සිංහල බෞද්ධ ජනතාවට අහිමිවී ගිය සංස්කෘතික ස්ථාන නැවතත් සිංහල ජනතාවට ලබාදෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Yali Pibidena Kuragala/Facebook
"අපේ ජාතිකත්වය ආගමට එදා මොකද උනේ අපේ සංස්කෘතික උරුමවලට, ඒව නැති කරලා දැම්මා, ස්වාමීන් වහන්සේලා උසාවි ගෙනිච්චා. අපි මේ තත්ත්වය මේ අවුරුදු දෙක තුළ නැති කරල තියන බව මතක තියාගන්න. අපි ජාතික ආරක්ෂාව අද තහවුරු කරලා තියෙනවාවා, අපේ ආගම සංස්කෘතිය අද බලන්න එදා නැතිවෙච්ච කූරගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය. අද මේවා අපේ උරුම බවට නැවතත් තහවුරු වෙලා තියෙනවා. බොරුවලට රැවටිලා මේවා නැවතත් පාවා දෙන්න සූදානම් වෙන්න එපා."
ජනපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අනුරාධපුරයේ පැවති ජනහමුවේදී මෙසේ පවසා සිටියේය.
ඔහු එහිදී අවධාරණය කළේ, සිංහල බෞද්ධ ජනතාවට අහිමිවී ගිය සංස්කෘතික ස්ථාන නැවතත් සිංහල ජනතාවට ලබාදීමට කටයුතු කල බවයි.
දිගු කාලයක් පුරාවට විවිධ ජනකොටස් අතර මහත් ආන්දෝලනයකට ලක්ව ඇති බලංගොඩ පූරගල රජමහා විහාරය හෙවත් කූරගල ලෙන් විහාරය නව මුහුණුවරකින් යළි ගොඩනැඟීමේ කටයුතු ද මේ දිනවල කඩිනමින් සිදුවෙයි.
කූරගල යනු බලංගොඩ පිහිටි ප්ලයිස්ටොසීන යුගයේ අග භාගයේ මුල් මානව ජනාවාසයකින් සමන්විත වන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයකි.
බෞද්ධ ජනතාව මෙය පෞරාණික ලෙන් විහාර සංකීර්ණයක් ලෙස සලකන අතර මුස්ලිම් ජනතාව විශ්වාස කරන්නේ මෙය ඔවුන්ගේ ද පැරණි සිද්ධස්ථානයක් ලෙසයි.
මේ අනුව මෙම ස්ථානය මහත් ආන්දෝලනයකට ලක්ව ඇති අතර කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ශ්‍රම දායකත්වයෙන් මෙම ස්ථානය මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතී.
කූරගල පුදබිම
සබරගමු පළාතේ බලංගොඩ, කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබේ. බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 23ක් පැමිණීමෙන් කූරගල පුරාවිද්‍යා ස්ථානයට පැමිණිය හැකි ය.
කඳුවැටි, වනාන්තර, නිල්වන් කුඹුරුවලින් වට වූ දැකුම්කළු බිමක කූරගල පිහිටා තිබේ.
මහරහතන්වහන්සේ වැඩ සිටි ගල්ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නකි.
කූරගල මානව ඉතිහාසය බලංගොඩ මානව යුගය දක්වා ඇදී යන අතර, මධ්‍යශිලා යුග මානවයාගේ ශේෂ මෙතැනින් හමුවුණේ 2013 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ කැණීම්වල දී ය.
එහිදී සොයගත් මානව ඇටසැකිළි කොටස් එක්සත් ජනපදයේ බීටා ඇනලිටික් ආයතනය වෙත යවා කාලනීර්ණය කර තිබේ. වසර දහස් ගණනකට පෙර කූරගල ලෙන් ආශ්‍රිතව මානවයන් ජීවත් වූ බව එම කාබන්-14 කාලනීර්ණ තොරතුරුවලින් හෙළිදරව් කර ඇත.
ඓතිහාසික යුගයේ දී ද කූරගල ආරණ්‍ය සේනාසනය (ක්‍රි. පූ. 2- 1 සියවස්වල සිට ක්‍රි. ව. 10- 11සියවස් පමණ වන තෙක්) ආගමික වශයෙන් මනාව සංවර්ධනයව පැවැති පුද බිමක් බව සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, Yali Pibidena Kuragala/Facebook
ජනාධිපතිවරයා පසුගිය දා කූරගල සංචාරයක නිරතවිය
එහෙත් සජීවී බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස නොපැවැති නිසා, 1900 ආසන්න කාලසීමාවේ ඉස්ලාම් භක්තිකයන් විසින් කූරගල තම ආගමික විශ්වාස සමග බද්ධ කරමින් එයට වන්දනා කිරීම පටන්ගන්නට ඇති බවට මතයක් ඉදිරිපත් වී ඇත.
ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික ස්ථානයක් ලෙස සලකමින් සිදුකළ විවිධ ඉදිකිරීම නිසා එහි පෞරාණිකත්වයට හානි සිදුවූ බවට චොද්නා එල්ලවී ඇත. ලෙන් ආශ්‍රිතව පල්ලි ඉදිකිරීම ද සිදුව තිබුණු බවත් තවමත් එහි මුස්ලිම් පල්ලියක් සහ ශාන්තුවරයෙකුගේයි සැලකෙන සොහොන්කොත් දෙකක් ද පවතින බවට විශේෂඥයින් පවසයි.
2013 දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් සිටිය දී, මෙහි ඉදිකිරිම රාශියක් අනවසර ඉදිකිරීම් සේ සලකා ආරක්ෂක අංශ දායකත්වයෙන් ඉවත් කරනු ලැබුණි.
කූරගල පුදබිමේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනපති උපදෙස්
පසුගිය දා, කූරගල පුදබිමේ හදිසි නිරීක්ෂණයක නිරතවූ ජනාධිපතිවරයා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
ජනවාරි 16 වැනිදා කූරගල පුදබිම වෙත පැමිණි ජනපති, ඉදිවෙමින් පවතින දාගැබ, බුදුපිළිමවහන්සේ, සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳව ද සොයා බැලීය.
ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ, සහ ආසන දෙදහසක් පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.
'යළි පිබිදෙන කූරගල' (කූරගල පුනර්ජීවනය) ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2015 වර්ෂයට පෙර, එකල ජනපති මහින්ද රාජපක්ෂගේ දායකත්වයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Yali Pibidena Kuragala/Facebook
ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තූන් සහ පුරාවස්තූන් තැන්පත් කිරීම
සෙල්ලිපි, ලෙන් මෙන්ම ඓතිහාසික නටඹුන් සහ ගැඹුරු කපොල්ලකින් සමන්විත පාෂාණමය කඳුබෑවුම් සහිත භූමියක් වන මෙම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදා භට පිරිස් ප්‍රමුඛ 150ක් පමණ පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන්, මාස 8ක කාලයක් තුළ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඉතා සාර්ථකව සිදුකළ බව යුද හමුදාව සඳහන් කළේ ය.
කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පෞරාණික මහිමය තවදුරටත් පිළිබිඹු කරමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කූරගල ආශ්‍රමයේ දී පැවැත්වීමට ද ජනපතිවරයා තීරණය කර ඇති බවට නිලධාරීන් පවසයි.
මෙම පෞරාණික පුදබිම තුළ ආරාමයක්, සර්වඥ ධාතු මන්දිරයක්, විශාල බුද්ධ ප්‍රතිමාවක්, සහ බෝධි මළුවක් ඉදිකිරීමට නියමිතව ඇති අතර, අඩි 500ක් උසැති පියගැටපෙළක් සහ 'කූරගලවැව' නම් ජලාශයක් ද ඉදිකිරීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2013 වර්ෂයේ දී මෙම පුරාවිද්‍යා භූමියෙහි ගල්ලෙන්වල ඇති සෙල්ලිපි සියල්ල සොයා, 'යළි පිබිදෙන කූරගල' තේමාව යටතේ මෙම පුදබිමේ කැණීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.
'යළි පිබිදෙන කූරගල' සිදුවන ඉදිකිරීම්
- අසදිසි ශාක්‍ය සුගත මහසෑය
- අසදිසි ශාක්‍ය සුගත දම්සභා මණ්ඩපය
- අසදිසි ශාක්‍ය සුගත සුගන්ධ කුටිය හා දාන ශාලාව
- බෝධි මණ්ඩපයක්
- වැඩමවන මහසගරුවනට ආවාස ගෙයක්
- සියලු දෙනාට පහසුවෙන් ගමන්කළ හැකි පුළුල් මාර්ග පද්ධතියක් හා දැවැන්ත පඩිපෙලක්
- අඩි 130ක් උස සම්බුද්ධ ප්‍රතිමාවක්
- අඩි 50ක් පමණ උස සුමන සමන් දේව ප්‍රතිමාවක්
- සැදැහැවතුන්ගේ ගිමන් විඩාව නිවනා සොදුරු උද්‍යානයක්
- දැවැන්ත සිංහයකුගේ නිර්මාණයක්
- කූරගල වැව
- වාහන අංගන තුනක්
මල් ඉහින හෙලිකොප්ටරේට ලක්ෂ ගණනක වියදමක්
කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තූන් සහ පුරාවස්තූන් තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය පසුගියදා පැවැත්විණ.
එහිදී හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ගුවනින් සෑයට පුෂ්පෝපහාර දැක්වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතබහට ලක්විය. මීට පෙර ද අවස්ථා ගණනාවක දී මෙරට ආගමික උත්සව, පෙරහැර හා, ප්‍රභූ අවමංගල උත්සවල දී ගුවනින් මල් ඉසීම සිදුවූ අතර, එය නූතන සම්ප්‍රදායක්බවට පත්ව ඇත.
එනමුත්, රට මූල්‍ය හා ආර්ථික අර්බුදයකට ලක්ව සිටින මෙවන් අවස්ථාවක මෙවැනි ක්‍රියා නතර කළ යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ ඇතමුන් පෙන්වා දී තිබිණ.
එක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබුණේ, "මම හැම ආගමකටම ආදරෙයි, මම හැම ආගමකටම ගරු කරනවා, නමුත් මෙවැනි ක්‍රියා නවත්වන්න ඕනේ!" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Army.lk
ඕනෑම අයෙකුට මුදල් ගෙවා පෞද්ගලික ගුවන් සමාගම් වෙතින් මෙම සේවාව ලබා ගැනීමේ හැකියා පවතියි.
හෙලිකොප්ටරයේ වර්ගය අනුව, පියාසර කරන දුර හා, යොදාගන්නා කාලසීමා අනුව ඩොලර් 1500 සිට 2500 අතර ගාස්තුවක් (රු. 303,000 සිට 505,000ට අධික මුදලක්) මේ සඳහා අයකෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පෞද්ගලික අවශ්‍යතා සඳහා මෙවැනි කටයුතු වෙනුවෙන් හෙලිකොප්ටර යොදවන්නේ නොමැති බව ගුවන් හමුදාව පවසයි.
කුමන අමාත්‍යංශයකට සේවා සපයනු ලැබුව ද ඒ සඳහා ගෙවීමක් මෙන්ම, ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය බව ගුවන් හමුදාව සඳහන් කළේ ය.
ගෙවීමක් නොමැතිව මෙවැනි කටයුතු කිරීම සඳහා ද ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අවශ්‍ය බව ද ගුවන් හමුදාව සඳහන් කරයි.
එහෙත් යුද හමුදාව පැවසුවේ "ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මල් පෙති වර්ෂා කරමින් උත්සවයට තවත් වර්ණවත් බවක් එක් කළේය" යනුවෙනි.