ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකට ලෝක සම්මානයක්: "අත්‍යවශ්‍යම නම් පමණක් පර්යේෂණවලට සතුන් යොදා ගන්න"

  • සරෝජ් පතිරණ
  • BBC සිංහල

එන්නත් නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය තරංගා තෝරදෙණිය එම ඉල්ලීම කරන්නේ, ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය ( (WVA -World Veterinary Association) සහ සේවා (Ceva - Ceva Santé Animale) එක්ව පිරිනමන ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් (2020 Global Animal Welfare Awards) පිදුම් ලැබීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.

"වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගන්න වෙලාවක සතාගේ සුභ සාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාම වැදගත්. මොකද පර්යේෂණය සාර්ථක වීම සඳහා සතා ශාරීරික වගේම මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අත්‍යවශ්‍යම දෙයක්," ඇය සඳහන් කළාය.

"පර්යේෂණයකට යොදාගන්න වෙලාවක සතා වේදනාවෙන් හෝ ආතතියෙන් ඉන්නවා නම් පර්යේෂණ ප්‍රතිඵල නිරවද්‍ය නැතිවෙන්න පුළුවන්. මොකද වේදනාව හා ආතතිය පීඩාවට (distress) හේතු විය හැකි අතර මේ නිසා ජෛව විද්‍යාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. අපි මෙය බොහෝ කලක සිට හඳුනාගෙන තියනවා. මෙම හේතූන් නිසා, සතුන්ට ඇතිවන වේදනාව හා ආතතිය පාලනය කිරීමට සහ සුව කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි."

ඇය මේ වසරේ ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලැබුවේ එසේ සත්ත්ව සුභ සාධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමක් වශයෙනි.

"ලෝකය තවමත් සතුන් වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම හොයා ගෙන යනවා. සමහර ඒවා දැනටමත් සනාථ කරල තියනවා. අත්‍යවශ්‍යම දේට විතරක් සතුන් යොදාගන්න කියන එක තමා අපේ බලාපොරොත්තුව," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.

පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය

සම්මානය පිණිස ඇය තෝරා ගැනීමට හේතු වූ කරුණු පහදන UK Ceva Animal Welfare ආයතනය පවසන්නේ, ආචාර්ය තරංගා තෝරදෙණිය වැනි "සැබෑ වීරවරියන්" පිළිබඳව බොහෝ විට සමාජයට නිසි අවබෝධයක් නොමැති බවය.

"එහෙත් ඔවුන් සියලු දෙනාම සතුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාකරන, අප සියල්ලන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ය," යනුවෙන් ද Ceva Animal Welfare සංවිධානයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

2012 දී මුලින්ම බ්‍රිතාන්‍යය පදනම් කරගෙන මෙම සම්මානය ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව 2017 දී World Veterinary Association සමඟ එක්ව ගෝලීය සම්මාන පිදීම ආරම්භ කරනු ලැබ තිබේ. එවක් පටන් සත්ත්ව සුබසාධනය උදෙසා කැපවුණු විශේෂඥයන් 24 දෙනෙක් එයින් පිදුම් ලැබූහ.

ඒ අතරින්, ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලබන පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය ඇය වේ.

"මේ සඳහා මගේ නම යෝජනා කිරීම ගැන මම ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයට ස්තූතිවන්ත වෙනවා. මගේ ගමන පුරාම මට සහයෝගය දුන්, මගේ දෙමව්පියන් සහ පවුලේ හැම දෙනාම, මගේ ගුරුවරුන් සහ මා සමඟ වැඩ කරන කණ්ඩායමට මගේ කෘතඥතාව හිමිවෙනවා."

'සතුන් යොදා ගන්න එපා කියන්නේ නෑ'

වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේ දී හැකි උපරිම ලෙසින් එම සතුන් රැක බලාගනිමින්, සතුන්ට වන හානිය අවම කරමින්, සත්ත්ව සුබ සාධනය සහ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමේ ආචාර් ධර්ම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට ඇය කැප වී සිටින්නීය.

"මම ඒක කරන්නේ තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම්, දැනුවත් කිරීම් ඔස්සේ," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.

"මම මේක පැහැදිලි කරන්න ඕනේ. අපි කියන්නේ පර්යේෂණවලට සතුන් යොදාගන්න එපා කියල නෙමේ. විකල්පයක් සොයා ගන්න තුරු අපිට සත්තු යොදාගන්න වෙනවා. එතෙන්දි සතුන්ට ඇතිවන වේදනාව හා හිංසාව අවම කර සුභසාධනය වැඩි දියුණු කරන්න කියන එකයි අපි කියන්නේ."

ආචාර්ය තෝරදෙණිය පවසන්නේ, නිවැරදි වාර්තාකරණය (Reporting) හා පුනරුත්ථාපනය (rehabilitation) සඳහා Refinement සමඟ සත්ත්ව අත්හදා බැලීම් වලදී 3R (Replacement, Reduction, and Refinement) මූලධර්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සිය සිසුන්ගේ අවධානය යොමු කරන බවය. ඒ අතරින් පර්යේෂණ සැලසුම් කිරීමේදී හා මෙහෙයවීමේදී සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ වගකීම (Responsibility) කෙරෙහි ඇය වැඩි අවධානය යොමු කරයි.

'ඒක සුභසාධනය' සංකල්පය

පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම වෙනුවට අත්හදා බැලූ විකල්ප තිබෙන බව පෙන්වාදෙන ජගත් සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය, විශේෂයෙන්ම මිනිස් සෛල/පටක, පරිගණක ආකෘති (in silico models), පටක කෘත්‍රිමව නිපදවා පර්යේෂණවලට යොදාගැනීම සහ පර්යේෂණවලට ස්වේච්ඡාවෙන් දායක වන මිනිසුන් එවැනි ක්‍රමවේද බව පෙන්වා දෙන්නීය.

එසේ පුහුණු කිරීම් කරන අතරවාරයේ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාඨමාලාවට 'ඒක සුභසාධනය' (one welfare) පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නාය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, "සතුන්ගේ සුබ සාධනය පැත්තෙන් හිතලා, ඇය මෙම ප්‍රගතිශීලී සංකල්පය හඳුන්වා දීම ගැන අපි ආඩම්බර වෙනවා," යනුවෙන් සඳහන් කරන්නීය.

මේ අතර සම්මානලාභී පශු වෛද්‍යවරිය පවසන්නේ, වෛද්‍ය සිසු, සිසුවියන්ගේ උද්යෝගිමත් දායකත්වය සිය වැඩපිළිවෙල සඳහා මහඟු රුකුලක් බවය.

පියුමි කඳනආරච්චි, ආචාර්ය තෝරදෙණිය යටතේ පුහුණුව ලබන කොළඹ විශ්විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි.

"වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපි මිනිස්සුන් ගැන මිසක් සත්තු ගැන හිතන්නේ නෑනේ. ඉතින් මැඩම් තමයි අපිට උගන්නන ගමන් පර්යේෂණවලට ගන්න සත්තු පුනරුත්ථාපනය කරන්න ඕන කියන දේත් කියල දුන්නේ," පියුමි කඳනආරච්චි බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

"ඇත්තටම මැඩම්ට ඕන වෙලා තියෙන්නේ අපි සාම්ප්‍රදායික සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් වෙනවට වඩා අපේ පර්යේෂණ අතරේම සතුන්ගේ සුභසාධනය ගැනත් හිතන්න අපිට පුරුදු කරන්න."

"මොකද සත්ත්ව හිමිකම් කීවම බොහෝ දෙනා හිතන්නේ නිවාසවල ඉන්න බල්ලෝ, බළල්ලු වගේ සත්තු ගැන නේ, පර්යේෂණවලට ගන්න සත්තු ගැන හිතන්නේ නෑනේ. මීයෝ, හාවෝ වගේ සත්තු ගැන හිතන්නේ නෑනේ. නමුත් පිටරල්වල එහෙම යොදාගන්න සත්තු රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට පවා යොදාගන්න අවස්ථා තියෙනවා. මැඩම් ඒක තමා අපිට කියල දුන්නේ."

පර්යේෂණ පිණිස යොදා ගන්නා සතුන් ඇතැම් රටවල ඉන් අනතුරුව සුරතල් සතුන් ලෙසින් ඇති දැඩි කිරීම පිණිස නිවාසවලට භාරදෙන අවස්ථා ද තිබෙන බවත් පියුමි කඳනආරච්චි සඳහන් කළාය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලැබූ සුනඛ සුරතලෙක්

සංස්කෘතික ලක්ෂණ

ඒ අතරම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි ආසියානු කලාපීය සමාජවලට ආවේණික වූ ගති ලක්ෂණයක් ගැන ද සම්මානලාභී පශු වෛද්‍යවරිය සිහිපත් කරයි.

විශේෂයෙන්ම සත්ත්ව හිංසාවට එරෙහි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල සමාජයන්ට සත්ව සුබ සාධනය පහදාදීම පහසු බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි ආචාර්ය තරංගා තෝරදෙණිය වැඩිදුරටත් සඳහන් කළේ, "අපි ඉගෙනගන්න කාලේ අපිට මේක එතරම් දැනුණේ නෑ මොකද පර්යේෂණය ගැන හා ඉගෙන ගන්න එක ගැන නේ වැඩි අවධානය යන්නේ," යනුවෙනි.

"නමුත් අපි පෙන්වල දෙනවා නම් අපේ සමාජය මේ කරුණු ගැන ඉතා සංවේදීයි. ඉතින් මම දැක්ක දෙයක් තමා ලංකාවේ අය ගොඩක් අපිට ඇහුම්කන් දෙනවා. ඒ වගේම එයාල මේ ගැන තවදුරටත් ඉගෙනගන්න උනන්දුයි."

"උදාහරණයක් විදියට කුඩා දරුවන් තුළ සතුන් ගැන ස්වභාවිකවම සහජ ආදරයක් තියෙනවා. අපි කළ යුත්තේ දරුවන්ට සතුන් එක්ක ගැවසෙන්න තියෙන අවස්ථාව වැඩි කරලා ඒ ආදරය, ඒ රැක බලා ගැනීමේ ආසාව තවත් ප්‍රවර්ධනය කරන එක. මෙය සතුන්ගේ සුභසාධනය සඳහා පමණක් නොව මිනිසුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ද ඉතා වැදගත් වෙනවා."

සත්ත්ව සුභසාධනය සහ ආචාර ධර්ම පිළිබඳ සංසදයක් (forum) නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දමා ඇති බවත්, සමාන අදහස් ඇති ශ්‍රී ලාංකික පර්යේෂකයන් සහ විද්වතුන්ට සම්පත් හා දැනුම බෙදාහදා ගැනීම සඳහා මේ හරහා එකම වේදිකාවක එක්විය හැකි බවත් ඇය පවසන්නීය. මෙම සහයෝගිතාව පුළුල් කිරීම සඳහා තමන් සමග අත්වැල්බැඳගන්නා මෙන් සමාන අදහස් ඇති අයට ආරාධනා කරන බවත් ආචාර්ය තෝරදෙණිය පවසන්නීය.

සත්ත්ව සුභසාධනය පිළිබඳ පිළිගැනීමට ලක්වූ ඉන්දියාවේ ආචාර්ය විජේ පාල් සිං සමඟ එක්ව ආචාර්ය තෝරදෙණිය නිර්මාණය කළ පදනම හරහා පර්යේෂණ සතුන්ගේ සුභසාධනය පිළිබඳ මෙම සංකල්පය තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම් මාර්ගයෙන් ආසියාවේ වෙනත් ප්‍රදේශවලට ගෙන යාමට ඇය අදිටන් කරගෙන සිටින්නීය.

"මම ඇත්තෙන්ම කැමතියි සතුන් යොදා නොගන්නා පර්යේෂණ සංස්කෘතියක් දකින්න," ආචාර්ය තරංගා තෝරදෙණිය මා සමඟ කියා සිටියාය.

"එවැනි කාලයක් වන තෙක් මගේ රටේ හා ආසියානු කලාපයේ පර්යේෂකයන් ඔවුන්ගේ රසායනාගාර සතුන්ගේ සුභසාධන හා සම්බන්ධ ගැටලු උද්‍යෝගිමත්ව හා විවෘතව විසඳනව දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව," ඇය සංවාදය නිමා කළේ එලෙසිනි.

වීඩියෝ ශීර්ෂ වැකිය,

'කොරෝනා නිවාඩුවෙන්' සොබාදහමේ මිහිර විඳින අක්කයි නංගියි

කියවන්න: