රන්ජන් හඬපට : රන්ජන් මකා දමා හඬපටය වාදනය කිරීම

Image copyright Ranjan Ramanayake
Image caption 'අළු යට ගිනි පුපුරු'

රන්ජන්ගේ යැයි පැවසෙන හඬපට ලැව් ගින්නක් සේ ඇවිලෙන්නට විය.

බුර බුරා නැගෙමින් තිබූ එම ගිනිදලු යටකරගෙන 'කොරෝනාවෛරස් සුනාමිය' ගොඩ ගැලුවේය.

නමුත් 'රන්ජන් හඬපට' තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතී.

බොහෝ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වූයේ රන්ජන් රාමනායක නමැති මහජන නියෝජිතයාගේ ක්‍රියා කලාපය ගැනය.

කෙසේ නමුත් එම හඬපටවල ඇතුළත් කටහඬ තමන්ගේ ම බව තවමත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිල වශයෙන් පිළිගෙන නොමැත. එය තවමත් රස පරීක්ෂක ද තහවුරු කර නැත.

නමුත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ම තවත් හඬපට කිහිපයක් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබිණි. ඒවා තවමත් නිරාවරණය වී නැත.

මේ පිළිබඳව නම් පාර්ලිමේන්තුව තුළ සිටින ඇතැම් ජනතා නියෝජිතයන් අතර පක්ෂ භේදයකින් තොර සමගියක් විද්‍යමාන වේ.

Image copyright SHANIKA SOMATHILAKE

මෙතෙක් ප්‍රසිද්ධියට පත් වූ හඬපට සතු සංවාදවලට දායක වූ පුද්ගලයන් කවුරුන් ද යන්න ජනගත වී ඇති නමුත් එය ද නිල වශයෙන් සනාථ කර නොමැත.

එහෙත්, රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතාව තබා තබා තිබූ විශ්වාසය මෙම හඬ පට නිසා අභියෝගයට ලක් වූ බව නම් සැඟවිය නොහැකි විය.

රන්ජන්ගෙන් ඔබ්බට යමින් මෙම හඬපට සිද්ධිය විශ්ලේෂණය කළහොත් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති.

සමස්ත රාජ්‍ය පාලන තන්ත්‍රය ම අභියෝගයට ලක් කරති.

මේ හරහා ගොඩනැගී ඇති පසුබිම මත, එසේ පටිගත නොවී සදාකාලික රහස් බවට පත් වූ 'වටිනා සංවාද' තව කෙතරම් මේ අහස් තලයට මුසු වී ඇත්දැයි ඇතැමෙක් කල්පනා කරති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකටම නිදහස ලැබුණේ එකම වකවානුවක ය.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ පැවති සෑම මැතිවරණයකදී ම, සෑම දේශපාලන පක්‍ෂයක් ම ලබා දුන් පොදු පොරොන්දුවක් විය. ඒ අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබන බවය. නමුත් ඉන්දියාවේ අධිකරණයට වැඩි ස්වාධීනත්වයක් සහ ජන විශ්වාසයක් පවතින බව විද්වත් මතයයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමෙන් දරුණු සමාජ ඛේදවාචකයන් කරා තල්ලු විය හැකියැයි ඒත්තු ගැන්විය හැකි නිදසුන් ලෝක දේශපාලනය තුළ එමටය.

'රන්ජන් කුරුසයේ තබා ඇණ ගැසීම'

වරදක් වූ විට ශ්‍රී ලංකා ද්වීපයේ "සමස්ත ආයතන ක්‍රමය වසා ගෙන ඇති දේශපාලන හස්තයට" ඇඟිල්ල දිගු කිරීම නිරන්තරයෙන් සිදු වේ. නමුත් සිදු වූ වරද යළි සිදු නොවීමට වගබලා ගැනීම සඳහා එසැණින් ක්‍රියා මාර්ග ගන්නා බවක් පෙනෙන්නට නැතැයි ඇතැම්හු චෝදනා කරති.

රට හදන්න නම් මුළු රටට ම බලපැවැත්වෙන පරිදි ව්‍යුහමය ප්‍රතිසංස්කරණ දියත් කළ යුතුය යන අදහස දරන විද්වතුන්ගෙන් ද අඩුවක් නැත.

නමුත් කිසිදු දේශපාලන පක්ෂයකින් එවැන්නක් බලාපොරොත්තු විය හැකි ද? ජනතාවට තනිව එය කළ හැකි ද?

රන්ජන් කුරුසයේ තබා ඇණ ගැසීමෙන් වරද නිවැරදි වේ ද? රෝග නිධානයට නිසි ප්‍රතිකාරය ලැබේ ද?

මෙය රන්ජන්ගේ වරද ද? විනිසුරුවන්ගේ වරද ද? පොලිසියේ වරද ද? පාර්ලිමේන්තුවේ වරද ද? එසේත් නොමැති නම් ජනතාවගේ වරද ද?

'රන්ජන් හඬපට' ඔස්සේ මතු කෙරෙන කුණු රසය පසෙක ලා, ඉන් ඔබ්බට දෘශ්‍යමාන වන සමාජ යථාර්ථය අවුස්සා බැලීම සඳහා ඉහත ප්‍රශ්න මාලාව වෘත්තීයවේදීනියන් කිහිප දෙනෙකු ඉදිරියේ දිග හැරියෙමි.

"මේක පළමු අවස්ථාව නොවෙයි"

"රටක බලගතු ම ආයතනය විදියට සලකන්නේ අධිකරණය. එවැනි ආයතනයක් අද යම් ආකාරයකට අභියෝගයට ලක් වෙලා තියෙනවා. මේ හඬපට සිද්ධියෙන් පස්සේ අධිකරණය පිළිබඳව තිබුණු ජනතා විශ්වාසය පළුදු වුණේ නැහැ කියල කියන්න බැහැ."

"මේක පළමු වෙනි අවස්ථාව නොවෙයි මේ බලගතු ආයතනය අභියෝගයට ලක් වුණු," ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර සාකච්ඡාවට අවතීර්ණ වූවාය.

"කොහොම නමුත් මේ සිදුවීම හරහා සමස්ත සමාජයේ ම තිබෙන දූෂිත බව එලියට ආවා. අධිකරණයේ වුණත් වැරද්දක් දුටු වහා ම ඒ ගැන කතා කරන්න ජනතාවට අවස්ථාවක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒක අත්තනෝමතික තත්ත්වයක් වෙනවා. අධිකරණ පද්ධතිය තුළ විනිවිදභාවය තිබිය යුතුමයි."

මේ හඬපට සිද්ධිය හරහා සමස්ත ක්‍රියාදාමයේ තිබෙන අවුල සහ එහි තිබෙන ආසාදිත තත්ත්වය ජනතාවට අවබෝධ වුණු බව අයගේ අදහසයි.

"පෞද්ගලික තොරතුරු සහ සංවාද පැත්තකින් තියල බැලුවොත් සමස්ත රාජ්‍ය පාලනයේ තිබෙන දූෂිත බව, එය පැසවලා තිබෙන තරම තේරුම් ගැනීමට එය හොඳ අවස්ථාවක් වුණා."

එබැවින් අධිකරණය තුළ තිබෙන අඩු ලුහුඬුකම් හඳුනාගෙන එය පිරිසිදු කර ගැනීමට මෙය අනගි අවස්ථාවක් කර ගත යුතු බවත් එසේ නොකළහොත් තත්ත්වය තව තවත් බරපතළ වනු ඇති බවත් ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසන්නීය.

"අපි දන්නවා එක්තරා ඇමතිවරයෙක් සිරගත කළා අධිකරණයට අපහාස කළා කියල. ඇතැම් විට උසාවියකදී කැස්සක් කිවිසුමක් ගියා කියලත් උසාවියට අපහාස කළා කියල මිනිස්සු හිර කරපු අවස්ථා ගැන ප්‍රවෘත්ති පළවුනා."

"පාර්ලිමේන්තුව තුළ විෂබීජ"

මෙම ආයතන පද්ධතිය පිරිසිදු කර ගත යුතුනම් ඒ සඳහා අලුත් නීති අණපනත් සම්පාදනය විය යුතු බව ඇයගේ මතයයි.

"හැබැයි මේ රටේ නීති සම්පාදනය වන පාර්ලිමේන්තුව තුළ තමයි වැඩි ම විෂබීජ ටික තියෙන්නේ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා, මේ අය මේ දේ හරියට කරයි ද කියල. මොකද බලය තියෙන තැන හැමවිට ම නීතිය අවනතව තබා ගැනීමට ඔවුන් උත්සහ කරනවා."

"ඉතින් අපි කාට ද කියන්නේ මේක කරන්න කියල?" යනුවෙන් ප්‍රශ්න කළ විට ඇයගේ පැහැදිලි කිරීම මෙසේ විය.

"එකිනෙකා අත්වැල් බැඳගෙන ඉන්නේ. දේශපාලනඥයාට බැහැ පරිපාලන නිලධාරියා නැතුව... පරිපාලන නිලධාරියාට බැහැ නීතිඥයා නැතිව.. ඔවුන්ට බැහැ පොලිසිය නැතිව... පොලිසියට බැහැ අධිකරණය නැතිව... ඒ වගේ මේ සමස්ත ක්‍රියාවලිය ම එකට බැඳිලා තියෙන්නේ."

'රන්ජන් හඬපට' හරහා මුළු සමාජය පුරා ම පැවති "සැරව ගලන තුවාලය පුපුරා ගිය" බව ඇයගේ අදහසයි.

"මේක පුපුරලා ගියාට පස්සේ තුවාලයේ කොස්ස ඉවත් කෙරෙන්න ඕන. ඊට මතුපිටින් පැලැස්තරයක් දැම්මට වැඩක් නැහැ."

අපි මේ දකින ගාම්භීර උසාවියෙන්, ගාම්භීර පොලිසියෙන් මොනවද කරගන්න බැරි කියල හිතෙන තැනට අද මිනිස්සු තල්ලු වෙලා." ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසුවාය.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ අධිකරණය දැඩි විවේචනයට ලක් වූ බව නොරහසකි. දේශපාලන මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වන අතිශය ස්වාධීන අධිකරණ පද්ධතියක අවශ්‍යතාව බොහෝ දෙනා මතු කර තිබුණි.

නමුත් අධිකරණයට පූර්ණ ස්වාධීනත්වය හිමි කර දීමට කිසිදු දේශපාලන පක්ෂයක් කැමති වේද?

මාධ්‍ය සහ දේශපාලනඥයා

ඊට පිළිතුරු දෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් කියා සිටියේ "අධිකරණයේ ස්වාධීනත්වය රකින බවට පොරොන්දු දුන් පිරිස ම තමයි අධිකරණය හෑල්ලුවට ලක් කරන්නේ. මේ රටේ සාමාන්‍ය ජනතාව නොවෙයි," යනුවෙනි.

"එතකොට සාමාන්‍ය ජනතාවට හිතෙනවා දැන් අපි කාගේ පිහිට ද පතන්නේ කියල."

කෙසේ නමුත් එක් සිදුවීමකින් "කළු චිත්‍රයක් මවා ගැනීමට" ජනතාව නොපෙළඹිය යුතු බව ඇය අවධාරණය කළාය.

"අධිකරණය දූෂිතයි කියල ජනතාවට පණිවිඩයක් දීල වාසි ලබාගන්න උත්සාහ කරන අයත් එහි ඇති භයානකකම තේරුම් ගත යුතුයි. මෙහිදී මාධ්‍ය සහ ඇතැම් දේශපාලනඥයන් හැසිරුණු ආකාරය කොයිතරම් දුරට සදාචාරාත්මක ද කියන එක ගැනත් හිතන්න වෙනවා." ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් පැවසුවාය.

"සෙල්ලම් කරන්න එපා"

'රන්ජන් හඬපට' හරහා අධිකරණ පද්ධතියට හානි සිද්ධ වූ බව සැබෑ නමුත් "අප සෙල්ලම් නොකළ යුතු" ඇතැම් දේ පවතින බව ඇය පවසන්නීය.

"මෙය අන්තර්ජාතික වශයෙන් රටට බලපාන ආකාරය ගැනත් හිතන්න ඕන. අපි හුදකලා වුනු රටක් නොවෙයි. අපේ රටේ අධිකරණ පද්ධතිය දූෂිතයි කියල කෑගහල කියනකොට ලෝකය එය කොයි විදියට භාර ගනීවිද ? අපි අපටමයි හානි කරගන්නේ. කවද හරි ඒවා තමයි අල්ල ගන්නේ මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන අන්තර්ජාතික ප්‍රජාව."

එබැවින් ඇතැම් සිදුවීම් මාධ්‍යයට හෝ දේශපාලකයාට අවැසි ආකාරයට "පාවිච්චි කිරීමට" ඉඩ නොදිය යුතු බවත් එහි හානිය දීර්ඝ කාලීනව බලපානු ඇත්තේ රටට මිස "හඬ පටිගත කළ පුද්ගලයාට" නොවන බවත් ඇය අවධාරණය කළාය.

"ස්වාධීන කොමිසම් දාලා ජනාධිපතිවරයාගේ බලතල අඩු කළත් ඉන් ප්‍රතිඵල ලැබෙනව ද කියන එක ප්‍රශ්නයක්. ඒ කොමිෂන් ඇත්තටම ස්වාධීන ද කියන එකත් ප්‍රශ්නයක්."

මේ ප්‍රශ්නය විසඳෙන්න ඕනේ නම් අධිකරණයට ස්වාධීනව කටයුතු කරගෙන යාම සඳහා දේශපාලන අධිකාරිය ඉඩ දෙන්න ඕන. අධිකරණයේ හෝ පොලිසියේ ඕනෑම නිලධාරියෙක් වරදක් කරලා තිබුනොත් දැඩි දඬුවම් ලැබෙන වට පිටාවක් හැදෙන්න ඕනා. එදාට මේ බිඳුණු විශ්වාසය යළි ගොඩනැගෙයි." ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී මාධවී හේරත් පැවසුවාය.

"විනිසුරුගේ දුක්ගැනවිල්ල"

අධිකරණයේ ස්වාධීනත්වයට හානි කෙරෙන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ 'කතන්දර' දේශපාලන ඉතිහාසයේ නොයෙකුත් පරිච්ඡේදවල ලියැවී තිබේ.

"බලයේ සිටින පාර්ශවයට වාසිදායක වන ආකාරයට හෝ විරුද්ධ පාර්ශවයට අවාසි සහගත වන ආකාරයට හෝ අධිකරණය සහ පොලිසිය හැසිරවීම ලංකාවේ අද ඊයේ සිද්ධවුණු දෙයක් නොවෙයි. රන්ජන්ගේ හඬපට හරහා ඒවා එළියට ආපු එක විතරයි වුණේ." නීතිවේදිනී සජීවනී අබේකෝන් පැවසුවාය.

විනිසුරුවරයෙකු හෝ විනිසුරුවරියක තමන්ට හිමි උසස්වීම ලබා ගැනීම සඳහා දේශපාලනඥයෙකු ළඟ දණ නැමීමට පෙළඹේ නම් එය සොයා බැලිය යුතු කරුණකි.

නමුත් තමන්ට ලැබිය යුතුව තිබූ උසස්වීමක් නොලැබී යන්නේ ඇයි ද? යන ප්‍රශ්නයත් "රන්ජන් රාමනායක වගේ කෙනෙකු ඉදිරියේ එය කියා පාන්නට සිදු වූයේ ඇයි ද?" යන්නත් ඊට පෙර සොයා බැලිය යුතු බව නීතීඥ සජීවනී අබේකෝන් ගේ අදහසයි.

එසේනම්, විනිසුරුවන්ට තමන්ගේ දුක්ගැනවිල්ල කියා යුක්තිය ඉෂ්ඨ කරගැනීමට තරම් වූ ස්වාධීන තැනක් හෝ 'ඔම්බුඩ්ස්මන්වරයෙකු' ශ්‍රී ලංකාවේ නොමැති ද?

"අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත් කිරීමේ බලය මෑතක් වන තුරුම තිබුණේ ජනාධිපතිවරයා යටතේ. දැන් 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඒකට ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් අනුමැතියක් ඕන. නමුත් එතැනත් බලයේ සිටින දේශපාලනඥයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ඉන්නවා. ඒ කියන්නේ ඒකත් ඔය කියන තරමට ස්වාධීන නැහැ." නීතීඥවරිය පැවසුවාය.

"එතනම ප්‍රශ්නයක් තියෙනවනේ. විනිසුරුවන්ගේ තනතුරු සහ උසස්වීම් තීරණය කිරීම දේශපාලන අධිකාරියට තමයි පැවරිලා තියෙන්නේ. එහෙමනම් මුල ඉඳලම හැදෙන්න ඕන. අධිකරණයේ තනතුරු හා උසස්වීම් දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව සිදුවිය යුතු ක්‍රමයක් හැදෙන්න ඕන." ඇය තවදුරටත් කියා සිටියාය.

උසාවියේ රස්තියාදුව

කෙසේ නමුත් දේශපාලන මැදිහත් වීමක් නොමැති නඩු විභාගවල දී අධිකරණයෙන් ජනතාවට සාධාරණ තීන්දු ලැබෙන බව ඇය අවධාරණය කරන්නීය.

ඉදිරිපත් වන සාක්ෂි මත පමණක් පදනම් වී ලබා දෙන ඇතැම් නඩු තීන්දු සාධාරණ නොවිය හැකි බව ඇයගේ පිළිගැනීමයි. ප්‍රංශය වැනි ඇතැම් රටවල පවතින 'විමර්ශනවාදී නීති ක්‍රමයක' ඇති වැදගත්කම ද ඇය මෙසේ පැහැදිලි කළාය.

"ඇතැම් රටවල නම්, සාක්ෂිවලින් එහාට ගිහින් උසාවියත් එලියට බැහැල විමර්ශනය කරල බලනවා ඇත්තටම මොකක්ද වුණේ කියල. එහි ප්‍රතිඵලත් සලකා බලල තමයි ඇතැම් නඩු තීන්දු දෙන්නේ. අපේ එහෙම ක්‍රමයක් නැහැ. සාක්ෂි දුර්වලනම් වැරදිකාරයා නිදහස් වෙන්න පුළුවන්."

ඒ විතරක් නොවෙයි මනුස්සයෙකුට ලේඛනයක් ගන්න ඕන වුනත් දවස් ගානක් උසාවියේ රස්තියාදු වෙන්න ඕන. අධිකරණයේ කාර්යක්ෂමතාව වත් වැඩි කරගන්න අදාළ අමාත්‍යංශයට බැරිවෙලා තියෙනවා" නීතිවේදී සජීවනී අබේකෝන් ප්‍රකාශ කළාය.

රාජ්‍ය පාලනය සහ යහපාලනය

අධිකරණය පිළිබඳව කතා කිරීමට එකඟ වූ තවත් නීතිවේදිනියක් සිය විග්‍රහය ආරම්භ කළේ "ඇයි අපිට අධිකරණය ගැන මෙහෙම කතා කරන්න සිද්ධවෙලා තියෙන්නේ?" යනුවෙන් පෙරළා ප්‍රශ්න කරමිනි.

"ආණ්ඩුක්‍රමය කියන දේ තුළ පසු කාලීනව රාජ්‍ය පාලනය කියන සංකල්පයක් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. රාජ්‍ය පාලනයේත් බොහෝ දුර්වලතාවයන් දකින්න තිබෙනවා. නිලධාරිවාදය, භීෂණය, අනම්‍ය වූ තීරණ, යල් පැනගිය නීතිරීති වගේ දේවල්. ඒ වගේම ආණ්ඩු මාරුවෙනකොට ම ජාතික ප්‍රතිපත්තිත් මාරු වෙන්න ගත්තා." නීතිවේදිනී නදීජා ඩයස් සිය පැහැදිලි කිරීම ආරම්භ කළාය.

"ඊට පස්සේ මේ රාජ්‍ය පාලනය නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක වෙමින් පවතින විට නව රාජ්‍ය කළමනාකරණය කියල සංකල්පයක් ඇති වෙනවා. ඒ හරහා රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා මාර්ග සොයන්න ගන්නවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි යහපාලනය නැත්නම් Good Governance කියන සංකල්පය ඇතිවෙන්නේ."

යහපාලනයේ මූලික ලක්ෂණ තුනක් ලෙස ඇය හඳුන්වා දෙන්නේ නීතියේ ආධිපත්‍යය, පාරදෘශ්‍යභාවය සහ වගවීම යි.

මෙහිදී නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක විය යුත්තේ අපක්ෂපාතී නෛතික රාමුවක් තුළ බවත් ඒ තුළ ස්වාධීන අධිකරණයක් සහ දූෂණයෙන් තොර පොලිසියක් තිබීම අත්‍යවශ්‍ය බවත් ඇය පැහැදිලි කළාය.

"දැන් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ මේ තත්ත්වය බිඳ වැටිල ද කියන එකනේ."

"නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය වන පාර්ලිමේන්තුවට යවන නියෝජිතයන් ජනතාව අපේක්ෂාකරන දේ නිසි ලෙස ඉටු කළ යුතුයි. එය ඉටු කරන පිරිසක් එතන සිටිය යුතුයි. ඒ වගේම තම නිලයට අදාළ රාජකාරිය නිසි ලෙස ඉටු කරන නිලධාරීන් පිරිසක් සිටිය යුතුයි." නීතිවේදිනී නදීජා ඩයස් පැවසුවාය.

"මේ කියන සිස්ටම් එකේ බිඳී යාමක් තමයි අද මේ අප භුක්ති විඳින්නේ."

කළු ලෝගුව

මෙම කාර්යභාරය අරභයා නීතීඥයන් සතු වගකීම සහ ක්‍රියාකලාපය කෙරෙහි ද ජනතාව ප්‍රශ්න කරනවා නොවේදැයි බීබීසී සිංහල සේවය විමසූ විට ඇය පෙන්වා දුන්නේ "නීතිඥවරුන් පවා තම වෘත්තීය භාවය ආරක්ෂා වන පරිදි" රාජකාරි කළ යුතු බවය.

"ඔවුන් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. මේ ආකාරයට කටයුතු කරන අයට තමයි අපි නීතිඥයෙක් කියල කියන්නේ. කළු ලෝගුව දාගත්ත පමණින් එයා නීතිඥයෙක් වෙන්නේ නැහැ."

එසේ කටයුතු නොකරන ඕනෑම වෘත්තිකයෙකුට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නෛතික ක්‍රමවේදය ද ශක්තිමත් විය යුතු බව ඇය අවධාරණය කළාය.

වෘත්තිකයන්, නිලධාරීන් ස්වකීය වෘත්තියේ හා තනතුරේ ගෞරවය ආරක්ෂා වන ලෙස වෘත්තීයභාවයකින් ස්වකීය කාර්යභාරය ඉටුකළ යුතුයි. එසේ නොකරන ඕනෑම අයෙකුට විරුද්ධව ක්‍රියා කිරීමට ඇති ක්‍රමවේදය ද ශක්තිමත් විය යුතුයි.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර