කොවිඩ්: ශ්‍රී ලංකාවේ එන්නත් ක්‍රියාවලියේ ප්‍රගතිය කෙසේද?

කොරෝනා වෛරසය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ වන විට කොරෝනා මර්දන එන්නත් වර්ග පහක් ජනතාවට ලබාදෙමින් පවතින අතර ජූලි 21 වනදා වන විට ශ්‍රී ලංකාව තම ජනගහනයෙන් සියයට 55% කට ප්‍රමාණයකට එක් එන්නතක් හෝ ලබා දී ඇති බව ඖෂධ සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුත්නික් වී, ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ග පහ උපයෝගී කරගෙන මේ වන විට ශ්‍රී ලංකාව එන්නත්කරන ක්‍රියාවලිය ඉතාමත් සීග්‍රයෙන් ක්‍රියාත්මක කරමින් සිටියි.

කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242කට මේ වන විට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 385,885 දෙනෙකුට ලබා දීමෙන් අනතුරුව හටගත් එන්නත් හිඟය හේතුවෙන් 539,357 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකි වී තිබිණ.

රජය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ජපානය විසින් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 1.47ක් ඉතාමත් ඉක්මනින් ලබාදීමට කටයුතු යොදා ඇති බැවින් එම එන්නත් ලැබුණු විගස ඔවුන්ට දෙවන මාත්‍රාව ලබාදෙන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4791,039 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ දෙවෙනි මාත්‍රාව පුද්ගලයින් 1,322,649ක් ලබාගෙන ඇත; සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයින් 2,865 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවත්, දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුටත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව ස්පුත්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 159,081කට ලබාදී ඇති අතර 14,464දෙනෙක් දෙවන මාත්‍රාවත් ලබාගෙන තිබේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුස්ගලයින් 91992 කටත් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 349,848 දෙනෙකුටත් ලබාදී ඇත.

මේ අනුව මේ වන විට 2,005,202 දෙනෙකුට කුමන හෝ එන්නතක් ලබාදී ඇති අතර පුද්ගලයින් 1,722,998 දෙනෙකු එන්නතේ පළමු මාත්‍රාව හා දෙවන මාත්‍රාව යන දෙකම ලබාගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මිලියන 9.1ක් ලැබී ඇති අතර තවත් මිලියන 1.6ක් ලබන සතියේ ලැබීමට නියමිත බවය. තවත් මිලියන 2ක් ලබන මස දී මිලදීගැනීමට නියමිත බවත් ඔහු පැවසීය.

ඔහු පවසන්නේ මේ වන විට එන්නත් 12,159,930 ක් (මිලියන 12.16ක්) ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර, එයින් එන්නත් මාත්‍රා 8,795,830ක් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 77.3 නැතහොත් රුපියල් මිලියන 15460 ක් (රුපියල් බිලියන 15.46ක්) වියදම් කර මිලදීගෙන ඇති බවයි. එන්නත් මාත්‍රා 3,364,100ක් ප්‍රදානයන් ලෙස ලැබී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙන සයිනොෆාම් එන්නත් මිලියන 9.1න් එන්නත් මිලියන 1.1ක් චීනය විසින් ප්‍රදානයක් ලෙස ලබාදී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ ලබන සතිය වනවිට තවත් මිලියන 1.6ක ප්‍රදානයක් ලැබීමට නියමිත අතර, තවත් සයිනොෆාම් එන්නත් මිලියන දෙකක් රජය විසින් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවයි.

ඇමරිකාව ප්‍රදානයක් ලෙසින් මොඩර්නා එන්නත් 1,500,100ක් (ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ) ද, ඉන්දියාව විසින් ප්‍රදානයක් ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් 500,000ක් ද ලබා දී ඇති බවත් ජපානය ප්‍රදානයක් ලෙසින් 1,470,000 ක් ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා 264,000ක් ලැබී ඇත.

ශ්‍රී ලංකාව විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා 500,000ක් මිලදී ගෙන තිබේ.

ස්පුත්නික් වී එන්නත් 180,000 මෙරටට ආනයනය කර ඇත.

ෆයිසර් එනත් මාත්‍රා 26,000ක් ලැබී ඇති අතර එයින් එන්නත් 2,171 ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් වෙත ලබාදී පසුව එය මන්නාරම් දිස්ත්‍රික්කයේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් වෙත ලබාදීමට රජය තීරණය කරන ලදි.

අමාත්‍ය ජයසුමන පැවසුවේ ධීවර ක‍ටයුතු සහ විවිධ ඉන්දියානු ධීවරයින් සමග ගැටීම සහ මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයින්ගේ විවිධ නීතිවිරෝධී කටයුතුවල යෙදීම නිසා ඇති අවදානම සැලකිල්ලට ගෙන එම ප්‍රදේශයේ ජනතාවට වැඩි ප්‍රතිශක්තිකරණයක් ඇති ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කළ බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහණය

ශ්‍රී ලංකාවේ මේ වන විට 2020 මධ්‍ය වාර්ෂික ජනගහන පුරෝකතනය අනුව රටේ සමස්ත ජනගහණය 21,942,000ක් වන අතර එයින් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 11,496,905ක් සිටිති. එය සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත විට 52.4% කි.

වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින් 2,751,117 එනම් 12.6% ක් ද වයස 30 ත් 60ත් අතර පුද්ගලයින් 8,745,788ක් ද වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයින් 3,831,000ක් ද 12ත් 18ත් අතර 1,961,000ක් ද, වයස අවුරුදු 12 ට අඩු පිරිස 4,654,095ක් වේ.

මේ වන විට වසය 30 ට වැඩි පිරිසෙන් සියයට 55ක ප්‍රමාණයකට පළමු මාත්‍රාව ලබාදී ඇති බවත් රජයේ පළමු ඉලක්කය අගෝස්තු 30 වනදා වන විට වයස අවුරුදු තිහට වැඩි සියලුම දෙනාට පළමු මාත්‍රාව එන්නත්කරණය කිරීම බව අමාත්‍ය ජයසුමන පැවසීය.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දෙවන සතිය වන විට වසය 30 ට වැඩි පිරිසෙන් පූර්ණ එන්නත් කරණයට ලක්වී එම එන්නත් ක්‍රියාවලිය අවසන් කිරීමට බලපොරොත්තුවන බවත් ඉන් අනතුරුව එයට අඩු වයස් ඛාණ්ඩවලට එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවත් ලිපි: