේ වෙතත්, 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහින්ද රාජපක්ෂ පාර්ශවය තරග කරමින් එම මැතිවරණයෙන් 40.47%ක වැඩි බලයක් හිමි කර ගත්තේය.

ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ගිලිහුණු අතර 2019 ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීය.

Image copyright Getty Images

"නිශ්චිත දේශපාලන මතවාදයක්නෑ"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානයක් ගොඩ නැගුවේ "රට වෙනුවෙන්" බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන "රට ස්ථාවර කිරීමට" බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

එහෙත්, විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධන අධ්‍යයන අංශයේ ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, "පෞද්ගලික බලය උදෙසා" ඔවුන් ඒකාබද්ධ වී ඇති බවය.

ඇය බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් "වත්මන් දේශපාලන පක්ෂ රැසක් අතිශයින් පිරිහීමට ලක්ව ඇති," බව කී ඈ "මේගොල්ලො රට ගැන හිතල නෙවේ මේව කරන්නෙ. රට ගැන හිතල වැඩ කළා නම් මේ රටට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. ඒගොල්ලන්ගෙ බලය තහවුරු කර ගන්න විතරයි මේව කරන්නෙ." යනුවෙන් පැවසුවාය.

"මේ පක්ෂවලට අඩු තරමින් නිශ්චිත දේශපාලන මතවාදයක්වත් නෑ. ඉස්සර දේශපාලන පක්ෂවල එකිනෙකට වෙනස් දේශපාලන මතවාද තිබුණා. ඒ නිසා ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ. ඒත් මේගොල්ලන්ට එහෙම නිශ්චිත ප්‍රතිපත්තියක් නෑ. ඕන වෙලාවක කිසි ම ප්‍රශ්නයක් නැතුව බලය වෙනුවෙන් එකතු වෙනවා. මේ එකතු වීම් රට ගැන හිතල කරන දේවල් කියල කොහෙත්ම පිළිගන්න බෑ."

තවදුරටත් කියවන්න.