කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආදාහන: "මගේ පවුලට වෙච්ච දේ මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙන්න එපා"
- සරෝජ් පතිරණ
- බීබීසී සිංහල

ඡායාරූප මූලාශ්‍රය, NAushad Rafaideen
මියගිය අබ්දුල් හමීඩ් මොහමඩ් රෆෛදීන් (දකුණේ), නවුෂාඩ් (මැද) ඇතුළු සිය දරු, දැරියන් සමඟ
ෂෆීක් ගේ කතාව
"මගේ පවුලට වෙච්ච දේ මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙන්න එපා මහත්තයා."
පසුගියදා දිවියෙන් සමුගත් සිය බිරිඳ, 44 හැවිරිදි ෆාතිමා රිනෝසා ගැන මොහමඩ් ෂෆීක් එසේ මා සමඟ වේදනාවෙන් යුතුව විස්තර කළේ වරෙක හඬමින්, යළි සිහි එලවා ගනිමිනි.
51 හැවිරිදි ඔහු පස් දරු පියෙකි.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක කොරෝනාවෛරසය වැළඳී මියගිය බව පසුගිය මැයි 05 වෙනි දින බලධාරීහු නිවේදනය කළහ. ඒ ඔහුගේ බිරිඳගේ මරණය ගැනය.
"මිනිස්සු හරියට බොරු කියනවා මහත්තයා. මීඩියා කිවුවේ සේරම බොරු."
ෆාතිමා මියගියේ කොරෝනාවෛරසය වැළඳීමෙන් බව තහවුරු වී ඇතැයි බලධාරීන් මෙතෙක් ඔවුන්ට දැනුම් දී නැත. ඔවුන්ට පවසා තිබෙන්නේ රෝගය වැළඳී ඇත්දැයි සැකයක් තිබෙන බව පමණය.
එහෙත් ඊට පසුදිනම ඇයගේ දේහය ආදාහනය කෙරිණ.
"මගේ නෝනට කොරෝනා නෑ මහත්තයා. එයාට කොරෝනා නෑ කියල තමයි අයිඩීඑච් එකෙන් රිපෝට් එක යවල තියෙන්නේ."
ඔහු ෆාතිමා ආවාහ කරගෙන තිබෙන්නේ මීට අවුරුදු 28 කට ඉහතදීය.
"අපි තේ බොන්නේ එක කෝප්පේ. කන්නේ එක පිඟානේ. එයාට කොරෝනා තිබුණ නම් මටත් දැන් කොරෝනා තියෙන්න ඕන."
"අපි කාටවත් කොරෝනා නෑ මහත්තයා. මේ ගමේම නෑ."
එහෙත් නිවසට වී ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස ඔවුන්ට උපදෙස් ලැබී තිබේ.
"මට කිසිම භාෂාවක් බෑ මහත්තයා. මම ඉගෙනගත්තු මිනිහෙක් නෙමෙයි. මම ත්‍රී වීල් හයර් කරලා පදිනවා. අයිතිකාරයට දවසට රුපියල් 500 ක් දෙනවා. මිනිස්සු කොයිතරම් බොරු කීවද? මම චූන් පාන් කාරයෙක් කීව. කොරෝනා පතුරුවනව කීව."
ඔහුට යළිත් ඉකි ගැසෙයි.
ඔහු පවසන පරිදි ෆාතිමා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමුකරනු ලැබ තිබෙන්නේ කැස්සක් සහ "සෙම අමාරුව" හේතුවෙන් කොළඹ මහ රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුවය.
'බල්ලෝ වගේ බස් එකක පටවගෙන ගියා'
ඒ සමඟම ඔහුගේ නිවස වෙත පැමිණි පොලිසිය, හමුදාව ඇතුළු බලධාරීහු "විනාඩි දහයෙන්" ඔවුන් නිවසෙන් එලියට දමා නිවසේ ගෘහභාණ්ඩ ඇතුළු සියල්ලට "බෙහෙත් ගැසුවේ" ඔවුන්ට කිසිවක් පහදා දීමෙන් තොරවය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපිට මොනවත් කීවේ නෑ. අපිව එළියෙන් වාඩි කරලා හැමෝගෙම කටට කටුවක් දාල බැලුව. නහයට මොකක්ද දාල කරකවල බැලුව. ඊට පස්සේ අපිව බල්ලෝ වගේ බස් එකක පටවාගෙන ගියා."
ෂෆීක් කරන විස්තරය මඳක් පැටලිලි සහිතය. ඔහුට වරින්වර ඉකි ගැසෙයි.
ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත් හිටපු රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා මා සමඟ කියා සිටියේ ඒ අවස්ථාවේ ඔවුන්ට සලකා තිබෙන්නේ "ත්රස්තවාදීන්ට සලකන ආකාරයට වගේ" බවය.
'හමුදාව හොඳට සැලකුවා'
වැලිකන්ද හමුදා කඳවුරට රැගෙන යාමෙන් අනතුරුව එහිදී හමුදා නිලධාරීන් තමන්ට ඉතා හොඳින් සැලකූ බව ෂෆීක් කෘතවේදීව පවසයි. නිදහසේ සිය ආගමික කටයුතු කරගැනීම පිණිස හමුදා බලධාරීන් ඔවුන්ට වෙනම නිවසක් ද වෙන්කර දී තිබේ.
ඊට පසු දින උදෑසන ආහාරයෙන් පසු ඔවුන්ට හදිසි පණිවුඩයක් ලැබිණ.
"දවල්ට කෑම කාල ආපහු යන්න සූදානම් වෙන්න කියල අපිට දැනුම් දුන්න."
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේ යළි පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට නිවසින් එලියට නොබැස සති දෙකක් නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස ප්‍රදේශයේ පොලිසියෙන් උපදෙස් ලැබිණ. තවමත් ඔවුන්ට නිවසින් එලියට බැසීම තහනම්ය.
ෆාතිමා මියගොස් ඇති බව ඔවුන්ට දැනගැනීමට ලැබෙන්නේ ඒ අතරවාරයේය.
ඇය මිය ගියේ කෝවිඩ් 19 රෝගය හේතුවෙන් දැයි සැකසහිත බැවින් පවුලේ සාමාජිකයින්ට ඇයගේ සිරුර භාරදිය නොහැකි බව දැනුම් දුන් බලධාරීන් රෝහලට පැමිණ අවසන් වතාවත් කිරීමට ෂෆීක් ගේ බාල පුතා සහ ඔවුන්ගේ මිතුරු මවුලවිවරයෙකුට අවසර දී තිබේ.
පුතා එහි යනවිට සාමාන්‍යයෙන් කොරෝනාවෛරස් ආසාදිතයින් සම්බන්ධයෙන් අනුගමනය කරන ආකාරයට ඇයගේ දේහය සීල් තබා තිබී නැත.
"අයිඩීඑච් එකෙන් කිවුවලු අපිට ලෙඩේ අඳුරගන්න බෑ කියල. එහෙම කියල බොඩි එක බලන්න දීල දැඩි සත්කාර ඒකකයට යන්න දීල තියෙනව. හැබැයි පුතාට සෙරෙප්පු ගලවන්න වත් කියල නෑ. බොඩි එක කපල බලන්න ඕනේ කීවලු. කොරෝනා තිබුන නම් බොඩි එක කපන්නේ ඇයි කියල පුතා අහනවා."
පුතා මවගේ දේහය බලා එය හඳුනාගෙන ඡායාරූපයක් ද ගෙන තිබේ.
"අම්මගේ ඇස්වල කඳුළු තිබුණ කියල පුතා කියනවා."
"මම ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි මහත්තයා, ඒත් මූණ බලන්න දුන්නේ කොහොමද එයාට කොරෝනා තිබුණ නම් ?" මොහමඩ් ෂෆීක් ප්‍රශ්න කරයි.
ෂෆීක් පවසන්නේ මතු වූ තත්වය හමුවේ ඉතා අකමැත්තෙන් වුවත් සිය පුතා, මවගේ දේහය ආදාහනය කිරීමේ ලියවිල්ලට අත්සන් තබා ඇති බවය.
"ඊට පස්සේ අපිට කිසිම දෙයක් කියන්නේ නැතුව පුච්චල දාල," ෂෆීක් විස්තර කරයි.
එහෙත් මාධ්‍යවේදිනී මරියම් අස්වර් ට්විටර් පණිවුඩයකින් පෙන්වා දෙන ආකාරයට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කරන කෝවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාලේඛනවලට තවමත් ඇගේ මරණය ද ඇතුළත් ය.
මාදම්පිටියේ නවුෂාඩ් ගේ කතාව
මෝදරවත්තේ විසූ 64 හැවිරිදි අබ්දුල් හමීඩ් මොහමඩ් රෆෛඩීන් පසුගිය මැයි 05 වෙනි දින හදිසියේම මියගොස් තිබෙන්නේ සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසේදීය.
අබ්දුල් හමීඩ් ගේ 72 හැවිරිදි සොහොයුරිය, අබ්දුල් හමීඩ් ෆව්සාල් ඉනායා සහ ඇයගේ පුතා ද ඔහු මියයන අවස්ථාවේ එම නිවසේ සිට තිබේ.
මළසිරුර කොළඹ මහ රෝහල වෙත රැගෙන යාමට සැරසෙද්දී අසල්වැසි නිවසක මියගිය සිංහල ජාතිකයෙකුගේ මළසිරුර ද එම වෑන් රථයේම රැගෙන යන මෙන් පොලිසිය ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බව ඔහුගේ බාල පුත් නවුෂාඩ් රෆෛදීන් මා සමඟ පැවසීය.
පසුදින කොළඹ මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේ සිය පියාට කෝවිඩ් 19 වැළඳී නැතත් සැක සහිත බැවින් මෘත ශරීරය භාරදිය නොහැකි බවත්, එය ආදාහනය කළ යුතු බවත් එහි සිටි වෛද්‍යවරයා නවුෂාඩ් ට දැනුම් දී තිබේ.
"අපි යනකොට තාත්තගේ බොඩිය අඳුරගන්නවත් බෑ. විරූප වෙලා, අතපය ඉදිමිලා, මූණෙන් ලේ ඇවිත්. මම අඳුරගත්තේ තාත්ත ඇඳගෙන හිටපු සරමෙන්."
38 හැවිරිදි නවුෂාඩ් ද දවසේ කුලියට ත්‍රී රෝද රථ රැගෙන කුලී දුවන රියදුරෙකි.
නවුෂාඩ් පවසන්නේ සිය පියාගේ දේහය රැගෙන ගියහොත් එහි අතුරු ඵල විපාකවලට ද මුහුණදීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරයා අනතුරු ඇඟවූ බැවින් බිය නිසා තමන් එහිදී කිසියම් ලියවිල්ලකට අත්සන් තැබූ බවය.
"ඒත් අපි අරගෙන ගියපු සිංහල කෙනාගේ බොඩි එක එම්බාම් කරලා, මල් ශාලාවේ තියල ඒගොල්ල භූමදාන කළා."
සිය පියා අවසන් හුස්ම හෙලූ මොහොතේ ඔහු සමඟ සිටි සිය නැන්දනියට හෝ ඇයගේ පුතාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් මතු වී නැති බවත් නවුෂාඩ් පවසයි.
ඔවුන් කිසිවෙකුටත් නිරෝධායනය වන මෙන් උපදෙස් ද ලැබී නැත.
කෝවිඩ් 19 වැළඳී ඇතැයි පවසමින් ඔහුගේ දේහය ආදාහනය කළ නමුත් "අද්භූත ලෙසින්" එය ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලට හෝ මාධ්‍ය වාර්තාවලට ඇතුළත් වී නැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල දැක්වෙන්නේ කෝවිඩ් 19 රෝගයෙන් මියයන පුද්ගලයන් ආදාහනය හෝ භූමදානය කළ හැකි බවය. ඒ ගැන පෙන්වාදෙන මාධ්‍යවේදීන්ට සහ ක්රියාධරයන්ට සමාජ ජාල ඔස්සේ අපහාස සහ තර්ජනවලට ලක්වීමට සිදු වී තිබේ.
මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් කළ පැහැදිලි කිරීමක් හේතුවෙන් ඇය 'ගණිකාවක්' බව පවසමින් ට්විටර් ජාලය ඔස්සේ අපහාස කර තිබුණි.
මේ අතර නීතිවේදිනී සොරායා ඩීන් පවසන්නේ, මුලින්ම මුස්ලිම් ජනතාවට කෝවිඩ් 19 පතුරුවන බවට මාධ්‍ය චෝදනා කළ අතර, දැන් එය බලහත්කාර ආදාහන දක්වා වර්ධනය වී ඇති බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය
ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය ආසාදනය වී මියගිය පළමු මුස්ලිම් ජාතිකයා පසුගිය මාර්තු 31 වෙනි දින මීගමුවෙන් වාර්තා විය.
ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙන ආකාරයට එතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද මාර්ගෝපදේශවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේදී කෝවිඩ් 19 රෝගයෙන් මිය යන පුද්ගලයෙක් ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව පවතින බවය.
එහෙත් එම නිර්දේශ සහ ඥාතීන්ගේත් ප්‍රජා නායකයින්ගේත් විරෝධය නොතකා ඔහු ආදාහනය කරනු ලැබිණ.
ඉන් අනතුරුව කෝවිඩ් 19 රෝගයෙන් මියයන සියලු දෙනා ආදාහනය කළ යුතු බව පවසමින් අදාළ නිර්දේශය සංශෝධනය කරනු ලැබ තිබේ.
මේ අතර ආදාහනය කිරීමේ තීරණය වෙනස් කරන ලෙස බොහෝ මුස්ලිම් නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්
එම ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, කොරෝනාවෛරසය ආසාදිතව මියයන පුද්ගලයන් භූමදානය කිරීමට ද අවකාශ සැලසෙන පරිදි ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කළහ.
ලොව රටවල් 182ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුව ආදාහනය සහ භූමිදානය යන අවමංගල චාරිත්‍ර දෙවිදිහටම ඉඩ සලසා දෙන ලෙස ඉතා පැහැදිලිව සඳහන් කර ඇතැයි පවසන පෙත්සම්කරුවෝ, "ලෝක ඉතිහාසයේ කිසිම දිනක මුස්ලිම්වරුන්ගේ දේහයන් කිසිදු රටක කොරෝනා වෛරසය හේතුවෙන් ආදාහනය කර නොමැති බවත්, එය ඉස්ලාම් ආගමට පටහැනි ක්‍රියාවක් බවත්," පවසති.
හිටපු රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා ද තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිචාරය
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් කියා සිටියේ, මෘතදේහයක් මගින් වෛරසය පැතිර යා හැකි බවට පැතිර පවතින මතය මිත්‍යාවක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී ඇති බවය.
ඒ අවස්ථාවේ එයට ප්‍රතිචාර දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ, කිසියම් රටක පවතින තත්වයන් යටතේ කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල දැක්වෙන බවය. ශ්‍රී ලංකාවේ ජල මට්ටම ඉහළ පැවතීම මෙන්ම භූමදානය සඳහා වැඩි කාලයක් ගතවීම සහ වැඩි පිරිසක් සහභාගි වීමද ගැටලුවක් බවත් ඔහු එහිදී සඳහන් කළේය.
මේ අතර මියගිය පුද්ගලයින් භූමදානය කිරීම ආරක්ෂා සහිත බව ප්‍රසිද්ධියේ සඳහන් කළ වෛද්‍ය ජාසිංහ විසින් ම දින කිහිපයකට පසුව ඒ සම්බන්ධ ආණ්ඩුවේ චක්‍රලේඛය පවා සංශෝධනය කරන ලද බව කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල්ලා සරූර් පෙන්වා දී තිබිණි.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර කියා සිටියේ, තමන්ට මියගිය රෝගීන් සම්බන්ධයෙන් වෙන වෙනම සඳහන් කළ නොහැකි වුවත්, මැයි 05 වෙනි දින මියගිය කාන්තාවට ද කෝවිඩ් 19 ආසාදනය වී තිබුණේය යන්න තවමත් සංශෝධනය වී නැති බවය.
කෙසේ වුවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ විද්වත් සංවිධානයේ සභාපති රවි කුමුදේශ් මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ෆාතිමා රිනෝසාට කොරෝනාවෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වී ඇති බවය.
කොරෝනාවෛරසයේ හැසිරීම ගැන තවමත් අධ්‍යයනය කරමින් පවතින බැවින් රෝගය ආසාදනය වූවන් සහ ආසාදනය වූ බවට සැක කරන රෝගීන් ද මියගිය පසු ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ නිල ස්ථාවරය බව විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත එම තීරණය ගෙන තිබෙන්නේ සමස්ත සමාජයේ යහපත උදෙසා බවය.
ෂෆීක් ගේ වේදනාව
බලධාරීන් එසේ වාද, විවාද කරමින් සිටියදී සිය බිරිඳගේ සිරුර ආදාහනය කිරීම දරාගත නොහැකිව මොහමඩ් ෂෆීක් තවමත් වැළපෙයි.
"අපේ ආගමේ පුච්චන්නේ නෑනේ?"
"ක්ෂය රෝගේ හැදුනත් අපි වලලනව මහත්තයා. පුච්චනවට අපි කැමති නෑ."
සිය දරු දැරියන්ට අත් විඳින්නට සිදු වූ ගැහැටත් ඔහුට දැඩි වේදනාවකි.
"මට දුක බොරු චෝදනාවක් දාල සත්තු වගේ අපිව ගාල් කරගෙන අරගෙන ගිය එක."
ඔහු උදේ, හවා සුසුම් හෙලමින් ලතැවෙන්නේ සිය බිරිඳ අහිමිවීම මෙන්ම ඇයට නිසි අවසන් ගෞරවය පළකිරීමට නොහැකිවීමේ ශෝකයෙනි.
"අවුරුදු 28ක් එකට හිටපු ගෑණිගේ මරණේ බලන්න දුන්නේ නෑ," ඔහු ඉකි ගසයි.
"දරුවන්ට අම්මව බලන්න දුන්නෙ නෑ."
කියවන්න: