ශ්‍රී ලංකාවේ කොවිඩ් සහ දත්ත: 'තීරණ ගත යුත්තේ දත්ත මත පදනම්වයි'

COLOMBO, SRI LANKA - 2021/08/13: Sri Lankan Army health official prepares to register a man to receive a dose of (Covid-19) coronavirus vaccine during a mobile vaccination drive by army health officials in Colombo. (Photo by Saman Abesiriwardana/Pacific Press/LightRocket via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

"ඊලඟ මාසයේ තවත් කොච්චර වැඩි වෙයිද? රට වහනවා නම් කවදා වහන්න වෙයිද? ඉස්කෝල අරිනවා නම් කවදා අරින්න වෙයිද?"

කොවිඩ් පැතිරීම පාලනය කරනුවස් අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර හඳුන්වා දීමේදී දත්ත අතිශය තීරණාත්මක බව වෛද්‍ය විශේෂඥයෝ සහ සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෘත්තිකයෝ අවධාරණය කරති.

ඔවුන් ඒ බව පෙන්වා දෙන්නේ කොවිඩ් මරණ සහ ආසාදිතයන් පිළිබඳ ව්‍යාජ දත්ත ප්‍රකාශයට පත්වන බවට චෝදනා එල්ල වෙන පසුබිමකදීය.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් දත්ත වෙනස් කිරීම් 2021 අප්‍රේල් මාසයේ පවා පාලනයකට ලක්කළ බවට හෙළිවන්නේ ආසාදිතයන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස 2,000 කට අඩු අගයක පවත්වා ගැනීමෙන් වන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

බලධාරීන් කිහිප දෙනෙකුගේ ආචාර සම්පන්න නොවන වෘත්තීය හැසිරීම නිසා කොවිඩ් දත්ත සහ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ දත්තවල විශ්වසනීයත්වය අනතුරේ පවතින බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්විණි.

ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකම දත්තවල පරස්පරතා ඇති බව ආණ්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් ද මේ වන විට පිළිගෙන තිබේ.

"දිස්ත්‍රික්ක 25හේ අහඹු පරීක්ෂණ කරන්න"

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසන්නේ රටේ සියලුම දිස්ත්‍රික්කවල විධිමත් අහඹු පරීක්ෂණ සිදු කර එම දත්ත මත පදනම්ව පූර්ව ආරක්ෂක පියවර හඳුන්වා දිය යුතු බවය.

"අපි හෙට දවස ගැන නෙමෙයි මේ රටේ කොවිඩ් සම්බන්ධයෙන් ලබන මාසයේ වෙන්නේ මොකක්ද කියන දේ ඇනලයිස් (විශ්ලේෂණය) කර තියෙන්න ඕනි, පුරෝකථනය කර තියෙන්න ඕනි," යනුවෙන් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

ඒ සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 හේ ම අහඹු පරීක්ෂාවන් සිදු කළ යුතු බව ඊට පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් සහාය දීමට සූදානම් බවත් ඔහු පැවසීය.

"අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරලා, දිස්ත්‍රික්ක වශයෙන් රෝගය පැතිර යන්නේ කොහොමද? මොන ප්‍රභේද ද පැතිර යන්නේ? කුමන අනුපාතවලින් ද පවතින්නේ? වගේ සමීක්ෂණයක් කරලා ලබන මාසයේ මොකක්ද වෙන්නේ කියලා ජනතාවට කියන්න අපිට පුළුවන් වෙන්න ඕනි,"

"එතකොට අපිට පුරෝකථනය කරන්න ඊලඟ මාසයේ තවත් කොච්චර වැඩි වෙයිද? රට වහනවා නම් කවදා වහන්න වෙයිද? ඉස්කෝල අරිනවා නම් කවදා අරින්න වෙයිද? මේ කියන හැම තීන්දුවක්ම ගන්න ඕනි අර කියපු දත්ත සහ විද්‍යාත්මක අවේෂණ මත පදනම්ව."

'ජනාධිපති හිතුනම අරිනවා, හිතුනම වහනවා'

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආර්ථික අර්බුදය හමුවේ ලොක්ඩවුන් කිරීමකට නොගොස් එන්නත්කරණයට ප්‍රමුඛතාව දෙන බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ

රටේ දැන් පවතින තත්ත්වය සහ වසංගතය හමුවේ රට යන දිශාව අහඹු පරීක්ෂණ ආරම්භ කර මාස එක හමාරක් ඇතුලත කිව හැකි බව ද රවී කුමුදේශ් කියා සිටියේය.

"සමහරු හිතා ඉන්නවා මේ අහඹු කියන දේයි, අවිධිමත් කියන දේයි එකක් කියලා. දැන් අපි කරන්නේ අවිධිමත් පරීක්ෂණ ක්‍රියාවලියක්. එතකොට අපි ගන්න තීරණ වරදිනවා."

"ඒ නිසා ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහේම මේ ක්‍රියාවලිය අඛණ්ඩව වෙන්න ඕනි. දිස්ත්‍රික්කයක විධිමත් අහඹු ක්‍රියාවලියක් මගින් පරීක්ෂණ 200 ක් කරන්න පුළුවන් නම් එයත් ප්‍රමාණවත්. ඒ ක්‍රියාවලියයි වැදගත්. එය විද්‍යාත්මක සිදු කිරීම තමයි නිවැරදි පුරෝකථනයක් සඳහා තීරණාත්මක සාධකය."

"නමුත් අපි එවැනි කිසිම විද්‍යාත්මක ආවේෂණ ක්‍රියාවලියක් කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව තමයි තීරණ ගන්නේ. රට වහනවා, වැහුවම මොකද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඇරියම වෙන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ."

"වහගෙන හිටියම දැන් ඉවරයි කියලා හිතනවා. එතකොට ජනාධිපතිතුමාට හිතිලා අරිනවා. ඒ ඇරියම ආයත් මැරෙනවා කිව්වම ආයෙත් වහනවා. එහෙම ක්‍රියාවලියක් කොහොමද විද්‍යාත්මක වෙන්නේ." යනුවෙන් රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව දත්ත හංගනවද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

වත්මන් තත්ත්වය දිගටම පැවතියොත් අගෝස්තු 10 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් දිනකට මරණ 80 -90 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි අගෝස්තු 01 වෙනිදා අනතුරු අඟවා තිබිණි

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳුදා (අගෝස්තු 16) මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ කොවිඩ් මරණ සහ ආසාදිතයන් සම්බන්ධයෙන් දත්ත සැඟවීමක් සිදු නොවන බවය.

දත්තවල වෙනසක් ඇති බව පිළිගන්නා අතරම එම වෙනස කුමක්දැයි හඳුනා ගැනීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

"දත්ත හංගනවා නෙමෙයි, මේ අවස්ථාව වන විට ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කෙරෙනවා. වැරදි නිවැරදි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉතාම උනන්දුවෙන් කටයුතු කරනවා. මේ වරද නිවැරදි කර ගත් විට කොවිඩ් රෝගීන් පිළිබඳ මරණ අනුපාතිකය නිවැරදි අගයට පැමිණෙයි කියනදේ තමයි මම විශ්වාස කරන්නේ."

"දින දෙකක සිට සිදු කරන ලද PCR පරීක්ෂණ ගණනත් හරියට වාර්තා වෙන්නේ නැහැ අපේ වාර්තාවල. මේ සියල්ලම එක් වාරයකදී නිවැරදි කරගෙන දත්ත පද්ධතිය නිවැරදි කරගත් පසුව අපි මේ ගැන නැවතත් කතා කරමු" යනුවෙන් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ "දත්ත හංගනවද?" යනුවෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

'දත්ත වෙනස් කරන්නේ හමුදාව'

වීඩියෝ ශීර්ෂ වැකිය,

කොවිඩ්-19: ශ්‍රී ලංකාවේ සතියක් තුළ රෝගීන් 34%කින් සහ මරණ 60%කින් ඉහළට

වසංගතය පිළිබඳ සැබෑ කරුණු රටට හෙළිදරව් නොකර ව්‍යාජ දත්ත සකස් කරන බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අඟහරුවාදා (අගෝස්තු 17) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

"ගම්පහ දිස්ත්‍රික්කයේ සතියකට ආසාදිතයන් 3,629 වාර්තා කරන කොට ඇත්ත සංඛ්‍යාව 12,555. ඒ කියන්නේ 8,926 ක් අඩු කරලා තියනවා. මඩකලපුව දිස්ත්‍රික්කය ගත්තොත් ආණ්ඩුව කියන්නේ 45 යි. පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කියනවා ' නෑ 342 යි' කියලා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 71 කියනකොට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කියන්නේ 163 යි. අම්පාර දිස්ත්‍රික්කයේ 78 යි කියනකොට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කියනවා 332 යි කියලා."

"එතකොට කවුද මේවා වෙනස් කරන්නේ?" යනුවෙන් ප්‍රශ්න කළ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන දෙනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොව හමුදාව විසින් බවය.

"මිනිස්සු මැරුණාම ගෙවල්වලට යවනවා. යවලා මිනිස්සුන්ගේ කටඋත්තර ගන්නවා, එයාට දියවැඩියාව තිබුණා නේද? එයාට හෘදය රෝග තිබ්බා නේද? එයාට වකුගඩු රෝග තිබුනා නේද? එයාට පිළිකාවක් තිබුනා නේද? ඒවා එක ගොඩකට දානවා. එතකොට 180 ක් විතර තියන මරණ 150 කට විතර බස්සනවා. ආසාදිතයන් සංඛ්‍යාව වෙනම සංඛ්‍යා ලේඛන හදනවා."

ඊට එක්තරා හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සම්බන්ධ බවට ද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න චෝදනා කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ෆේස්බුක් හි තැබූ සටහනක්

රජයේ ප්‍රතිචාරය

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ සෞඛ්‍ය සේවයේ නිලධාරීන් අතින් සිදුවූ ප්‍රයෝගික ගැටළුවක් දත්ත වෙනස් වීමට හේතුව වී ඇති බවය.

"නැතුව රජය විසින් යටගහන්න හදපු දෙයක් නොවෙයි."

ඇතැම් අවස්ථාවල බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධ වී ඇතත් හමුදා නිලධාරියෙකු මැදිහත් වී දත්ත එක්රැස් කරන බව කීම "සම්පූර්ණයෙන් වැරදි" බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

"අඳුරේ අතපත ගෑමක්"

අගෝස්තු 07 වෙනිදායින් පසු දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මීට දින 12 කට පෙර BBC සිංහල සේවය වෙත පැවසීය.

සීග්‍ර සහ සාර්ථක එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක වුවත්, වත්මන් තත්ත්වය දිගටම පැවතියහොත් අගෝස්තු 10 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් දිනකට මරණ 80 -90 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි ඊට පෙර, එනම් අගෝස්තු 01 වෙනිදා අනතුරු අඟවා තිබිණි.

වසංගත රෝග පාලනයකදී තොරතුරු සහ දත්ත යනු "අංක එක" බව මහාචාර්යවරයා පෙන්වා දුනි.

"ඒ කියන්නේ අපට නිවැරදි දත්ත නැතුව රටේ කොපමණ රෝගීන් ඉන්නවද? පරීක්ෂණ කෙතරම් කර තිබෙනවද? මේ රෝගීන් මොන මොන තැන්වලින්ද එන්නේ? කියලා කියන්න බැහැ."

"මෙන්න මේ මූලික දත්ත නැතුව වසංගතයකට මුහුණ දෙනවා කියන්නේ අඳුරේ අතපත ගෑමක් වගේ දෙයක්."

මුල් කාලයේ වසංගත පාලනය අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම පසුවුවත් ඊළඟ රැල්ලට ශ්‍රී ලංකාවේ සූදානමක් නොපැවති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පැවසීය.

"මේ අවුරුද්ද ආරම්භයේ වගේ ඉඳන් අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි මේ දත්තවල පැහැදිලි ගලා යාමක්, නිවැරදි දත්ත ලබා ගැනීමක් සහ වසංගත පාලනය සඳහා අවශ්‍ය දත්ත නිසි ලෙස යොදා ගැනීමක් අපි දැක්කේ නැහැ."

"මාධ්‍යවේදීන්ට පමණක් නොවෙයි, වසංගතය පාලනයට උපදෙස් දෙන, ක්ෂේත්‍රයේ වැඩ කරන අයට පවා මේ දත්ත තිබුණේ නැහැ." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ගැනත් කියවන්න: