ශ්‍රී ලංකාවේ ගව ඝාතන තහනම සහ ගව මස් කෑමේ ඇතුල් පැත්ත: ආගම ද? සෞඛ්‍යය ද?

  • සුනෙත් පෙරේරා
  • BBC සිංහල
Sri Lankan protesters led by Sinhala Ravaya Buddhist monks take part in a demonstration outside the main railway station in the capital Colombo on February 16, 2014. The protesters were demanding the government prohibit the slaughter of cattle . AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා 2014 වසරේ පැවති විරෝධතාවක්

ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල මස් පරිභෝජනය ඉහළ ගොස් ඇතත් ගව මස් පරිභෝජනය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය පහළ යාම විශේෂත්වයකි.

පහත දැක්වෙන්නේ ලොව ගව මස් නිෂ්පාදනය, පරිභෝජනය සහ සෞඛ්‍ය අවදානම පිළිබඳ කෙටි විමසුමකි.

මස් කෑම අඩු කරන බව හෝ සම්පූර්ණයෙන් නවතා දමන බව පවසන පිරිසේ වර්ධනයක් මෑත කාලයේ දැකිය හැක. සත්ත්ව සුබ සාධනය, ශරීර සෞඛ්‍ය මෙන්ම සත්ත්ව ගොවිපල නිසා ඇති වන පාරිසරික බලපෑම් ඒ සඳහා අඩු වැඩි වශයෙන් හේතු වේ.

මසින් තොර දින (Meet free days) සහ මාංශ නිෂ්පාදන රහිත ආහාර (Vegan food) සඳහා මේ වන විට ලෝක මට්ටමේ නැඹුරුවක් ද පවතී.

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමත් සමග ඒ හමුවේ ඇති විය හැකි ආර්ථික, සෞඛ්‍ය සහ සමාජීය මෙන්ම දේශපාලනික බලපෑම් පිළිබඳ යම් සංවාදයක් මතුව ඇත්තේ මෙවන් පසුබිමකදීය.

ඉල්ලුම ඉහළට

60 දශකයේ සිට ලොව සමස්ත මස් නිෂ්පාදනය පස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එවක ටොන් මිලියන 70 ක් පමණ වූ මස් නිෂ්පාදනය වසර 2017 වන විට ටොන් මිලියන 330 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.

එකී කාලය තුළ ලොව ජනගහනය දෙගුණයකටත් වඩා වැඩි වීම මෙන්ම ආදායම් ඉහළ යාම ද ඊට බලපා ඇති ප්‍රධාන සාධකයකි.

දැනට ඇති වාර්තා අනුව 2013 වසරේදී මස් පරිභෝජනය වැඩිම රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඉහළින්ම පසු විය. තෙවෙනි සහ සිව්වෙනි ස්ථානවල පසු වූ නවසීලන්තය සහ ආජන්ටිනාව යන රටවල ඒක පුද්ගල මාංශ පරිභෝජනය කිලෝග්‍රෑම් 100 ඉක්මවා තිබිණි. එය කුකුලන් පනස් දෙනෙකු හෝ ගවයෙකුගෙන් අඩකට සමාන මස් ප්‍රමාණයකි.

එසේම බටහිර රටවල් පුරා ඉහළ මාංශ පරිභෝජනයක් දක්නට හැකි අතර බටහිර යුරෝපයේ එක් පුද්ගලයෙකු මස් කිලෝග්‍රෑම් 80 ත් 90 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව පරිභෝජනය කරයි.

අනෙක් අතින් ලොව දුගී රටවල් බොහොමයක් මස් පරිභෝජනය කරන්නේ ඉතාමත් අඩු වශයෙනි.

ගෙවුණු පනස් වසරක කාලය තුළ ලොව ගව මස් (ගව සහ මී ගව) නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත. 1961 වසරේදී ටොන් මිලියන 28 ක් වූ ලොව ගව මස් නිෂ්පාදනය 2014 වසර වන විට ටොන් මිලියන 68 දක්වා වර්ධනය වී තිබේ.

ලොව විශාලතම ගව මස් නිෂ්පාදකයා ඇමරිකා එක්සත් ජනපදයයි. බ්‍රසීලය, චීනය, ආජන්ටිනාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සෙසු ප්‍රධාන ගව මස් නිෂ්පාදකයන් අතර වෙති.

1961 සහ 2018 සසඳන විට ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය 13% කින් පහළ ගොස් තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය වාර්ෂිකව ඉහළ ගොස් ඇතත් වසර 2017 වන විට ගව මස් පරිභෝජනය 62% කින් පහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 1961 වසරේදී කිලෝග්‍රෑම් 2.91 ක් වූ වාර්ෂික ඒක පුද්ගල ගව මස් පරිභෝජනය වසර 2017 වන විට කිලෝග්‍රෑම් 1.11 දක්වා පහළ ගොස් ඇත.

2017 වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 9.04 කි.

කලාපයේ සෙසු රටවල් අතර ඒක පුද්ගල මස් පරිභෝජනය අතින් මියන්මාරය, තායිලන්තය ඉදිරියෙන් පසුවෙයි. (මූලාශ්‍ර: එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත පිළිබඳ සංවිධානය, අවර් වර්ල්ඩ් ඉන් ඩේටා)

ශ්‍රී ලංකාවේ මස් පරිභෝජනය

ලොව අඩු ආදායම් ලබන රටවල වැසියන්ට තවමත් මස් සුඛෝපබෝගී ආහාරයකි.

2017 වසරේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 64,800 ක් වන නොර්වේ හි ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 67.46 කි. එම වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 11,669 ක් වන අතර ඒක පුද්ගල මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 9.04 කි.

ලොව මස් පරිභෝජනයේ නැඹුරුතා රටෙන් රටට වෙනස් වේ. සමාජීය, ආර්ථික සහ සංස්කෘතික කරුණු ද ඒ සඳහා විශාල වශයෙන් බලපායි. සාමාන්‍යයෙන් ලොව වැඩි වශයෙන්ම පරිභෝජනය කෙරෙන මස් වර්ග අතර ඌරු මස්, ලයිස්තුවේ ඉහළින්ම පසුවෙයි. 2013 වසරේදී ලොව එක් පුද්ගලයෙකු දල වශයෙන් ඌරු මස් කිලෝග්‍රෑම් 16 ක් පමණ පරිභෝජනය කර තිබිණි. උදාහරණයක් වශයෙන් චීනයේ ඌරු මස් පරිභෝජනය එරට සමස්ත මස් පරිභෝජනයෙන් 2/3 ක් පමණ වේ.

2017 වසර වන විට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම පරිභෝජනය කරනු ලැබුවේ කුකුළු මස්ය. හරක් මස් හා සැසඳීමේ දී කුකුළු මස් පරිභෝජනය හත් ගුණයකින් පමණ වැඩි අගයක් ගනු ලබයි.

1961 දී ශ්‍රී ලංකාව තුළ ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනයට වඩා හරක් මස් පරිභෝජනය ඉහළින් තිබී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම ගව ඝාතනය සිදුව ඇත්තේ (බලපත්‍ර හිමි ගව ඝාතකාගාර තුළ) පිළිවෙලින්:

  • මඩකලපුව
  • අම්පාර
  • ත්‍රිකුණාමලය
  • කුරුණෑගල
  • ගම්පහ යන දිස්ත්‍රික්කයන් තුළය.

එකී දත්ත අනුව අඩු වශයෙන්ම ගව ඝාතන වාර්තා වී ඇත්තේ පිළිවෙලින්:

  • මාතර
  • කෑගල්ල
  • හම්බන්තොට
  • ගාල්ල
  • කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන්ගෙනි.

2019 වසරේදී ශ්‍රී ලංකාව පුරා ගවයින් 158,723 ක් මස් සඳහා ඝාතනය කර ඇති අතර 2006 සිට 2019 දක්වා කාලය තුළ ගවයින් වැඩි වශයෙන්ම ඝාතනය කර ඇත්තේ 2010 වසරේදීය. එම සංඛ්‍යාව 203,520 කි.

හරක් මස් කෑම අනතුරුදායක ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

2019 වසරේදී ශ්‍රී ලංකාව පුරා ගවයින් 158,723 ක් මස් සඳහා ඝාතනය කර ඇත

ශ්‍රී ලංකාව තුළ කලින් කල ගව ඝාතනයේ සහ හරක් මස් කෑමේ ආදීනව පිළිබඳ සංවාද මතු වෙයි. වත්මන් ආණ්ඩුව ගව ඝාතනය තහනම් කරනු ලැබීම පිළිබඳ නිවේදනය කිරීමත් සමග වෘත්තීය සමිති නායකයෙකු වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය උපුටා දක්වමින් "හරක් මස් කෑමෙන් පිළිකා හැදෙන" බව සඳහන් පුවත් සමාජ ජාල ඔස්සේ සංසරණය විය. "අපේ රටේ ඉතිහාසයේ අපි ගව මස් කොයිම විදිහකටවත් කාලා නැහැ," යනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන ආකාරය එවැනි එක් වීඩියෝවක දැක්වේ.

කෙසේ නමුත් පොදුවේ ගත් විට ලොව මස් පරිභෝජනය සහ ඒවායේ ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ, පිළිගත් සෞඛ්‍ය ආයතන සහ සෞඛ්‍ය සේවා විසින් පළ කරනු ලැබ ඇති උපදෙස් සහ නිර්දේශ විශ්ලේෂණය කිරීමේදී, 'ගව මස් කෑමේ ආදීනව' යනුවෙන් විශේෂ සඳහනක් නොවුණ ද ගව මස් ද ඇතුළත් රතු මස් (Red meat) පමණට වඩා ආහාරයට ගැනීමේ අවදානම පිළිබඳ උපදෙස් දැකිය හැක.

රතු මස් ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාර ප්‍රභවයක් වුවත් එම මස් වර්ග සහ සැකසූ මස් (Processed meat) පමණ ඉක්මවා ආහාරයට ගැනීම බඩවැල් පිළිකා ඇති වීමේ අනතුර ඉහළ නංවයි යනුවෙන් බ්‍රිතාන්‍ය නිදහස් සෞඛ්‍ය සේවය (NHS) පවසයි.

එබැවින් දිනකට රතු මස් හෝ සැකසූ මස් ග්‍රෑම් 90 ඉක්මවා ආහාරයට ගනු ලබන පුද්ගලයන්ට ඉහත කී අවදානම අවම කර ගැනීම සඳහා එය ග්‍රෑම් 70 දක්වා අඩු කරන ලෙස එම සෞඛ්‍ය සේවය නිර්දේශ කරයි.

සෞඛ්‍ය සම්පන්න අයුරින් ශරීර බර පවත්වා ගැනීම, ක්‍රියාශීලීත්වය සහ දුම්පානයෙන් බැහැර වීම ද අවදානම අඩු කරවන සෙසු සාධක වන බව එහි වැඩිදුරටත් දැක්වේ.

රතු මස් සහ සැකසූ මස් යනු මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලොව අඩු ආදායම් රටවල වැසියන්ට තවමත් මස් සුඛෝපබෝගී ආහාරයකි.

රතු මස් අතරට:

  • ගව මස්
  • එළු මස්
  • ඌරු මස්
  • බැටළු මස් ඇතුළත් වේ.

රතු මස් නොවන මස් වර්ග අතරට:

  • කුකුළු මස්
  • කළුකුම් මස්
  • තාරා මස්
  • හා මස් ඇතුළත් වේ.

කල් තබා ගැනීම සඳහා සංරක්ෂණ ද්‍රව්‍ය අඩංගු වූ මස්, සැකසූ මස් ලෙස හැඳින්වේ. ඒ අතරට:

  • සොසේජස්
  • මීට් බෝල්ස්
  • නගට්ස්,
  • ෆිෂ් ෆින්ගර්ස්
  • චිකන් ස්ලයිසස්
  • බේකන්
  • හැම්
  • ටින් කරන ලද මස් වර්ග ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

"මස් අත්‍යවශ්‍යම නැහැ. ඒ ප්‍රෝටීන ප්‍රමාණය වෙන ආහාරවලිනුත් අපට ලබා ගන්න පුළුවන්"

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දෛනිකව පරිභෝජනය කරනු ලබන රතු මස් ප්‍රමාණය අනුව, අනතුර රඳා පවතින බවය.

"අපි කන්නේ රතු මස් සුළු ප්‍රමාණයක් නම් එය අනතුරුදායක පැත්තකට යන්නේ නැහැ. නමුත් ග්‍රෑම් සීයකට වැඩිය ආහාරයට ගත්තොත්, එයත් නිතිපතාම සිදු කළොත්, විශේෂයෙන් කෙඳි සහිත ආහාර අඩුවෙන් ගත්තොත් සෞඛ්‍ය අවදානමක් මතු වීමේ අනතුර පවතිනවා."

"මහ බඩවැලේ පිළිකා, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා හැදෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩියි. එය සිදු වෙන්නේ අපි කන ප්‍රමාණය අනුව, කාපු කාල සීමාව අනුව, ඒ ආහාර සමග කෙඳි සහිත ආහාර නොගෙන සිටීම වැනි මේ සියලු කරුණු එකට බැඳී තිබෙනවා." යනුවෙන් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංගණනයන්ට අනුව ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන් 70% ක ප්‍රතිශතයක් පීඩා විඳිනුයේ බෝ නොවන රෝගවලිනි

ගව මස් ඇතුළු රතු මස්වලින් ලබා ගන්නා පෝෂණය වෙනත් ආදේශක ආහාරවලින් ද ලබා ගත හැකි බව ඇය පෙන්වා දෙයි.

"මස් අත්‍යවශ්‍යම නැහැ. ඒ ප්‍රෝටීන ප්‍රමාණය වෙන ආහාරවලිනුත් අපට ලබා ගන්න පුළුවන්. මාළු, බිත්තර වැනි දේ ඒ සඳහා ආදේශක ලෙස යොදා ගන්න පුළුවන්. "

"මස්වලින් ලබා ගන්න පෝෂක සංඝටක අනෙකුත් ආහාරවලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ආහාර වර්ග වර්ගීකරණය කර තිබුණත් ඒ අතරින් පුද්ගල කැමැත්ත අනුව තමයි ආහාරය තෝරා ගන්නේ. ආහාර කියන්නේ බලහත්කාරයෙන් කවන්න පුළුවන් දෙයක් නොවෙයි."

නමුත් රතු මස් හා සැසඳීමේ දී සැකසූ ආහාරවල තිබෙන අනතුර ඉතාමත් වැඩි බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දෙයි.

"සමස්තයක් විදිහට ලංකාවේ හරක් මස් පරිභෝජනය අවම මට්ටමක තිබෙන්නේ. සීමිත පිරිසක් තමයි හරක් මස් ආහාරයට ගන්නේ."

"සැකසූ ආහාර කල් තබා ගැනීම සඳහා යොදා ඇති රසායනික ද්‍රව්‍ය, තෙල් ප්‍රමාණය ඉතා අධික වීම ඊට හේතු වෙනවා. ඒ ආහාරවලින් පිළිකාවලට ගොදුරු විය හැකි ප්‍රවණතාව ඉතාමත් වැඩියි. ඒ අතින් සැකසූ ආහාර සහ ස්වභාවික මස් සංසන්දනය කරන්නත් බැහැ,"

මේ ගැනත් කියවන්න: