ශ්‍රී ලංකාවේ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවල 'වැඩිවීමක්'

Deaths by electrocution in Sri Lanka Image copyright Getty Images
Image caption 2019 දී ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ගෝලීය මිණුම් දණ්ඩට වඩා පස් ගුණයකින් වැඩිය

2019 වර්ෂයේ දී විදුලි සැර වැදීම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මරණ 103 ක් වාර්තා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ දකුණු පළාතෙන් වන අතර, අවම සංඛ්‍යාව බස්නාහිර පළාතෙනි. 2019 වර්ෂය ඇතුළත දකුණු පළාතේ විදුලි සැර වැදීම් හේතුවෙන් මරණ 30 ක් වාර්තා විය.

2015-19 කාලපරිච්ඡේදය තුළ විදුලි සැර වැදීම් හේතුවෙන් දකුණු පළාත තුළ මරණ 97 ක් වාර්තා වී ඇති අතර එය එම කාලය තුළ වෙනත් පළාත් සමග සංසන්දනය කිරීමේ දී රටෙහි ඉහළම අගයයි.

වගා ආරක්ෂා කිරීම හෝ වන සතුන් දඩයම් කිරීම සඳහා නීතිවිරෝධී ලෙස විදුලි රැහැන් ඇදීම මෙම මරණවලට ප්‍රධානතම හේතුව ලෙස වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව, නිවසේ / සේවා ස්ථානයේ විදුලි අලුත්වැඩියා කටයුතු සහ විදුලි රැහැන් අසල ක්‍රියාකාරකම් ද මෙම මරණවලට තවත් හේතුවක් වී තිබේ.

අන්තර්ජාතික මිණුම් දණ්ඩට අනුව, විදුලි සැර වැදීමෙන් මිය යන්නේ පුද්ගලයන් මිලියනයකින් එක් අයෙකු පමණි. නමුත්, 2019 දී ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ගෝලීය මිණුම් දණ්ඩට වඩා පස් ගුණයකින් වැඩිය.

"2012 වර්ෂයේ විදුලිය වැදීම නිසා 180ක් පමණ මිය ගියා. නමුත් විවිධ නීති රීති රෙගුලාසි සහ පොලිසිය, පාසල්වල පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් පසු 2013 වසර වෙන විට මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වුණා. නමුත් 2019 වර්ෂය වන විට නැවතත් මෙම තත්ත්වය නරක අතට හැරෙන්න පටන් ගෙන තිබෙනවා," මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

Image copyright Getty Images
Image caption 2019 දී වාර්තා වූ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවලින් 86% ක් පුරුෂයන්ය

"දැන් මේ තත්ත්වයට නීති රීති රෙගුලාසිවලින් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. එයට ආරම්භයක් ලෙස අපි මහනුවර සමීක්ෂණයක් පැවැත්වූවා. එහිදී දැනගන්න ලැබුණා 50%ක් පමණ නිවාසවල පැන්නුම් ස්විචය (trip switch) නැහැ නැත්නම් වැඩ කරන්නේ නැහැ."

"මෙය ඉතා අවදානම් තත්ත්වයක්. නිවසක පැන්නුම් ස්විචය ක්‍රියාකාරීත්වයෙන් විදුලිසැර වැදීම්වලින් සිදුවන මරණ වළක්වා ගන්න පුළුවන්."

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2019 දී වාර්තා වූ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවලින් 86% ක් පුරුෂයන් වන අතර, 2018 දී එය 83%ක්ව පැවතියේය.

රට තුළ විදුලි සුරක්‍ෂිතතාව නංවාලීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරක්ෂක රෙගුලාසි ගණනාවක් මේ වන විට හඳුන්වා දෙමින් ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම, විදුලිය සුරක්‍ෂිතව භාවිත කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු ගම්මාන නියෝජනය කරමින් ජාතික ආරක්ෂක තානාපතිවරුන්ගේ ජාලයක් ගොඩනැගීමට ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ 96%ක් නිවෙස්වලට විදුලි බලය ඇති අතර, ඒ සියල්ල නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය වන බව ජයනාත් හේරත් තවදුරටත් පැවසුවේය.

"විදුලිය භාවිතය රට පුරා සෑම නිවසකම ප්‍රමිතියකින් යුතුව සිදු වන්න ඕනේ. මේ සඳහා අපි අලුත් වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නවා. අපි කළ සමීක්ෂණ අනුව සෑම ගමකම විදුලි කාර්මිකයන් දෙන්නෙක්වත් සිටින බව හෙළි වී තිබෙනවා."

"ඒ අය ලියාපදිංචි කර බලපත්‍රයක් නිකුත් කර, ගමේ විදුලි ආරක්ෂණ තානාපතිවරු ලෙස කටයුතු කිරීමට ඔවුන් යොමු කිරීම අපේ අරමුණයි. ඒ අය අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන් විදුලි ආරක්ෂණය ගැන දැනුවත් කළ යුතුයි."

Image copyright Getty Images

මේ වන විට දිස්ත්‍රික්ක 14ක විදුලි කාර්මිකයන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම් පත් 11,450ක් යොමු කර ඇති අතර, කඩිනමින් ඉතිරි දිස්ත්‍රික්කවල ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

"ට්‍රිප් ස්විච්' එක කියන්නේ මොකක්ද දන්නේ නැහැ"

නිට්ටඹුව ප්‍රදේශයේ දිවි ගෙවන විශ්‍රාමික විදුලි කාර්මික ශිල්පියෙකු වන විජිත මාන්නප්පෙරුම බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් හෙළි කළේය.

"මම අවුරුදු 40කට වැඩි කාලයක් ගෙවල්වල ඉලෙක්ට්‍රික් වැඩ කළා. බොහොම කණගාටුයි කියන්න, බොහෝ මිනිස්සු විදුලි සැර වැදීම් ගැන දැනුවත් නැහැ. මම වැඩ කරලා තියෙන 60%ක් විතර ගෙවල්වල වයර් ඇදලා තිබුණේ අපිළිවෙළට."

"ඒ වයර් කිසිම ආරක්‍ෂිත ආකාරයකට ආවරණය කරලා තිබුණේ නැහැ. ඒ වගේම ට්‍රිප් ස්විච් හදලා තිබුණට වැඩ කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මොකක්ද කියල මිනිස්සු දන්නේ නැහැ," ඔහු පැවසුවේය.

2019 වසරේ දී මාරාන්තික අනතුරුවලට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයස්වල පසුවූවන් ය.

"ඒ වගේම තමයි විදුලි වැඩ කරන මම වගේ අයත් ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවා බොහොම අඩුයි. අපිට අවශ්‍ය දැනුම තිබුණට, අවශ්‍ය ඇඳුම් පැළඳුම් ගන්න තරම් ආර්ථික පසුබිමක් නැහැ, එහෙම නැත්නම් උවමනාවක් නැහැ."

Image copyright Getty Images
Image caption අප ශරීරයේ කොටසක් විදුලිය ගමන් කරන පරිපථයේ කොටසක් වූ විට විදුලි සැර නිසා හානි සිදු වීමට ඉඩ ඇත

"දැන් රජයේ ආයතන මැදිහත් වෙලා මේ ගැන දැනුවත් කිරීම් ආරම්භ කිරීම බොහොම වටිනවා. නැත්නම් නිකරුණේ මිනිස්සු මැරෙනවා. හැබැයි සත්තු එළවන්න හොරෙන් කරන්ට් වැට හදන එක වෙනම කතාවක්," විජිත තවදුරටත් පැවසීය.

විදුලි සැර වැදීම යනු කුමක් ද?

සරල ලෙස කිවහොත්, විදුලි සැර වැදීමක දී සිදු වන්නේ යම් පුද්ගල හෝ සත්ත්ව ශරීරයක් හරහා විදුලිය ගමන් කිරීමය. එමඟින් ක්ෂණිකව ශරීරයේ ඇතිවන උත්තේජනය හේතුවෙන් හිරිවැටීම, පිලිස්සුම් තුවාල, වේදනාව සහ මරණය ද සිදු විය හැකිය.

විදුලි ධාරාවක් ගලා යෑමට සෑම විටම විභව අන්තරයක් හා සංවෘත පරිපථයක් (Closed Circuit) අවශ්‍ය වන අතර, ප්‍රතිරෝධය අවම මාර්ගයේ ගමන් කිරීම සිදු වේ.

අප ශරීරයේ කොටසක් විදුලිය ගමන් කරන පරිපථයේ කොටසක් වූ විට විදුලි සැර නිසා හානි සිදු වීමට ඉඩ ඇත.

පොළොව ශුන්‍ය විභවයක් දැරීම හේතුවෙන්, යම් ලෙසකින් විදුලිය ගමන් කරන පරිවරණය නොකල සන්නායකයක් අප ශරීරයේ ස්පර්ශ වුවහොත්, එම ස්ථානයේ සිට පොළොව දක්වා විභව අන්තරයක් ඇති වේ.

විදුලි සැර වැදීම දෙයාකාරයකට සිදු විය හැකිය. එනම්,

  • සෘජු විදුලි සැර වැදීම
  • අනියම් විදුලි සැර වැදීම

සෘජු විදුලි සැර වැදීම

සජීවී සන්නායකයක් (Live wire) හෝ සජීවී විදුලිය ඇති යම් උපකරණයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්පර්ශ වීමෙන් විදුලි සැර වැදීම සිදු විය හැකිය.

Image copyright Getty Images

මෙමගින් බරපතල හානි හෝ මරණය පවා සිදු විය හැකි නමුත්, නිවසක හෝ වෙනත් ගොඩනැගිල්ලක පැන්නුම් ස්විචය (Trip Switch) නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම තුළින් අනතුර වළක්වා ගත හැකිය.

අනියම් විදුලි සැර වැදීම

කිසියම් ලෝහමය විද්‍යුත් උපකරණයක පිටත රාමුවට විදුලිය කාන්දු වී තිබෙන අවස්ථාවක එය ස්පර්ශ කිරීම තුළින් විදුලි සැර වැදීම සිදු විය හැකිය.

නිවසේ ඇති බොහෝ විද්‍යුත් උපකරණවලින් මෙවැනි විදුලි සැර වැදීම සිදු වන අතර, නිවසේ විදුලි තන්තු නිවැරදිව භූගත (Earth) නොකිරීම මෙයට හේතු වේ. නිවැරදි ලෙස භූගත කර ඇත්නම් විදුලි ධාරාව ශරීරය තුළින් නොයා භූගත වයර (Earth Wire) ඔස්සේ ගමන් කිරීම සිදු වේ.

මේ තොරතුරුද කියවන්න:

සබැඳි විෂයයන්