කොරෝනා වෛරසයෙන් වැළකීමට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද?

Image copyright Getty Images

"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම් කොරෝනාවෛරසය හැදෙන්නෙ නෑ ලු!"

"කෙනෙක් බෙහෙතක් හොයාගෙන තියෙනව කොරෝනාවෛරසයෙන් බේරෙන්න."

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු කොරෝනාවෛරසයෙන් බේරීම සම්බන්ධයෙන් මෙවැනි දෑ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු දැකිය හැකිය.

ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය තුළින් මෙවැනි උපදෙස් බහුල වශයෙන් සංසරණය වෙමින් තිබේ.

සැබවින් ම මෙම කතාවල සත්‍යතාවක් තිබේ ද? මෙම ලිපියෙහි අරමුණ ඒ පිළිබද යම් විමසීමක් කිරීමය.

සුදුලූණු සහ ඉගුරු කෑමෙන් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා විය හැකි ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, සුදුලූණුවල "යම් ප්‍රමාණයකට ක්ෂුද්‍ර ජීවී නාශක ගුණයක් පැවතිය ද, සුදුලූණු ආහාරයට ගැනීමෙන් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති," බවය.

සුදුලූණු ආහාරයට ගැනීම හානිදායක නොවන නමුත්, ඒවා වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා යම් අපහසුතාවන්ට මුහුණ පෑ පුද්ගලයින් පිළිබදව මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

අමු සුදුලූණු කිලෝග්‍රෑම් 1.5ක් ආහාරයට ගැනීමෙන් පසු උගුරේ ආසාදනයක් ඇති වූ කාන්තාවක පිළිබදව 'ද සවුත් චයිනා මෝර්නිං පෝස්ට්' පුවත්පත වාර්තා කර තිබිණි.

පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමෙන් සහ හොදින් ජලය පානය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකි බවට පොදු පිළිගැනීමක් පැවතිය ද, කොරෝනාවෛරසයෙන් ආරක්ෂා විය හැකි ආහාරයක් පිළිබඳ සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැත.

බෙහෙත් වට්ටෝරු

එක් "භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් හෙළි කළ" බව පවසමින් බෙහෙත් වට්ටෝරුවක් සම්බන්ධයෙන් යූටියුබ්හි පළ කරන ලද වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එම භික්ෂුව පවසන්නේ, එම ඖෂධය කොරෝනාවෛරසය ඇතුළු රෝග රැසකට ප්‍රතිකාරයක් වශයෙන් භාවිත කළ හැකි බවය.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ වන තෙක් කොරෝනාවෛරසයට නිසි ඖෂධයක් සොයාගෙන නොමැති බවය.

උණු ජලය පානය කිරීම

උණු ජලය පානය කිරීම සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම මගින් කොරෝනාවෛරසය විනාශ කළ හැකි බවට ද සමාජ මාධ්‍යවල අදහස් පළ කර තිබිණි.

එම අදහස් සංසරණය කරනු ලැබ ඇත්තේ, යුනිසෙෆ් සංවිධානය උපුටා දක්වමිනි.

කෙසේ වෙතත්, යුනිසෙෆ් සංවිධානය නිවේදනය කළේ, අදාළ වාර්තා සිය ආයතනයේ අනුදැනුමකින් යුතුව පළ කළ ඒවා නොවන බවය.

"වෛරසයක් විනාශ වෙන්න නම් සෙල්සියස් අංශක 60කට වැඩි උෂ්ණත්වයක් අවශ්‍යයි. ඒ උෂ්ණත්වය සුදුසුයි ඇදුම් හෝදන්න. ඒත් එවැනි උෂ්ණත්වයකින් ශරීරය පිරිසුදු කිරීම සුදුසු නැහැ," සනීපාරක්ෂාව පිළිබද ලන්ඩන් විද්‍යායතනයේ මහාචාර්ය සැලී බ්ලූම්ෆීල්ඩ් පවසයි.

"පදනමක් නැති උපදෙස්"

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් පළ වන "පදනමක් නොමැති උපදෙස් නොපිළිගන්නා," ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

"විවිධ දේවල් සමාජ මාධ්‍යවල පළ වෙලා තියෙනවා. ඒත් ඒ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු පිළිගත් ආයතනවලින් නිකුත් කරපු ඒවා නෙවෙයි. දැනට කිසි ම ඖෂධයක් සොයාගෙන නැහැ මේකට. ඒ නිසා ඔය උපදෙස් ගැන විශ්වාස කළ යුතු නැහැ. හැම තිස්සෙ ම නිල උපදෙස් පමණක් විශ්වාස කළ යුතුයි."

ඔහු වැඩිදුරටත් පැවසුවේ, යම් තොරතුරක් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඇමතිය හැකි බවය.

මේ අතර, සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව බ්‍රහස්පතින්දා (මාර්තු 12) පොලිසිය නිවේදනය කළේය.

මේ තොරතුරුද කියවන්න: