මුහුදු මහා විහාරයට පැරණි භූමිය ම යළි හිමිවේවි ද?

මුහුදු මහා විහාරය

අම්පාර, පොතුවිල් පිහිටි මුහුදු මහා විහාරය අයත් පුරාවිද්‍යාත්මක භූමියේ ඉඩම් නිරාකරණය රජයේ මැදිහත්වීම මත මේ දිනවල සිදු කෙරෙමින් පවතින අතර ඒ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

මෙම පුරාවිද්‍යා භූමිය සඳහා අතීතයේ වෙන් කර තිබූ ඉඩම් ප්‍රමාණයම යළි අපේක්ෂා කරන බව නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි නා හිමියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

"1951 ජනවාරි 26 සෙනරත් පරණවිතාන මහත්තයා මුහුදු මහා විහාරයට අක්කර 72යි රූඩ් තුනයි පර්චස් 13ක් වෙන් කරනවා. 1965 මැයි 28 මේක අක්කර 30ට සීමා කළා. අක්කර 30 ඇතුළෙත් ජය භූමි ඔප්පු 41ක් තියෙනවා. ඊට අමතරව පන්සලේ ඉඩන් ටික බලෙන් අල්ලාගෙන. මේක වෙනස් කරන්න අම්මා, අප්පාගේ බූදලය නෙමෙයි නෙමෙයි. ඒ නිසා අපි අක්කර 72යි රූඩ් තුනයි පර්චස් 13ම ඉල්ලනවා," යනුවෙන් මුහුදු මහා විහාරාධිපති හිමියෝ විස්තර කළහ.

'අක්කර තිහක පමණයි'

එහෙත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක බීබීසී සිංහල සේවයට පැවසූ ආකාරයට 1951 ගැසට් කර තිබූ මුළු භූමි ප්‍රදේශයම නැවත හිමිවන්නේ නැත.

පුරාවිද්‍යාත්මක නටබුන් සහිත පැරණි භුමියේ කොටසක් සහ අලුතෙන් ඇතුළත් කරන ප්‍රදේශයක් නව පුරාවිද්‍යා කලාපයට ඇතුළත් කෙරේ.

"1965 මේකෙන් භාගයක් අයින්වෙලා තියෙනවා. අක්කර 71න් අක්කර තිහක පමණයි පුරාවස්තු තියෙන්නේ. පුරාවස්තු නැති කොටස ප්‍රාදේශීය ලේකම්ට පවරලා, පුරාවස්තු තියෙන කලින් පුරාවිද්‍යා කලාපයට ඇතුළත් නොවුණු පිට කොටස ඉල්ලලා තියෙනවා. එතකොට දල වශයෙන් අපිට අක්කර 70කට ආසන්න ප්‍රමාණයක් එනවා," යනුවෙන් මහාචාර්ය සෙනරත් දිසානායක කියා සිටියේය.

එම භූමි ප්‍රදේශයට දැනට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිතයෙන් අක්කර 9ක් ද එක් කිරීමට සැළසුම් කර ඇත.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් මැයි 27 වැනිදා පොතුවිල්, මුහුදු මහා විහාරයට අවට නිරීක්ෂණය කළහ.

ඊට අදාළ සාකච්ඡා වලින් අනතුරුව වරකාපොල ඉන්දසිරි නා හිමියන් බීබීසී සිංහල සේවයට කියා සිටියේ සතියක් ඇතුළත භූමියේ ගවේෂණ කටයුතු ආරම්භ කර, මැනුම් කටයුතු අවසානයේ භුමිය නැවත ගැසට් කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් මෙම සාකච්ඡාවේදී එකඟ වූ බවය.

ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු ද මැයි 14 වෙනිදා මුහුදු මහා විහාරය වෙත ගොස් තත්වය සොයා බැලූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මහා විහාරය භූමියේ නාවික හමුදා අනු කණ්ඩයක් ස්ථාපිත කෙරුණු අතර ඉඩම් නිරවුල් කිරීම කඩිනමින් සිදු කිරීමට අවධානය යොමුව තිබේ.

"මුහුදු මහා විහාරය පිහිටි භූමිය නැවත ගැසට් කිරීමේදී කිසිම පුරාවස්තුවක් රක්ෂිතයෙන් පිට පනින්නේ නෑ. එතන ප්‍රශ්නය 100%ක් නිරාකරණය වෙනවා," යනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මුහුදු මහා විහාරය ආසන්නයේ ජනතාව මේ වනවිට පදිංචිවී සිටින නිවාස අශ්‍රිතව ද පුරාවිද්‍යාත්මක නටබුන් දක්නට ලැබේ. විහාරය ආසන්නයේ පදිංචිකාරිනියක වන අබ්දුල් මජීඩ් සිතීමා බීබීසී සිංහල සේවයට පැවසුවේ දැනට පදිංචි ඉඩම්වලින් ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටින බවය.

"මේ තැන මිලදී ගන්නකොට අපි ඉපදිලත් නෑ. මේ ගේ හැදුවේ, වැට හැදුවේ අපි හම්බකරපු දේවල්වලින්. ළමයි 5ක් ඉන්නවා. ඒ අයට කන්න දෙන්න, උගන්වන්න ඕනා. අපි දවස ගැනේ කීයක්හරි හොයාගෙන ජීවත් වෙන්නේ. කැලෑවල ගිහිල්ලා අපිට ජීවත් වෙන්න බෑ. අපිව මෙතනින් යවන්න එපා. අල්ලා හොඳ දෙයක් කරයි," යනුවෙන් ඇය පැවසුවාය.

සිතීමා ජීවත්වන ප්‍රදේශයේම දිවි ගෙවන මීරා මොහිදීන් නජිමා ද කියා සිටියේ දැනට සිටින භූමිය හැර දමා යාමට කිසිදු අදහසක් නොමැති බවය.

"මට දැන් වයස 42යි. ඔරිජිනල් ඔප්පුව මම ළඟ තියෙනවා. අපි මේ ඉඩම ගත්තේ සල්ලි වලට. අපි මෙතනමයි ඉන්නේ. අපිව වෙන කොහෙවත් යවන්න එපා," යනුවෙන් නජිමා ප්‍රකාශ කළා ය.

පොතුවිල් ප්‍රදේශයේ ජීවත්වන ඩී සම්සුදීන් පවසන්නේ පරම්පරා ගණනාවක් මේ භුමියේ ජීවත් වූ බවය.

"අම්මගේ, අප්පාගේ, අප්පාගේ අප්පාගේ කාලේ ඉඳලා මේකේ තමයි අපි ඉන්නේ. මේකේ තමයි අපි මැරුණම වල දාන්නත් ඕන. වෙන අපි කොහෙද යන්නේ ?"

මේ අතර නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගත් බවට පැවසෙන පිරිසක් ද මුහුදු මහා විහාරය අවට ජීවත් වන අතර ඔවුහු අදහස් දැක්වීමට ඉදිරිපත් නොවූහ.

කියවන්න: