මානව හිමිකම්: එක්සත් ජාතීන්ගේ යෝජනාවෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට අවාසි ද?

Image copyright Getty Images
Image caption එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීම සඳහා ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිවූ බව බ්‍රහස්පතින්දා (පෙබ:20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

"ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ අපේ රටත් අත්සන් කරල ඉදිරිපත් කළ යෝජනාවෙන් ඉවත් වීම සඳහා වෙනත් රටවල සහයෝගයත් ලබාගෙන ඒ ඉවත් වීමට අදාළ කටයුතු විදේශ කටයුතු ඇමතිතුමා විසින් රට වෙනුවෙන් ජාතික වගකීමක් ලෙස ඉෂ්ට කිරීමේ කර්තව්‍යයට අපේ පූර්ණ සහයෝගය සියලු ම කැබිනට් ඇමතිවරු ඒකමතිකව ලබා දුන්නා."

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බදාදා (පෙබ:19) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට ආණ්ඩුව තීරණය කර ඇති," බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මතු කළ කරුණු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවක කරුණු රැසක් මතු කර තිබේ.

ඇය එම වාර්තාවෙහි සඳහන් කර ඇත්තේ, 30/1 යෝජනාවට අනුකූලව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබා ඇති බවය.

එහෙත්, ශ්‍රී ලංකා ආණ්ඩුව දඬුවම් ලබා දීමට අපොහොසත් වීම හා ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට දක්වන නොහැකියාව නිසා මානව හිමිකම් උල්ලංඝණයවීම් නැවත ඇති වීමට හේතු විය හැකි බව එහි සඳහන් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක 30/1 යෝජනාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

කුමක් ද මේ 30/1 යෝජනාව?

Image copyright Sudath Silva

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති කරුණු 9ක් තිබේ.

  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  • සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  • අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  • විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  • අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  • ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම

මේ අතර, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම ද නිර්දේශ අතර විය.

මින් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කර ඇති අතර ඇතැම් ඒවා ක්‍රියාත්මක වී නැත. දුර්වල මට්ටමින් ක්‍රියාත්මක වන නිර්දේශයන් ද පවතී.

ඇමෙරිකාව ඉවත් වුණේ ඇයි?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය "දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්" බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත්වන බවට 2018 වසරේ ජූනි මාසයේදී නිවේදනය කළේය.

"කුහක සහ ආත්ම ලාභය" වෙනුවෙන් ක්‍රියාකරන මානව හිමිකම් මණ්ඩලය "මානව හිමිකම් සමච්චලයට ලක්කරන" බව ද එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජිතවරිය වන නිකී හේලි (Nikki Haley) සඳහන් කළාය.

මෙම තත්ත්වය උද්ගත වූයේ, ඇමෙරිකානු මෙක්සිකෝ දේශ සීමාවේදී ළමා සංක්‍රමණිකයන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මතය.

එය එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විග්‍රහ කර තිබුණේ "අයුක්තිසහගත කටයුත්තක්" ලෙසය.

එහෙයින් එසේ ඇති වූ තත්ත්වය තුළ 30/1 යෝජනාවලියේ සම අනුග්‍රාහකයෙකු වූ ඇමෙරිකාව එක්සත් ජනපදය මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නියෝජනය නොකරයි.

යෝජනාවලියෙන් ඉවත් වුණොත් කුමක් වෙයි ද?

"මේ යෝජනාවලියෙන් ඉවත් වුණා කියල කිසි ම ගැටලුවක් ශ්‍රී ලංකාවට සිද්ධ වෙන්නෙ නෑ. මේකේ සම අනුග්‍රායකයෙක් වුණු ඇමෙරිකාවත් දැන් මානව හිමිකම් මණ්ඩලයේ නෑ. මේ යෝජනාවලිය අපට විරුද්ධව අපි ම අනුග්‍රහය දක්වපු යෝජනාවලියක්. පරක්කු වෙලා හරි මේ ගත්ත තීරණය හොඳයි," මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ මේ වන විට ජැමෙයිකාවේ කින්ස්ටන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා බීබීසී සිංහල සේවයට පැවසීය.

Image copyright Prathibha Mahanamahewa/Facebook
Image caption ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

ඔහු ප්‍රකාශ කළේ, යෝජනාවලියෙන් ඉවත් වීමේදී ශ්‍රී ලංකා රජය බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවය.

"මේ යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය එකපාරට ම ඉවත් වෙලා හරියන්නේ නෑ. මානව හිමිකම් කවුන්සිලයේ අපට හිතවත් රටවල් තියෙනවා. ඒ අතරින් පකිස්තානය එක් රටක්. අපි ඒ වගේ රටවල් සමග සාකච්ඡා කරල යෝජනාවෙන් ඉවත් විය යුතු බවට ඔවුන් ලවා යෝජනාවක් ගේන එකයි කළ යුත්තේ. එහෙම කළොත් අපට ජාත්‍යන්තර සහය ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව අපි එකපාරට ම ඉවත් වෙන එක කරන්න හොඳ නෑ," ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වලට කුමක් වෙයි ද?

ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවයට පැවසීය.

Image caption ආචාර්ය දීපිකා උඩගම

"දේශපාලනඥයෝ යම් යම් තීන්දු ගන්නවා. ඒ ගැන අදහස් දක්වන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හැකියාවක් නෑ. රජය දේශපාලනිකව ඒ ප්‍රශ්නය දිහා බලන්නේ. ඒක දේශපාලනික තීරණයක්. ඒ තීරණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කිසි ම ආකාරයකින් බලපාන්නේ නෑ."

ඇය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයට ඉන් කිසිදු බලපෑමක් නොවන බවය.

"අපි නිරත වෙලා ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරනව ද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද? ආදී අධීක්ෂණ ක්‍රියාවලියකයි. ඒ කටයුතු ඉදිරියටත් සිදුවෙනවා. මේක ස්වාධීන ආයතනයක්."