පාස්කු ප්‍රහාරය: "නිවාස අඩස්සියේ සිටිනවා වැනි හැඟීමක් තිබෙන්නේ" - සහරාන් කල්ලියෙන් වෙඩි කෑ තස්ලිම් කියයි

පාස්කු ප්‍රහාරය: "නිවාස අඩස්සියේ සිටිනවා වැනි හැඟීමක් තිබෙන්නේ" - සහරාන් කල්ලියෙන් වෙඩි කෑ තස්ලිම් කියයි

පැය 24ම පොලිස් ආරක්ෂාව මැද ජීවත් වෙන තමන්ට පල්ලියට සහ රෝහලට යෑමට පමණක් අවසර ලබා දීම නිසා 'නිවාස අඩස්සියේ සිටිනා මෙන් හැඟීමක්' දැනෙන බව සහරාන් ඇතුළු කණ්ඩායමේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ මාවනැල්ලේ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී පැවසුවේය.

''වතුර නැති වෙලාවට ගේ ළඟම තියෙන ඔයට ගිහින් නා ගන්නවත් මට අවසරයක් නෑ. දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. අඩුම ගානේ දේශපාලන නොවන ගමේ පොදු වැඩ වලටවත් සහභාගී වෙන්න අවසර දුන්නොත් මගේ මනසටත් සහනයක්.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත සහය ලබා දුන් තස්ලිම් 2019 මාර්තු 09 වැනි දින සහරාන්ගේ කණ්ඩායමේ වෙඩි ප්‍රහාරකට ලක්ව තිබුණි.

වෙඩි වැදීමෙන් පසු තස්ලිම්ට රැකියාවක් කිරීමට නොහැකි සේම නිවසින් බැහැරට යෑම සීමා කර ඇති පසුබිමක වසර දෙකකට ආසන්න කාලයක් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ජීවත්වෙයි. තමන්ට ස්ථිර මාසික අදායමක් ලැබෙන ක්‍රමයක් සකස් කර දෙන්නැයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

තස්ලිම්ට එංගලන්තයට ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රජය මුල්‍ය ආධාර මෙන්ම ආරක්ෂාව සැපයිය යුතු බවට පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම රජයට නිර්දේශ කර තිබේ. ඒ නිර්දේශය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද තස්ලිම් ඉල්ලා සිටී.

මේ පිළිබඳව කළ විමසීමේදී බීබීසී සිංහල සේවයට අදහස් දැක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසුවේ තස්ලීම් ට ආරක්ෂාව සැළසීමට අමතරව අනෙකුත් පහසුකම් සැපයීමට රජය පියවර ගන්නා බවය.

''පොලීසිය දාලා තියෙන්නේ එතුමාගේ ආරක්ෂාවට. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔහුව කාමරකට දාලා වහලා තියෙන එක. ඒක වැරදියි. ඒ ගැන හොයලා බලන්නම්.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය.

නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය

ෂර්ලි උපුල් කුමාර