ලංකාවට ණය උගුල අටවන්නේ චීනයෙන් ද, බටහිරින් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"චීන ණය උගුල" යනු රාජ්‍යතාන්ත්‍රික ලෝකයේ මෑතක දී වැඩියෙන්ම කතාබහට ලක්වූ යෙදුමකි. ශ්‍රී ලංකාව "චීන ණය උගුලක" සිරවී ඇති බව කලෙක සිටම පැවති චෝදනාවක් විය.
බටහර රටවල් චෝදනා කර සිටින්නේ, චීනය ශ්‍රී ලංකාවට සහ අප්‍රිකානු කලාපයේ රටවලට ණය ලබා දෙමින්, එම රටවල ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගන්නා බව යි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරන කොළඹ චීන තානාපති කාර්යයාලය පෙරලා පිළිතුරු දුන්නේ, "බටහිර ණය උගුලෙන්" ශ්‍රී ලංකාව බේරා ගත්තේ චීනය බව පවසමිණි.
ශ්‍රී ලංකාවේ මෙන්ම අප්‍රිකාවේ ද ඇතැම් රටවල වරාය, ගුවන්තොටුපොළ ඇතුලු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ සංවර්ධන ව්‍යාපෘති රැසකට ණය සපයා ඇත්තේ චීනය යි.
"උගන්ඩාව ගිලගත් චීන ණය උගුල ශ්‍රී ලංකාව ද ගිල ගනිමින් සිටියි!"
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නොවැම්බර් 30 දා "උගන්ඩාව ගිලගත් චීන ණය උගුල ශ්‍රී ලංකාව ද ගිල ගනිමින් සිටියි!" යන මාතෘකාව යටතේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.
එම සටහන මඟින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ විමසා සිටියේ ය: "උගන්ඩාවේ එකම හා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දැන් ඔවුනට අහිමි වී ඇතිබව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඒ චීනයට ණය ගෙවාගත නොහැකි වීමෙන්. රටට පිවිසෙන එකම හා ප්‍රධාන දොරකොඩ වෙනත් රටකට අයිතිවීම උගන්ඩා වැසියන්ට කෙතරම් පීඩාකාරී අත්දකිමක් වනු ඇත්ද?"
"රාජපක්ෂ පාලනයේ වගේම උගන්ඩාවේ දූෂිත දේශපාලන නායකයින්ගේ ප්‍රමුඛතාවයන් හා ජාතික සැලැස්මක් නැති කොමිස් සඳහාම ගිජුවූ ඉදිකිරීම් සඳහා චීනයෙන් මහා පරිමාණයෙන් වාණිජ ණය ගැනීමේ උද්දච්ච තීරණවල ප්‍රතිපලයි මේ," ඔහුගේ පෝස්ටුවේ සඳහන් වෙයි.
"රාජතාන්ත්‍රික සීමා මායිම්වලින් ඔබ්බට ගොස් වෙනත් රටක "දේශපාලන හා යුදමය අභිලාශය" වෙනුවෙන් ඒ කඳවුරකට ගැතිවී තම රටෙහි ස්වාධිපත්‍යය, ස්වරීත්වය අහිමිකර ගැනීම රටේ ජාතික අභිලාශය අමු අමුවේම නිර්වින්ධනය කර දැමීමක්" බව ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.
ඔහු පවසන්නේ, කොළඹ වරාය සංවර්ධනය කරනවා වෙනුවට, "රටට අනවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස ඉදිකළ හම්බන්තොට වරාය" දැන් චීනය ඉන්දියන් සාගර මධ්‍ය ලක්ෂයේ නාවික කොරිඩෝවක් ලෙස අත්පත් කරගෙන සිටින බව යි.
"හම්බන්තොට වරාය දෙස ඉන්දියාව හා අමෙරිකාව ඇතුළු QUAD රටවල් බලන්නේ චීනයේ නාවික කඳවුරක් විදියට. මේක ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. ඉදිරි මාස 60-80 කාලය තුළ කලාපයේ ඇතිවන අනිවාර්ය බල අරගලයේ දී මේ අනුවණ හා අමන තීරණවල ප්‍රතිපල අපට අනිවාර්යෙන්ම භුක්ති විඳීමට සිදුවෙනවා," ෆීල්ඩ් මාර්ෂල්වරයා ප්‍රකාශකර සිටියේ ය.
"අසූචි පොහොර නැවට තවමත් වෙඩි කාපු ඌරෙක් මෙන් දඟලන ලංකාවේ චීන තානාපති කාර්යයාලය මෙවැනි තත්ත්වයක දී කෙසේ හැසිරේවි ද යන්න දැන් අපිට ඉතාම හොඳින් පැහැදිලි යි. ඒ නිසා අපි ඉදිරියේ දී මේ තත්ත්වය වහා නිවැරදිකර ගත යුතුයැ"යි ද එම සටහනේ සඳහන් ය.
ලොව පුරා ක්‍රියාත්මක වන චීන යටිතල පහසුකම් ව්‍යාපෘතීන්හි ආයෝජන වටිනාකම මේ අයුරු යි
උගන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇත්තටම මොකද වුණේ?
පසුගිය සතියේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, චීනයෙන් ගත් ණය ගෙවා දැමීමට නොහැකි නිසා උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලනය එරට රජයට අහිමි වී ඇතිබව යි.
එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ උගන්ඩාවට අහිමි නොවන බව සහතික කිරීම සඳහා, 2015 දී උගන්ඩාව චීනය සමග අත්සන් කළ ණය ගිවිසුමක් සංශෝධනය කිරීමට උත්සාහ කරන බව ද ඇතැම් මාධ්‍ය විසින් වාර්තා විය.
එන්ටෙබේ ගුවන්තොටුපොළ පුළුල් කිරීම සඳහා උගන්ඩාව චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ණයට ගත් බවත්, එම ණය කොන්දේසි වෙනස් නොකරන්නැ යි උගන්ඩා රජයේ ප්‍රධාන නීති නිලධාරියා එරට මුදල් අමාත්‍යංශයට උපදෙස් දුන් බවත්, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් පලකළ වාර්තාවේ දැක්වේ.
කෙසේ නමුත්, උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනය අත්පත්කර ගත් බවට පළවන වාර්තා ප්‍රක්ෂේප කරන කොළඹ චීන තානාපති කාර්යයාලය ප්‍රකාශ කරන්නේ, එම පුවතේ "සත්‍යය අවුන්සයක්වත් නැත!" යනුවෙනි.
උගන්ඩාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා "චීනය උගන්ඩා ගුවන්තොටුපොළ අත්පත්කර ගත්තේ ය" යන අමූලික බොරුව බිඳ දමා ඇතැ යි ද කොළඹ චීන තානාපති කර්යයාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ය.
"'ණය උගුල' යන කතාව තනිකරම බටහිර යටත්විජිතවාදයෙන් ආරම්භ වූවකි, මෙය ශ්‍රී ලංකාව තුළ නැවත නැවතත් නිෂ්ප්‍රභකර තිබේ," එහි සඳහන් විය.
ශ්‍රී ලංකා බලධාරීන් ද අවස්ථා ගණනාවක දී අවධාරණයකර සිටියේ ශ්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී නොමැති බව යි.
2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ හමුවු අවස්ථාවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශකර සිටියේ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව යි.
එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැතිබව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.
චීන ණය මතම යැපිය යුතු ද? IMF සහාය ගන්න බැරි ද?
පසුගිය දා අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ගැනීමේ දී ඔවුන් මෙරටට අහිතකර කොන්දේසි පනවන බව යි.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියලා කියන්නේ ඒගොල්ලෝ කියනවා මහ බැංකුව ස්වාධීන කරන්න කියලා, රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියලා, රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන්න කියලා, රාජ්‍ය වියදම් අවම කරන්න කියලා," අමාත්‍යවරයා කියා සිටියේ ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, "දැනට තියෙන සුබසාධන අවශ්‍යතා, සමෘද්ධිය වෙන්න පුළුවන්, වෙන වෙන දේවල් වෙන්න පුළුවන්, නවත්තන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය සේරම දේවල්වලට මේ රටේ ජනතාව කැමැති නම් අපිට පුළුවන් IMF එකට යන්න. මේ IMF එකට යන්න කියන එක ලේසියි. ගියාට පස්සේ IMF එක කියන කොන්දේසි ඉටු කරන්න ගියාම තමයි තේරෙන්නේ තමන් තමන්ටම යි වළ කපාගත්තේ කියලා," යනුවෙනි.
කෙසේ නමුත්, ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ එවන් කොන්දේසි කිසිවක් නැතිබව යි.
"කොන්දේසි මොකුත් නැහැ. එහි තියෙන්නෙ රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳ කොන්දේසිය පමණ යි. ඒකට යි ආණ්ඩුව එකඟ වෙන්න ඕනේ," ඔහු පැවසුවේ ය.
"ඇයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බැහැ කියලා කියන්නේ? ඒගොල්ලො කියන්නේ නොයෙකුත් කොන්දේසි දායිලු. කොන්දේසි දැම්මම ජනතාවට අපහසුවක් වෙයිලු. සහනාධාර කපන්න වෙයිලු. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා මොකද්ද වහෙන් ඔරෝ කරේ? පොහොර සහනාධාරය කපපු එක නෙවෙයි ද කරේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරනව යි කියන දේ නොවෙයි ද, ඔය කියන විදිහට බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා කළේ?" ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේ ය.
ශ්‍රී ලංකාවේ විදේශ ණය
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු විදේශ ණය සාරාංශය අනුව, 2021 අප්‍රේල් මාසය අවසන් වන විට රජයේ මුළු හිඟ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35.1කි.
2021 ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා මුළු ණය සේවා ගෙවීම් ඩොලර් මිලියන 981.0ක් වූ අතර, එයින් ඩොලර් මිලියන 520.6ක් මූලික ණය ආපසු ගෙවීම වෙනුවෙන් ද, ඉතිරි ඩොලර් මිලියන 460.4 පොළිය ගෙවීම සඳහා ද භාවිතා විය.
මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය සාරාංශය උපුටා දක්වමින් කොළඹ චීන තානාපති කාර්යයාලය ද ශ්‍රී ලංකාවේ ණය සාරාංශයක් ඉදිරිපත් කළේ ය. එහි ඔවුන් සඳහන් කර තිබුනේ "වෙනත් වචනවලින් කියනවා නම්, බටහිර "ණය උගුලෙන්" ශ්‍රී ලංකාව ගලවා ගත්තේ චීනය යි" යනුවෙනි.
එයට අනුව, 2021 අප්‍රේල් වන විට ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය දෙන්නන් වන්නේ:
- වෙළඳපල ණය ගැනීම/ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) - 47%
- ආසියානු සංවර්ධන බැංකුව (ADB) - 13%
- චීනය - 10%
- ජපානය - 10%
- ලෝක බැංකුව - 9%
චීන බලපෑමට අභියෝග කිරීමට යුරෝපයෙනුත් බිලියන ගණනක සැලැස්මක්
චීනය, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මූල්‍යාධාර හා ණය පහසුකම් සපයනු ලබයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ් එන්නත් හා සෞඛ්‍ය පහසුකම් සැපයීමට චීනය කටයුතුකර ඇත.
මෙම පසුබිම තුළ, චීනයේ 'එක් තීරයක්, එක් මාවතක්' වැඩපිළිවෙළට ප්‍රතිවිරුද්ධව පුළුල් ගෝලීය ආයෝජන සැලැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය ද සූදානම් වෙයි.
එමඟින් ඩිජිටල්, ප්‍රවාහන, දේශගුණ, සහ බලශක්ති යෝජනා ක්‍රම පිළිබඳ අදහස් ඉදිරිපත් කරනු ඇතැ යි වාර්තා වේ. මෙම වැඩසටහන සැළකෙන්නේ අප්‍රිකාවේ සහ වෙනත් කලාපවල චීන බලපෑමට එරෙහිවීමට බටහිර දරන උත්සාහයේ කොටසක් ලෙස යි.
මෙම සැලැස්ම සඳහා යුරෝපා සංගමය විසින් ආයෝජනය කෙරෙනු ඇති මුදල යූරෝ බිලියන 300කි (රු. බිලියන 68524.12ක් පමණ).
මේ අතර ඉන්දියාව විසින් ආසියානු කලාපයේ චීන බලපෑම ව්‍යර්ථ කිරිමී අරමුණින් නව ආයෝජන සැලැස්මක් ආරම්භ කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම් සඳහා ඉන්දියාව විසින් ආර්ථික සනහ පැකේජයක් ශ්‍රී ලංකාවට හදුන්වා දී ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණ සංවර්ධනය, බෙහෙත් ඇතුළු බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර හා ඛනිජ තෙල් ආනයනය ට ශ්‍රී ලංකාවට මුල්‍ය පහසුකම් ලබාදීම එම සහන පැකේජයට අයත් බවට එම වාර්තා පැවසිය.