ශ්‍රී ලංකාවේ ආහාර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේ ඇයි?

  • සෘති මෙනන් සහ රංග සිරිලාල්
  • බීබීසී රියැලිටි චෙක් සහ බීබීසී සිංහල
Woman carrying food bags in Colombo while people wait in queue outside a state-run supermarket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

කාන්තාවක් ආහාර බෑග් රැගෙන යද්දී කොළඹ නගරයේ සතොස වෙළෙඳසලක් ඉදිරිපිට පෝලිමේ සිටි පිරිසක්

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි අගුලු දැමීමේ පියවර මධ්‍යයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වූ දිගු පෝලිම් ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල දක්නට ලැබිණි.

ආනයනය කරන ලද කිරිපිටි, ධාන්‍ය සහ සහල් වැනි භාණ්ඩවල ඉතා සුළු ප්‍රමාණයක් ඉතිරිව තිබියදී රජය විසින් පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළෙඳසල්වල රාක්ක හිස් වෙමින් පැවතිණි - සමහර රාක්ක දැටමත් හිස් වී ඇත.

භාණ්ඩ හිඟයක් නොමැති බව රජය පවසන අතර ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇතිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට දොස් පවරයි.

මෙම තත්ත්වය අතරේ භාණ්ඩ සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රජය මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පසුගිය සතියේ සිය ඉවත්වීම ප්‍රකාශයට පත් කළේය.

රජය මොනවද කර තිබෙන්නේ?

අගෝස්තු 30 වෙනිදා, අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම දැඩි ලෙස පාලනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේය.

වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය සැඟවීම, ගබඩා කිරීම වැළැක්වීම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා මෙය අවශ්‍ය බව රජය පැවසීය.

ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වන රුපියල, උද්ධමනය සහ විදේශ ණය බරත් සමඟ ශ්‍රී ලංකාව පොරබදමින් සිටී.

මෑතක් වන තුරුම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් හිමිව තිබුණත් පසුගිය කාලයේදී ආර්ථිකය මන්දගාමී වීම විශේෂ සැලකිල්ලක් යොමුවීමට හේතු විය.

2019 දී ලෝක බැංකුව විසින් ඉහළ මැදි ආදායම් ලබන රටක් දක්වා ශ්‍රී ලංකාව උසස් කරන ලදි.

නමුත් ඒ සමඟම රටේ ණය බර ද වර්ධනය වෙමින් පැවතිණි - ලෝක බැංකුවට අනුව, 2010 දී රටේ සමස්ත ණය දළ ජාතික ආදායමෙන් 39% සිට 2019 දී එය 69% දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර මිල ගණන් සහ සැපයුම්වලට කුමක් සිදුවීද?

ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ යමින් පවතී.

පසුගිය මාස කිහිපය තුළ සීනි, ලූනු සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබුණි.

මේ අතර, මැයි මාසයේදී ඉහළ ගිය සහල් මිල පහත යමින් තිබූ අතර සැප්තැම්බර් මස ආරම්භයේ සිට සිල්ලර මිල සීමාවක් පැනවීමෙන් පසු මිල තවදුරටත් පහත යමින් පැවතිණි.

හදිසි අවස්ථා රෙගුලාසි මඟින් වෙළෙඳුන්ගෙන් තොග මිලදී ගැනීමෙන් පාලන මිලට ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට ලබා දීමට රජයට ඉඩ සලසයි.

බීබීසීය වෙත නිවේදනයක් නිකුත් කළ මුදල් අමාත්‍යාංශය හිඟය සම්බන්ධයෙන් කියා සිටියේ එය "කෘත්‍රිම" බවය.

"අවිචාරවත් නැතහොත් දුෂ්ට පුද්ගලයින් විසින් කෘත්‍රිම හිඟයක් ඇති කරනු ලැබීම පැහැදිලිවම එම භාණ්ඩවල මිල ඉහළ යාමට හේතු ව." බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ආහාර හිඟයක් නුදුරේ ඇතිවන බවට නැගෙන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කළේය.

බීබීසියට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ "අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සෑම විටම ඕනෑම වේලාවක දී ලබා ගත හැකි බවට අපට නිශ්චිත හා ස්ථිරසාර සහතිකයක් ලබා දිය හැකියි," යනුවෙනි.

රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් ආහාර හිඟයක් පිළිබඳව "අසත්‍ය වාර්තා" ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කළේය.

කෙසේ වෙතත්, සීනි, සහල්, පරිප්පු සහ කිරිපිටි වැනි භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් රටේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබුණි.

රම්‍යා ශ්‍රියානි පැවසුවේ ඇයට පැයකට වඩා වැඩි කාලයක් පෝලිමේ සිට ගම්පහ පිහිටි සතොස ඇතුළට යාමට හැකි වූවත් ඇයට අවශ්‍ය සහල් සහ කිරිපිටි එහි නොවූ බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කොළඹ පිහිටි සතොස වෙළෙඳසලක් ඉදිරිපිට පෝලිමේ සිටින පුද්ගලයින්

"මම විනාඩි 45 ක් පමණ පෝලිමේ සිටි අතර මට ලැබුනේ සීනි කිලෝග්‍රෑම් එකක් විතරයි" යනුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන කුමාරදාස පැවසීය.

නම හෙළිකිරීමට අකමැති වූ තවත් පුද්ගලයෙක් බීබීසියට පැවසුවේ ගම්පහ නගරයේ සහ ඒ අවට නගර වල පාලන මිලට සීනි අලෙවි කරන ආණ්ඩුවේ සුපිරි වෙළෙඳසල් විවෘතව නොමැති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

දැඩි අගුලු දැමීමේ කොන්දේසි තිබියදීත්, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට දිගු පෝලිම් වාර්තා වී ඇත

රජයේ ප්‍රතිපත්තිය විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තොග සඟවා තැබීම, අනවසර ගබඩා කිරීම සහ මිල ඉහළ යාම නිරීක්ෂණය සහ පාලනය කිරීම සඳහා වෙනත් නීති මේ වන විටත් ඇති අතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ තීරණය ගනු ලැබුවේ "නරක චේතනාවෙන්" බවය.

"(අර්බුදය) හුදෙක් බල අරගලයේ ප්‍රථිපලයක්, බලය තහවුරු කිරීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරයා සහ රජය පුරවැසියන්ගේ ජීවිත දැඩි ලෙස අවදානමට ලක් කර ඇත," යනුවෙන් සමගි ජන බලවේගයේ ඉරාන් වික්‍රමරත්න පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කාබනික ගොවිතැන නිසාද?

කාබනික ගොවිතැන දිරිමත් කිරීම සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක ආනයනය කිරීම රජය අප්‍රේල් මාසයේදී තහනම් කළේය.

නමුත් මෙම පියවර සහ එය එකවර ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජය විවේචනයට ලක් විය.

"අපි කාබනික ගොවිතැනට විරුද්ධ නැහැ. මේ බාල සහ තත්ත්වයෙන් තොර විෂ රසායනික ද්‍රව්‍ය සහ පිළිකා කාරක අඩංගු රසායනික පොහොර ආනයනය කර වෙළෙඳපොළට මුදාහරිමටයි අපි විරුද්ධ," යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය.

කෙසේ වෙතත්, "එයට පිළිතුර එක රැයකින් ආනයනය තහනම් කිරීම නොවන බව" ඔහු වැඩිදුරටත් පැවසීය.

සමහර ගොවීන් පවසන්නේ එක් රැයෙන් මෙසේ කාබනික පොහොරවලට මාරුවීම නිසා නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු විය හැකි බවය.

"කාබනික පොහොර වල ඵලදායිතාව රසායනික පොහොර වලට වඩා අඩුයි, ඒක නිසා අපේ නිෂ්පාදනය අඩු කරනවා. අපි ජිවත් වෙන්නේ ගොවිතැනින් එතකොට කොහොමද අපි ජිවත් වෙන්නේ මේක නිසා අපිව ගොවිතැනින් ඉවත් වෙන්න බල කරනවා" යැයි අම්පාර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එච්සී හේමකුමාර පැවසීය.

නාමල් කරුණාරත්න තවදුරටත් මේ පිළිබඳ අදහස් පළකරමින් "ආණ්ඩුව ඒ අඩුවෙන අස්වැන්නට හානි ගෙවනවා කියනවා. ඒක නිසාම පැහැදිලියි මේ කාබනික වගාවට යොමුකිරීමෙන් රටේ අස්වැන්න අඩුවෙන බව රජයත් පිළිගෙන ඇති බව" යැයි කීය.

ජූලි මාසයේදී කළ සමීක්‍ෂණයකට අනුව ලංකාවේ ගොවීන්ගෙන් 90% ක් පමණ රසායනික ද්‍රව්‍ය භාවිත කරති.

සහල්, රබර් සහ තේ වගාවන්ද රසායනික පොහොර මත වැඩිපුර රඳා පවතී.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 10% ක් තේ අපනයනයෙන් ලැබෙන අතර ඇතැම් තේ නිෂ්පාදකයින් පවසා ඇත්තේ තම බෝග නිෂ්පාදනයෙන් 50% ක් පමණ අහිමි විය හැකි බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

කාබනික වගාවට යොමුවීම ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට තර්ජනයක්

"ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක්"

ජර්මනියේ හොහෙන්හයිම් විශ්ව විද්‍යාලයේ කාබනික ගොවිතැන් මධ්‍යස්ථානයේ මහාචාර්ය සබීන් සිකෙලි පවසන්නේ කාබනික වගාවට වේගයෙන් මාරුවීම රටක ආහාර සුරක්‍ෂිතතාවට තර්ජනයක් විය හැකි බවය.

"ඔබට එකපාරටම මෙම සාම්ප්‍රදායික වගා ක්‍රම වෙනස් කළ නොහැකියි, ඒ සඳහා සංක්‍රාන්ති කාලයක් අවශ්‍යයි," ඇය පවසීය.

"කාබනික ගොවිතැනේදී, අනුවර්තනය වීමේ සාමාන්‍ය සංක්‍රාන්ති කාලය .... රට අනුව අවුරුදු තුනක් හෝ ඊටත් වැඩි කාලයක් යන්න පුළුවන්."

භූතානය 2020 වන විට 100% කාබනික ගොවිතැන වෙත විතැන් වීමේ ප්‍රතිපත්තියක් භූතානය විසින් හඳුන්වා දෙන ලද්දේ 2008 වසරේදී ය.

නමුත් මෙම ඉලක්කය සපුරා ගැනීමට බොහෝ දුරක් යෑමට එරටට සිදුවී ඇති බව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කෙරෙන්නේ එය හඳුන්වා දුන් කාබනික ගොවිතැනෙන් ලැබෙන අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වීම නිසා එය, ආනයන මත යැපීම ඉහළ යාමට හේතුවී ඇති බවකි.

ශ්‍රී ලංකාවට ද දැන් ඒ හා සමාන තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බව මෙම අධ්‍යයනයේ සම කර්තෘ වූ මහාචාර්ය සිකෙලි පවසයි.

රටේ වර්තමාන ආර්ථික අර්බුදය රටේ ආහාර සුරක්‍ෂිතතාවට තර්ජනයක් ද විය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟ වෙමින් පවතින අතර රට තුළ ඇති විදේශ විනිමය ණය පියවීම සඳහා යොදාගැනීම නිසා පවතින තත්ත්වය තවත් උග්‍ර විය හැක.

2019 නොවැම්බර් මාසයේදී රජය බලයට පත් වන විට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5 ක් වූ රටේ විදේශ සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසානයේදී ඩොලර් බිලියන 2.8 ක් දක්වා පහත වැටී ඇත.

තවද ඩොලර් බිලියන 4 ක පමණ විදේශ ණය ඇති අතර ඒ සඳහා පොලී ද ගෙවිය යුතුවෙයි.

සීනි, තිරිඟු, කිරි නිෂ්පාදන සහ බෙහෙත් ඇතුළු වෛද්‍ය සැපයුම් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට එය බලපානු ඇති අතර සැපයුම් ගැටලුව දිනෙන් දින වර්ධනය වීමට එය හේතුවක් විය හැකිය.