සාරිය ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඇයි? - ගුරුවරියකගෙන් පිළිතුරු

  • අමන්දා අබේසූරිය
  • බීබීසී සිංහල
Portrait of Teacher with children in Sri Lankan Primary School.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"අපි සේවය කරන ඉස්කෝලවල වැසිකිළි පහසුකම්, ජල පහසුකම් නැහැ. එතකොට අපි උදේ පාන්දර ගෙදරින් ගියාම හවස ඉස්කෝලේ ඇරිලා තමයි වටේ තියෙන ගෙවල්වලට දුවලා ටොයිලට් යන්න ඕන... එහෙම යාගන්න බැරිවුණොත් අර උදේ පාන්දර වැඩට ගිය අය මේ සාරි පටලාගෙන ගෙදර එනකල් ඉන්න ඕනේ ටොයිලට් යන්නත්." 

බීබීසී සිංහල සේවය හා මෙසේ ප්‍රකාශ කළේ, මේ දිනවල රජයේ පාසල් ගුරුවරියන්හට සාරිය හෝ ඔසරිය වෙනුවට පහසු ඇඳුමකින් සැරසී ඉගැන්වීම් කටයුතු කිරීමේ ඇති අයිතිය දිනාගැනීම උදෙසා සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම්සහගත, මුල්පෙළ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ ගුරු වෘත්තිකයෙකු වන තිලිනි ෂැල්වින් ය.

ගුරුවරියන් පිරිසක් සාරිය අත්හැර වඩාත් පහසු ඇඳුමක් ඇඳීමට තීරණයකර තිබෙන්නේ ඇයි? ඔවුන් සාරිය ඇඳීමට විරෝධය පාන්නේ ඇයි? සාරිය ගුරු වෘත්තියේ අනිවාර්ය අංගයක් ද? බීබීසීය තිලිනි ෂැල්වින් හා සම්බන්ධවූයේ මේ ගැටළු නිරාකරණයකර ගැනීම සඳහා ය.

ගුරුවරියන් සාරි බැහැරකිරීම හරහා විරෝධය පාන්නේ ඇයි?

තිලිනි ෂැල්වින් සාරියෙන් ඇතිකරන අපහසුතා සම්බන්ධයෙන් කතිකාවතක් අරඹා තිබුණේ මින් සිව්වසරකට පමණ පෙර ය. 2014 දී දුෂ්කර සේවයට ගිය ඇයට සාරිය නිසා මුහුණපාන්නට සිදුවූ අපහසුතා මීට හේතුවීයැ යි ඇය පවසයි. 

"එහෙ අවුරුද්දෙන් මාස හයක්ම නියඟයක් තියෙන්නේ. දැඩි හුළඟක් එක්ක පොළොව වේලිලා යනවා. ඒ හුළඟට ඔරොත්තු දෙන්න ඒ ඉස්කෝලේ ජනෙල් දොරවල් ඔක්කොම ඇණ ගහලා වහලා තියෙන්නේ. ඒ නිසා අපි දැඩි 'තැම්බීමකට' ලක්වුණා. ෆෑන් එකක්වත්, කරන්ට් එකවත් නෑ එහේ. 

"වැස්ස එහෙම තියෙන දවස්වලට දැඩි හුළඟත්, වැහි කුණාටුත් එක්ක හරි අමාරු යි සාරිය පාලනය කරගෙන ඉන්න. ඒ හුළඟත් එක්ක සාරිය දණිස්සෙන් උඩටත් වඩා උඩ යනවා. පාරේ පයින් යන්න බැහැ... අනිත් එක, පන්ති කාමරය තුළ ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලියේ නිරතවෙන්න බැහැ මානසික ඒකාග්‍රතාවය තබාගෙන. මොකද අධික දාඩිය දැමීමත් එක්ක අපි ආතතියට පත්වෙනවා, අපි උගන්නන දේ ගැන අවධානය වෙනස්වෙනවා," ෂැල්වින් අප හා පැවසුවා ය. 

"මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා ළමයි අපේ බඩ පෙනෙද්දී අපට හිනාවෙච්ච අවස්ථා... බෝඩ් එකේ ලියන්න අත උස්සද්දී, හැට්ටේ කොච්චර දිගට ඇඳලා තිබුණත් බඩ පේනවා. එතකොට පන්ති කාමරය ඇතුළෙ අපි අපහසුතාවයට පත්වෙනවා," ඇය පවසයි. 

ඡායාරූප මූලාශ්‍රය, Thilini Shalwyn

ඡායාරූප ශීර්ෂ වැකිය,

තිලිනි ෂැල්වින්

සාරිය ඇඳීම සඳහා වැඩි වේලාවක් වැයවන අතර එම ඇඳුම සිරුරට ඉතා අපහසුවක් දනවනබව ද, එය ඇඟලාගෙන පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගැනීම ඉතා අප්‍රායෝගික, අපහසුදායක කටයුත්තක්බව ද ඇය අපහට විස්තරකර දෙයි. 

"සාරිය ඇන්දම අපේ ඇඟේ තියෙන ක්‍රියාශීලිත්වය ඔක්කොම නැතිවෙලා යනවා," ෂැල්වින් කියයි. 

"ගුරුවරුන්ට කියලා වෙනම චක්‍රලේඛ ගහලා නැහැ ඇඳුම සම්බන්ධයෙන්, එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ගහලා තියෙන චක්‍රලේඛ අපට වලංගු යි. ඒවායේ සඳහන් වෙන්නේ, පාසලට යද්දී "සංස්කෘතියට ඔබින සුදුසු ඇඳුමක්" කියන සංකල්පය. එතකොට අපි ඒ සංකල්පය තුළ ඉඳගෙන තමයි මේ තැනට ආවේ. 

"හැබැයි මේ තැනට එන්න අපිව වැඩිපුරම පෙළඹෙව්වේ, [ලංකා ගුරු සංගමයේ ලේකම්] ස්ටාලින් යෝජනා කරපු කාරණයේ දී ඒකට ප්‍රතිවිරුද්ධව චීවරධාරීන් පිරිසක් මැදිහත් වුණා 'සාරිම අඳින්න, සාරියේ තමයි සංස්කෘතිය තියෙන්නේ' කියලා. අන්න ඒක තමයි අපිව ඉක්මන් කළේ සහ තවත් බලගැන්නුවේ 'මේ මතය වැරදියි, කාන්තාවෝ විදිහට, වෘත්තිකයෝ විදිහට, නිල ඇඳුමක් නිර්දේශ කර නැති වෘත්තිකයෝ විදිහට අපේ අයිතීන් උදෙසා හඬ නගන්න."

සාරිය අඳින එක "වියදම් යන" වැඩක් ද? 

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙම ගැටළු තවත් උග්‍ර වී ඇතැ යි ගුරුවරිය අප හා ප්‍රකාශකර සිටියා ය. ඒ, සාරිය හා බැඳි වියදම් රැසක් ඉහළ යෑම හමුවේ ය. 

"අපේ පඩිය වෙනස්වුණේ නැහැ, හැබැයි සියලුම වියදම් වෙනස්වුණා. ප්‍රවාහන ගාස්තු වැඩිවුණා, කරන්ට් බිල වැඩිවුණා, සාරි මිළ වැඩිවුණා, සාරි හැට්ට මහන්න යන කුලිය වැඩිවුණා. මේවත් එක්ක සාරිය තුළ කොටුවීම ගුරුවරුන්ට දරන්න බැරි විදියට බලපෑවා," ඇය පවසයි. 

නිරන්තරයෙන් සිදුකෙරෙන විදුලි කප්පාදු හමුවේ, සාරියක් මැදගැනීම සඳහා වේලාවක් සොයාගැනීම ද අපහසුබැව් ඇය කියා සිටියි. විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම ද ඔවුන්ට අභියෝගයක්ව තිබේ. 

ප්‍රවාහන සේවාවන්හි මිළ වැඩිවීම හේතුවෙන්, පෙර දී ගමනට බස් රථය හෝ ත්‍රීරෝද රථය භාවිතාකළ ගුරුවරුන් දැන් පයින්ම පාසැල් පැමිණීම ඉහළගොස් ඇතැ යි ෂැල්වින් අප හා පවසයි. "අපේ ඉස්කෝලේ ඉන්නවා කිලෝමීටර හතරක් පයින් එන ගුරුවරු දෙන්නෙක්, ඔය වාහන ගැටළුව නිසා," ඇය පවසන්නේ කණස්සල්ලෙනි. 

"සාමාන්‍යයෙන් අඩු වියදම් සිල්ක් සාරි ඉස්සර රු. 1000කට විතර ගන්න පුළුවන් වුණා. දැන් වෙද්දී ඒ වගේ සිල්ක් සාරියක් රු. 2500 - 3000 වගේ වෙනවා. හැට්ටයක් මහන්න ඉස්සර රු. 600කට විතර පුළුවන් වුණා. දැන් වෙද්දී ඒකට රු. 1500ක් විතර යනවා. හැට්ටේ ලයිනින්වලට, යට සායට රෙදි ගන්න ඕනේ. ඒකට දැන් රෙදි යාර තුනහමාරට රු. 1000ක් විතර යනවා... ගුරුවරු කියන්නේ දවස් පහම වැඩට එන පිරිසක් නිසා එක දවසට එක සාරිය ගාණෙවත් තියෙන්න ඕනේ. දිනපතා සාරි හෝදන්න ඕනේ, එතකොට සාරි දිරනවා. එතකොට නිතර සාරි ගන්න වෙනවා ගුරුවරුන්ට. 

"අපි බහුතරයක් දෙනා අඳින්නේ අත් යන්ත්‍ර සාරි. ඒවා වැඩිපුර කල් පවතිනවා. ඉස්සර අපි හෑන්ඩ්ලූම් සාරියක් ගත්තා රු. 5000කට. හැබැයි දැන් වෙද්දී 10 000කට වැඩියි. බතික් සාරි රු. 4000 - 5000 අතර ප්‍රමාණෙකට අපි ඉස්සර ගත්තා. දැන් වෙද්දී ඒවා රු. 10 000කට වැඩියි. තනි පාට දාපු බතික් එකත් රු. 8500න් ඉහළ යි. මේ ඔක්කොම කාරණා ගත්තම පිළිවෙලකට, වෘත්තියට ගැලපෙන විදියට සාරියක් අරගෙන මහගන්න දැන් රු. 12 000ක් 13 000ක් යනවා. 

"මාසෙකට අපි 45 000ක විතර පඩියක් අරගෙන, ඒකෙන් 12 000ක් වියදම් කරන්න බැහැ සාරියකට," ඇය ප්‍රකාශ කරයි. 

"ගුරු භූමිකාව, ගුරු පෞරුෂය සාරියට මුවාකරපු මිනිස්සුන්ට සාරිය නැතුව බෑ"

තිලිනි ෂැල්වින් මෙසේ පැවසුවේ, ගුරු ප්‍රතිරූපය සාරිය හා බැඳී ඇතැ යි ඇතැමුන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව අප විමසූ අවස්ථාවේ දී ය. 

"සමහර ගුරුවරු කියනවා 'අම්මෝ සාරිය නැත්නම් අපට වඳින්නෙත් නැතිවෙයි' කියලා. වඳින්නේ සාරියටනේ එතකොට! සාරියට නම් වඳින්නේ, එතන දී ගුරුවරයා, ගුරු පෞරුෂය කියන කෙනාව ප්‍රතික්ෂේප වෙනවා. සාරිය තමයි එයාලගේ පෞරුෂය ගොඩනගලා තියෙන්නේ. 

තමා පාසැල් දරුවන් හා ක්ෂේත්‍ර චාරිකාවන් වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි යෙදෙද්දී සාරිය නොවන, ගමනට උචිත ඇඳුමින් සැරසීගොස් ඇතැ යි ෂැල්වින් පවසයි. 

"එහෙම ගියා කියලා අපේ ගුරු පෞරුෂය නැතිවෙලත් නැහැ, ළමයි සහ අපි අතර වෙනස නැතිවෙලත් නැහැ. ළමයි අපට ගෞරව කරලා කතා කරනවා, ළමයි අපි කියන දේ අහගෙන ඉන්නවා. ඒක ගුරු පෞරුෂය තුළ තමන් විසින් ගොඩනගාගත යුතු දෙයක්. අදටත් අපි ස්මාට් කැෂුවල් ආවා කියලා ළමයි අපි දිහා අමුතු විදියට බලන්නේ නැහැ. ළමයි හරි ආසයි ගුරුවරු වෙනස්වෙනවට."

පාසැල් දරුවන්ගේ ප්‍රතිචාර 

"ගුරුවරු ලස්සනට අඳිනවට පළඳිනවට ළමයි හරිම කැමතියි," ෂැල්වින් අප හා පවසන්නේ උද්‍යෝගයෙනි. 

"වෙනස් ඇඳුම් අඳින්න කලින් අපි සේරම කළේ ළමයින්ගේ ආකල්පය අහපු එක, පන්ති කාමරය තුළ දී. මොකද ළමයි අපිව ප්‍රතික්ෂේප කරනවා නම්, අපි ඒක ගැන හිතන්න ඕනෙනේ මුලින්ම. අපි ඒ නිසා මේ ඇඳුම මාරු කරන්න කලින් දරුවොන්ගෙන් ඇහැව්වා 'ඕගොල්ලෝ මොනවද හිතන්නේ ගුරුවරු පහසු සරල ඇඳුමක් ඇඳගෙන එන එක ගැන' කියලා."

ඔවුනට පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලැබුණු පිළිතුරු ඉතා සාධනීය විය. 

"ඒගොල්ලෝ හරිම කැමති වුණා ඇඳුම වෙනස්වෙනවට. ඒ වගේම, අපි එක්ක කතා කරපු දහයේ එකොළහේ [ශ්‍රේණිවල] ළමයි පිළිගත්තා, ඒගොල්ලෝ දැනගෙන හිටියා වෙන රටවල්වල ගුරුවරුන්ගේ ඇඳුම් ගැන. දැන් ගුරුවරුන්ගේ සාරියේ මිළ වැඩියි කියලා ඒ වයස්වල ළමයින්ට තේරුණා. ලොකු ළමයි අපට කිව්වේ 'හොඳ යි නේද මැඩම්, දැන් කාලේ කොච්චර වියදමක් යනවා ද, මැඩම්ලා ඕක ඇඳගෙන දවසෙම කොහොමද ඉන්නේ,' ඔන්න ඔය වගේ දේවල් ඒගොල්ලෝ අපි එක්ක විවෘතව සාකච්ඡා කළා."

ඡායාරූප මූලාශ්‍රය, Nibandhika Wanninayaka/Facebook

තම දෙමාපියන් ද ගුරුවරුන්ගේ ඇඳුමේ වෙනස සම්බන්ධයෙන් ප්‍රශංසා කළේයැ යි ඇතැම් දරුවන් පැවසූබව ෂැල්වින් පැවසුවා ය. 

'අපි පන්ති කාමරය තුළ ළමයින්ට විප්ලවය ගැන ඉගැන්නුවේ නැත්නම්, තමාට වෙන අසාධාරනකම්වලට විරුද්ධව තමා පෙරමුණ ගැනීම කියන දේ ප්‍රයෝගිකව කියලා දුන්නේ නැත්නම්, ළමයි දැනගන්නේ නැහැ අපට ස්වාධීන මිනිස්සු විදියට සමාජයේ මේ දේවල් කරන්න පුළුවන් කියලා."

කෙසේ නමුත්, සාරිය බැහැර කිරීමට සියලුම ගුරුවරියන් පක්ෂ නොවන අතර, ඊට විරුද්ධ ගුරුවරියන් ද සමාජ හා ජනමාධ්‍ය ඔස්සේ අදහස් දක්වනු දැකගන්නට අපට හැකිවිය.

ගුරුවරියන්ට සාරි ඇඳීමට බලකරන නීතියක් තිබේ ද? 

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත්කරන ලද 2012/37 අංක දරන 'ගුරුවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම පිළිබඳ ආචාරධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව' නම් චක්‍රලේඛයෙහි ගුරුවරුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් සඳහන්වන්නේ මෙවැන්නකි: 

'සැමවිටම විනීත හා සංවරභාවය රැකෙන පරිදි සංස්කෘතියට අනුකූල වූ, පිරිසිදු, චාම්, මනා පිළිවෙලට සැකසූ ඇඳුමින් සැරසී සිටීම.'

ඊට අමතරව, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත්කරන්නට යෙදුනු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 13/2019(I) හරහා දැනුම්දී ඇති 'රාජ්‍ය නිලධරයන්ගේ ඇඳුම' යටතේ, 'රජයේ නිලධරයන් රාජකාරී වේලාව තුළ ස්වකීය කාර්යාල පරිශ්‍රයට පැමිණීමේ දී පිරිමි නිලධරයන් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන සුදුසු සංවරශීලී ඇඳුමකින් සැරසී සිටිය යුතු වේ' යනුවෙන් සඳහන් වේ. 

එසේම, 2022.09.07 දාතම නිකුත් කෙරුණු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි අංක 05/2022හි මෙවැන්නක් ද සඳහන් ය: 

'නිලධාරිනියන්ට ස්වකීය කාර්යාල පරිශ්‍රයන් තුළට පැමිණීමේදී ඇඳුම් ලෙස සාරිය හෝ ඔසරිය පමණක් භාවිතා කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් විසින් නියම කරනු ලබන අවස්ථා පවතින බව වාර්තා වී ඇත. රජයේ නිලධරයන් ස්වකීය කාර්යාල පරිශ්‍රය වෙත පැමිණීමේ දී හා රාජකාරියෙහි යෙදී සිටිය දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දිය යුතු ය.'

ඡායාරූප මූලාශ්‍රය, Arage Habak Kolama/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය,

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අදහස් ද ඉදිරිපත්වී තිබුණි

කෙසේ නමුත්, පසුගිය දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, "පාසලක ගුරුවරියකට ඔසරියක් හරි සාරියක් හරි ඇඳගෙන ඒම තමයි නීත්‍යානුකූල සහ සංස්කෘතියත් එක්ක දීර්ඝකාලීනව ආපු අපේ පැවැත්ම,"යි ප්‍රකාශ කළේ ය. 

අධ්‍යාපන ඇමැතිවරයා මෙහිදී අවශ්‍ය කරන විනය ක්‍රියාමාර්ග ගනු ඇතැ යි ද ඇමැතිවරයා කියා සිටියේ ය. 

"මම දැනුම්දීමක් කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට, අගමැතිතුමාටත් මම දැනුම් දුන්නා, මේ චක්‍රලේඛනේ නිසි ආකාරයෙන් නැවත සකස් කරන්නෙයි කියලා. මොකද චක්‍රලේඛනේ තියෙන්නේ 'රාජ්‍ය සේවකයන්ට' කියලනේ. රාජ්‍ය සේවකයෝ කිව්වම ගුරුවරුත් රාජ්‍ය සේවකයෝ... ඒ නිසා මම අවධානය යොමු කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඒ අවශ්‍ය සංශෝධනය සහ පැහැදිලි කිරීම කරන්නයි කියාලා," අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

නමුත් තිලිනි ෂැල්වින් පවසන්නේ ගුරුවරුන්ට සාරි අනිවාර්යකර චක්‍රලේඛයක් නිකුත් කළහොත් අපහසුතාවට පත්වනු ඇත්තේ ද රජයබව යි.

"මොකද, සාරිය ඔසරිය කියන්නේ ගුරුවරුන්ගේ යුනිෆෝම් එක නෙවෙයි. අනිවාර්යයෙන්ම සාරිය ඔසරිය ඇඳිය යුතු යි කියලා කොතනකවත් සඳහන් කිරීමක් නෑ.... මේක අපේ යුනිෆෝම් එක නොවන නිසා, රජය ඒක අනිවාර්ය කළොත් නිල ඇඳුම් දීමනාවක් ඉල්ලීමේ අවස්ථාව අපට තියෙනවා."