සමාජ මාධ්‍යජාලවල 'රජයන' කොරෝනා වෛරස එන්නත ගැන ව්‍යාජ පුවත්

Coronavirus vaccine fake news

ඡායාරූප මූලාශ්‍රය, SOPA Images

කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ.

කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය.

මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී 'රියලිටි චෙක්' කණ්ඩායම ද මාස ගණනාවක් පුරා කරුණු පරීක්ෂා කරමිනි සිටිති.

මෙවැනි ව්‍යාජ කරණු අඩංගු පුවත් බොහොමයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර තිබෙන නමුත්, දිනපතා විවිධ දේ පළ වෙමින් තිබේ.

පුවත: "එන්නත ලබා ගත් පසු නොර්වේහි 23 දෙනෙකු මිය ගිහින්."

ෆයිසර් කොවිඩ් 19 එන්නත ලබා ගැනීමෙන් පසු නෝර්වේහි වැඩිහිටි පුද්ගලයින් 23 දෙනෙකු මිය යාම ගැන ඇමරිකාවේ 'ප්‍රධාන ධාරාවේ මාධ්‍ය' නිහඬව සිටි බව පවසමින් සමාජ මාධ්‍ය සටහනක් විශාල ලෙස සංසරණය වේ.

මෙම ෆේස්බුක් සටහන 2021 ජනවාරි 16 වෙනි දින ප්‍රථමයෙන් පළ කර තිබේ.

මෙම සටහනේ වැඩිදුර තොරතුරු පළ වී නොමැත. බරපතල නිධන්ගත රෝග පවතින පුද්ගලයන් ද ඇතුළුව සත්කාර නිවාසවල පදිංචිකරුවන්ට නෝර්වේ සෞඛ්‍ය අංශවලින් එන්නත ලබා දෙමින් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

නොර්වේ හි සාත්තු නිවාසවල සහ දිගු කාලීන සත්කාරක මධ්‍යස්ථානවල සාමාන්‍යයෙන් සතියකට පුද්ගලයින් 400 ක් පමණ මිය යති.

මෙම පුද්ගලයන්ගෙන් සමහරු එන්නත ලබා ගැනීමෙන් පසු ඒ හා සම්බන්ධ නොවූ හේතූන් නිසා මිය යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනවාරි 18 වෙනිදා වන විට වාර්තා වූ මරණ 23 න් 13 ක්ම නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනයේ විමර්ශනයට ලක්වූ අතර එයට කොරෝනාවෛරස එන්නත් සම්බන්ධ බවට නිගමනය කර නොමැත.

එම ආයතනයේ ප්‍රධානී කැමිලා ස්ටොල්ටන්බර්ග් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, "මොවුන් ඉතා වයස්ගත, දුර්වල හා බරපතල රෝග ඇති අයයි... මේවා හදිසියේ සිදු වූවක් හෝ වැඩිපුර සිදු වූ මරණ ලෙස ගණනය කරන්න බැහැ."

පුවත: "කොවිඩ් -19 එන්නත් අපගේ ජාන වෙනස් කරයි"

මෙවැනි සාවද්‍ය ප්‍රකාශයන් සහිත වීඩියෝවක් ප්‍රථමයෙන්ම සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරියේ කැරී මාඩෙජ් නම් කාන්තාවක් වන අතර එය ජූලි මස අවසානය වන විට අන්තර්ජාලය හරහා සංසරණය වීම ආරම්භ විය.

එහි දී ඇය පවසන්නේ එන්නත් නිර්මාණය කර ඇත්තේ මිනිසුන්ගේ ජාන වෙනස් කිරීමට බවය.

"එන්නත ලබා දෙන්නේ අපව ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවීන් බවට පත් කිරීමට සහ අප සියල්ලන්ම කෘතිම බුද්ධියකට සම්බන්ධ කිරීම සඳහායි," ඇය එම වීඩියෝව මගින් පවසයි.

මේ පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති අතර, දැනට මිනිසුන් සම්බන්ධ කරගෙන සිදුකරන එන්නත් අත්හදා බැලීම් අතුරින් කිසිවකුත් මිනිස් ජාන වෙනස් කිරීමට නිර්මාණය කර නොමැත.

එමෙන්ම අප සියල්ලන් කෘත්‍රිම බුද්ධියකට ඇතුළු කළ හැකි තාක්ෂණයක් ඒවා සතුව නොමැත.

අසත්‍ය ප්‍රකාශ ඇතුළත් මෙම වීඩියෝව ප්‍රථමයෙන් ජුනි මාසයේදී යූ ටියුබ් වෙත මුදා හරින ලද අතර 300,000 කට වැඩි වරක් නරඹා තිබිණි. එය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ද ඉතා ජනප්‍රිය විය.

මෙවැනි නොමග යවන සුලු තොරතුරු හේතුවෙන්, ලැබුණ අවස්ථාවේ දී පවා මිනිසුන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි වෛද්‍යවරු කනස්සල්ලට පත්ව සිටිති.

පුවත: "කොවිඩ් -19 එන්නත් මගින් මිනිසුන්ගේ ශරීරයට 'මයික්‍රොචිප්ස්' ඇතුළත් කරනවා."

එන්නත් පර්යේෂණ සඳහා අරමුදල් සපයන මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ බිල් ගේට්ස්ගේ රූපවාහිනී සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් ෆෝමියුලා 1 ජයග්‍රාහිකයෙකු වන ලුවිස් හැමිල්ටන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබිණි.

මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා කොවිඩ් 19 එන්නත සමග මයික්‍රොචිප් ශරීරයට ඇතුළු කරන බවට සිදු කරන පදනම් විරහිත ප්‍රකාශයන් මෙම සාකච්ඡාවේ දී බිල් ගේට්ස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබිණි.

නමුත් සමාජ මාධ්‍ය ජාලවල පළවුණු මෙම වීඩියෝ පටය සංස්කරණය කර සිනාසෙන ඉමොජියක් යොදා "මගේ පළමු බොරුව පැවසූ හැටි මට මතකයි" යන වචන ද එකතු කර 'කිංබැක්' නමින් තිබෙන ගිණුමකින් ප්‍රථමයෙන් මුදා හැර තිබිණි.

අනුගාමිකයන් මිලියන 18ක් සිටින ලුවිස් හැමිල්ටන්ගේ ගිණුමේ බෙදාගෙන තිබුණු මෙම සංස්කරණය කරන ලද වීඩියෝව ලොව පුරා ඉතා වේගයෙන් සංසරණය වන්නට විය.

නමුත් පසුව ඔහු කියා සිටියේ තමා බිල් ගේට්ස්ගේ එම ප්‍රකාශය දැක නැති බවත්, තමන් එන්නත් විරෝධී නොවන බවත්, එම වීඩියෝව මකා දැමූ බවත්ය.

මයික්‍රොචිප් ගැන තොරතුරු දිගින් දිගටම මතුවෙමින් තිබෙන අතර ගේට්ස් පදනම එය 'අසත්‍ය' තොරතුරක් ලෙස හඳුන්වා තිබේ.

පුද්ගලයෙක් යම් කොවිඩ් 19 එන්නතක් ලබාගෙන තිබේද නැද්ද යන්න පිළිබඳ තොරතුරු ගබඩා කළ හැකි තාක්‍ෂණයක් පිළිබඳ පර්යේෂණ සඳහා අරමුදල් සැපයීම මෙම පදනම් මඟින් සිදු කරයි. නමුත් මෙයට මයික්‍රොචිප්ස් ඇතුළු කර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ලුහුබැඳීම ඇතුළත් නොවන බව පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයෝ පවසති.

පුවත: "ඔක්ස්ෆර්ඩ් කොවිඩ් -19 එන්නත අත්හදා බැලීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙක් මිය ගිහින්."

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත අත්හදා බැලීම පිටුපස සිටින කණ්ඩායම සිදු කරන ලද යාවත්කාලීන ඉතා කඩිනමින් සිදු කිරීම නිසා එය අනාරක්ෂිත යැයි කියමින් අදහස් හා සටහන් පළ වී ඇත.

සාමාන්‍ය එන්නත් පර්යේෂණයට වඩා වේගයෙන් මෙම සායනික අත්හදාබැලීම් ඉදිරියට යන බව සත්‍යයකි. ඔක්ස්ෆර්ඩ් එන්නතේ අත්හදා බැලීම්වල පළමු අදියර දෙක වාර්තාගත වේගයකින් සම්පූර්ණ කළේය. එයට හේතු වන්නේ කොරොනාවෛරසය ගැන දැනට පවතින දැනුම, පෙර නොවූ විරූ ලෙස ලැබුණු අරමුදල් සහ විශාල පිරිසක් සායනික අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධානී මහාචාර්ය ඇන් පොලාර්ඩ් ජූලි මස අවසානයේදී බීබීසී සේවයට පැවසුවේ එන්නතේ ආරක්ෂාව ගැන දැඩි පරීක්ෂාවන් සිදු කර ඇති බවය.

නමුත් මේ ගැන කටකතා නතර වී නැත. අත්හදා බැලීම්වල දී පළමු ස්වේච්ඡා සේවකයා මියගොස් ඇති බවට පැතිර යන ව්‍යාජ පුවත පවා නතර වී නොමැත.

බීබීසී සෞඛ්‍ය සංස්කාරක ෆර්ගස් වොල්ෂ් සත්‍ය වශයෙන්ම මෙම ස්වේච්ඡා සේවකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූයේ ද මෙම කටකතාව අසත්‍ය බව තහවුරු කිරීමටය.

පුවත: "කොවිඩ් -19 එන්නත ගැනීමෙන් විශාල පිරිසක් මිය යන බව බිල් ගේට්ස් විශ්වාස කරයි."

එන්නත සම්බන්ධයෙන් බිල් ගේට්ස් ජනප්‍රිය ඉලක්කයක් බව පෙනේ.

45,000 කට අධික වාරයක් බෙදා ගෙන ඇති එක්තරා ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ "එන්නත ලබාගැනීමෙන් පුද්ගලයන් 700,000 ක් මැරෙන බවට සැකයක් නැහැ" යනුවෙන් බිල් ගේට්ස් සඳහන් කළ බවය.

ඡායාරූප මූලාශ්‍රය, TOBIAS SCHWARZ

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලොව පුරා එන්නත් විරෝධීන්ට බිල් ගේට්ස් ප්‍රධාන මාතෘකාවක් වී ඇත

මෙය ඔහු මෙතෙක් කිසිම අවස්ථාවක පැවසූ දෙයක් නොවේ.

වැඩිහිටි පුද්ගලයින්ට එන්නත් කෙතරම් දුරකට සාර්ථක වේද සහ ඔවුන්ට අතුරු ආබාධ ඇතිවීමේ අවදානම පිළිබඳ බිල් ගේට්ස් සාකච්ඡා කරන වීඩියෝවක් මෙම ට්වීට් පණිවිඩයේ දැක්වේ.

ලොව පුරා කොපමණ පිරිසක් අතුරු ආබාධ අත්විඳිය හැකිද යන්න පිළිබඳව ඔහු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කර තිබිණි.

"අපට අතුරු ආබාධ 10,000 න් එකක් තිබේ නම්, තවත් ආකාරයකින් ... එයින් 700,000 ක් දෙනා දුක් විඳින්න පුළුවන්."

මෙහිදී ඔහු මරණ ගැන කතා නොකරන නමුත් එන්නතකින් 700,000 ක් මිය යන බව "පිළිගනී."

එන්නත පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ රැසක ඉලක්කය බිල් ගේට්ස් වී ඇත. බීබීසී 'රියලිටි චෙක්' කණ්ඩායම මැයි මාසයේ සිට ඒවා නිරීක්ෂණය කරමින් සිටිති.

පුවත: "ස්පාඤ්ඤ උණ රෝග එන්නතෙන් මිලියන 50 ක් මිය ගිහින්."

1918 ස්පාඤ්ඤ උණ වසංගතය පිළිබඳ මේ හා සමාන අසත්‍ය කථා 'මීම්ස්' ලෙස සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වේ.

එම වසංගත කාලයේ මිලියන 50ක මරණ සඳහා එන්නත් වගකිව යුතුයි යන්න අසත්‍යයකි.

එක්සත් ජනපදයේ රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථාන සනාථ කරන්නේ එකල ස්පාඤ්ඤ උණ රෝගය සඳහා එන්නතක් නොතිබූ බවය.

බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයන් මූලික අවධියේ බැක්ටීරියා එන්නතක් අත්හදා බලා තිබේ. නමුත්, ඉතිහාසඥයෙකු සහ කතුවරයෙකු වන මාක් හොනිංස්බෝම් පවසන පරිදි ඒ කිසිවක් වර්ථමානයේ අප දන්නා එන්නත් හා සමාන නොවේ.

මෙයට හේතුව ලෙස මාක් හොනිංස්බෝම් පවසන්නේ "ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බව එකල කිසිවෙකු දැන නොසිටීමය."

වෛරසයට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් ලෙස පෙනහළු තරලයෙන් පිරී තිබීම සහ උණ රෝගය එම වසංගතය තුළ මරණයට ප්‍රධාන හේතු දෙකක් වී තිබේ.

මේ තොරතුරුද කියවන්න: