ශ්‍රී ලංකාවේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය: 'ජීවිත බේරමු ඒත් ආයෙත් මිථ්‍යාව පතුරන්න එපා'

  • සරෝජ් පතිරණ
  • BBC සිංහල
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි 'ධම්මික පැණිය' සමග

ඡායාරූප මූලාශ්‍රය, Economynext

ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු නව කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේද ශ්‍රී ලංකාව පුරා පැතිර යාමත් සමග මේ වනවිට දිනකට සියයට ආසන්න පිරිසකට දිවි අහිමිවන අතර, ආසාදිතයින් ප්‍රමාණය ද සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

මේ තත්වය හමුවේ රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙන අතර, වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ රෝහල්වල ධාරිතාව දරාගත නොහැකි මට්ටමකට පැමිණ තිබෙන අතර ඉදිරි සති කිහිපයේ දී දිනකට 150 ක පමණ පිරිසකට ජීවිත අහිමිවිය හැකි බවය.

මේ අතර ආයුර්වේද ඖෂධ ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කර තිබුණේ, මෙතෙක් ආයුර්වේද රෝහලක කිසිදු රෝගියෙකු මියගොස් නොමැති බැවින් දේශීය ඖෂධ භාවිතයෙන් වසංගතයට සහනයක් ලබා ගත හැකි බවය.

තමන් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කෝවිඩ් වැළැක්වීමේ කමිටුවට ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබිණ. රාජ්‍ය අමාත්‍යවරයා මතු කළ කරුණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කවර ප්‍රතිචාරයක් පළ කළේ දැයි වාර්තා වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, facebook/ sisira jayakody

එහෙත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයින් සහ ප්‍රජා නායකයින් කිහිප දෙනෙකු ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසා බැලීමක දී ඔවුන් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මතුකරන තර්කය විද්‍යාත්මක කරුණු මත පදනම් වූවක් නොවන බවය.

'අවිද්‍යාව ප්‍රචලිත කිරීමේ රාජ්‍ය අනුග්‍රහය'

රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි කියා සිටියේ, මෙවැනි ප්‍රකාශ ගැන තමන් කිසිසේත්ම පුදුම නොවන බවය.

"මේකේ එක කාරණයක් ඇත්ත. කොවිඩ් පොසිටිව් වුනු කිසිම කෙනෙක් intermediatecare center (ICC) වල මැරිල නෑ. දැනට ආයුර්වේද රෝහල් භාවිත කරන්නේ ICC හැටියට. කිසිදු අමාරු ලෙඩෙක් ඒ තැන්වල නෑ. මේ තර්කය අනුව ඔක්කොම කොවිඩ් ලෙඩ්ඩු ICC වලට යැව්වොත් ඒ ලෙඩ්ඩු මැරෙන්නේ නැති වෙයි," ඔහු බීබීසී සිංහල සේවය සමග පැවසීය.

"අපිට මේ වෙලාවේ ප්‍රශ්නේ තියෙන්නේ බටහිර වෙදකමද, ඉන්දියානු වෙදකමද (ආයුර්වේද යනු ඉන්දියානු වෙදකමකි) කියන එක නෙමෙයි. මොන ක්‍රමයෙන් හරි ජීවිත බේරා ගැනීම. කවුරුන් හෝ මේ ජීවිත බේරගන්න ක්‍රමයක් හොයාගන්නවානම් අපි සියල්ලන්ම ඒකට සහයෝගය දෙන්න කැමතියි."

කෙසේ වුවත් සිය විෂය පථය හෝ ඖෂධයක ගුණය නිවැරදිව මැන බලන ක්‍රමවේදය අවබෝධයක් නොමැති පුද්ගලයෙකු කරන මෙවැනි ප්‍රකාශ "සිහිබුද්ධිය තියන කෙනෙක් ගණන් ගන්නේ නෑ," යනුවෙන් ද සඳහන් කළ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය සුනෙත් අගම්පොඩි, "හැබැයි පහුගිය කාලේ මේ වගේ ප්‍රකාශ වලට රජය ගත්ත පියවර සහ අවිද්‍යාව ප්‍රචලිත කිරීමේ රාජ්‍ය අනුග්‍රහය ගැන සිහිපත් කරනකොට මේකත් ඒ වගේ දෙයක් වේද කියන සාධාරණ සැකයක් නම් ඇති වෙනවා," යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ආයුර්වේද රෝහල්වල රෝගීන් මිය ගියා ද?

ශ්‍රී ලංකාවේ ආයුර්වේද රෝහල් දැනට යොදාගෙන තිබෙන්නේ සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්තාන ලෙසින් පමණක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක ද පෙන්වාදෙයි.

ආයුර්වේද රෝහල් එසේ යොදාගැනීමට හේතුව රට පුරා සියලු රෝහල්වල ඇඳන් මත නොව බිම පවා රෝගීන් ගෙන් පිරී තිරී ගොස් ඇති බැවිනි.

එමෙන්ම නව කොරෝනා වෛරසය වැළඳුණ කිසිදු අසාධ්‍ය රෝගියෙකු ආයුර්වේද රෝහල්වලට ඇතුළත් නොකරන බව මහාචාර්ය කරුණාතිලක මෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ද පෙන්වා දුන්හ.

පවතින තත්වය හමුවේ අනාගතයේ දී පාසල් පවා පවරාගැනීමට ඉඩ තිබෙන බවත් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය.

ආයුර්වේද රෝහල්වලට ඇතුළත් කරනු ලබන රෝගීන් ද නිරීක්ෂණය කරනු ලබන්නේ වෙනත් රෝහල්වල සිට පැමිණ සිටින බටහිර වෛද්‍යවරු විසිනි. කිසියම් ලෙසකින් එසේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝගියාට ඔක්සිජන් අවශ්‍යතාවක් මතුවුවහොත් එය ලබා දෙන්නේ ද, බටහිර වෛද්‍යවරුන් සහ හෙද, හෙදියන් විසිනි.

"ආයුර්වේද රෝහල්වල කොහොමත් ඉන්නේ සුලු රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්. මොකද අපිට දැන් අවශ්‍යතාව තියෙන්නේ ඇඳන්. එම රෝගීන් මොනිටර් කරන්නේ සහ බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ ප්‍රතිකාර කරන්නේ බටහිර රෝහල්වලින් ගෙන්වපු වෛද්‍යවරු," මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවය සමග පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ඇතැම් ආයුර්වේද රෝහල්වල ආයුර්වේද ප්‍රතිකාර ද සිදුකරන බවත් මහාචාර්ය කරුණාතිලක සඳහන් කළේය.

මේ අතර මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා කියා සිටියේ, සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ අගනුවරින් බවය.

එහෙත් එහි අදහස කොළඹ රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් නැතැයි යන්න නොවන බව පෙන්වා දුන් මහාචාර්යවරයා, එයට හේතුව බරපතල රෝගීන් රටේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ රෝහල්වලට ගෙන ඒම බව ද බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

එබැවින් ආයුර්වේද රෝහල්වල දී කෝවිඩ් රෝගීන් මියගොස් නැති බවට රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය සත්‍යයකි.

එහෙත් ආයුර්වේද ප්‍රතිකාර මගින් කොරෝනා ආසාදිතයින් සුවය ලබන බවක් එමගින් ගම්‍ය නොවන බව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහසය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය සතියේ නිකුත්කළ නිවේදනයක්

ධම්මික පැණිය

කෝවිඩ් වසංගතය විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ පන්දහසකට අධික ජීවිත බිලිගෙන තිබෙන අතර, එය සමස්ත ආසාදිත පිරිසෙන් 1.5% කි.

පසුගිය සති දෙක ඇතුළත අලුතෙන් ආසාදනය වූ රෝගීන් සලකා බලනවිට මියගිය ප්‍රතිශතය ආසාදිතයන් අතුරින් 2.9% දක්වා ඉහළ ගොස් ඇති බව ද මහාචාර්ය ඉන්දික කරුණාතිලක පෙන්වා දුන්නේය.

ආයුර්වේද රෝහලක දී කිසිදු කොවිඩ් රෝගියෙකු මිය නොයාමට හේතුව ආයුර්වේද ප්‍රතිකාර බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් ලැබී නැත.

එසේ කිසිදු සාක්ෂියක් නොතිබිය දී පවා ආණ්ඩුව ශ්‍රී ලංකාවට එන්නත් ආනයනය කිරීම ප්‍රමාද වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ 'ධම්මික පැණිය' ගැන අසීමිත විශ්වාසයක් තැබීම යයි සිය හැඟීම බවත් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසයි.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ ඇතැම් කැබිනට් ඇමතිවරු මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ධම්මික පැණිය ප්‍රවර්ධනය කළ අතර එය ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත්කිරීමේ සූදානමක් ද පැවතින.

එසේ අවිද්‍යාව මත පදනම් වී එන්නත්කරණය ප්‍රමාද නොකළේ නම් බොහෝ ජීවිත ගණනක් බේරාගත හැකිව තිබුණු බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය,

මහාචාර්ය ඉන්දික කරුණාතිලක ගෙන් උපදෙසක්

'රටවැසියන් නොමග යවන්න එපා'

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ගේ ඉහත කී ප්‍රකාශය විද්‍යාව මත පදනම් වූවක් නොවේය යන්න ආගමික නායකයින්ගේ ද ස්ථාවරය වී තිබේ.

බුදු දහමේ හේතු, ඵල න්‍යාය අනුව මතු වී තිබෙන තත්වය බීබීසී සිංහල සේවය සමග විග්‍රහ කරන වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ, ලොව වෛද්‍ය විශේෂඥයින් කෝවිඩ් වසංගතයට එරෙහි එන්නත් සොයා ගනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පවත්වන ලද පූර්ණ පර්යේෂණවලින් අනතුරුව බවය.

"නමුත් ලංකාවේ අපි දැක්ක මේකට හේතු හොයලා හේතුවට පිළියම් යොදන්නේ නැතුව කාලිගෙන් ආපු පැණි ප්‍රවර්ධනය කළා, රාවණාගෙන් ආපු බෙහෙත් ප්‍රවර්ධනය කළා," එහිමියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

"ඒකෙන් මම හිතනවා විශාල විපතක්‌ වුණා. මිනිස්සු නොමග ගියා. රංචු ගැහිලා මිනිස්සු පස්සේ පොදි කමින් එකතු වුනා."

එහිමියන් පවසන්නේ, ඒ තත්වය යටපත් වී ශ්‍රී ලංකාව එන්නත්කරණය ගැන අවධානය පළකරන මොහොතක යළිත් වරක් රටවැසියන් 'නොමග යැවීමට' කිසිවෙකු උත්සහ දරන්නේ නම් එය කිසිසේත්ම පිළිගත නොහැකි බවය.

"විද්‍යානුකූලව හිතල, හේතුවාදී විදියට හිතල, කළ යුතුම පිළියම් කරනවා විනා මේ වෙලාවේ අවස්ථාවාදී විදියට ප්‍රවර්ධනය කරන්න හදන මිත්‍යාවන්වලින් ගැලවී සිටින්න කියල සියලු ජන ප්‍රජාවන්ගෙන් මම ඉල්ලා සිටිනව," ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

වීඩියෝ ශීර්ෂ වැකිය,

කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු - බුදු දහමෙන් උපදෙසක්

තවත් කියවන්න: